Breaking News

නැවෙන් කාන්දුවන තෙල් හරහා රසායනික ද්‍රවයවලටත් වඩා වැඩි හානියක් – ආශා ඩි වෝස් ඇතුළු සාගර විද්‍යාඥයන් මත දක්වයි

ලාංකික සාගර විද්‍යාඥවරිය වන ආශා ඩි වොස් දැනට ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට මුදා හැරෙන ද්‍රවය සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කර තිබේ.

ඇගේ facebook ගිණුමේ සටහන් කර ඇති ආකාරයට නැව තුළ ගබඩා කර තිබූ රසායනික ද්‍රවය වන්නේ නයිට්‍රික් ඇසිඩ්. කෝස්ටික් සෝඩා, සෝඩියම් මෙතොසයිඩ්, රූපලාවන්‍ය ද්‍රවය , මෙතනෝල්, වයිනයිල් ඇසිටේට් වේ. මෙම රසායනික ද්‍රවයවලට වඩා නැවෙන් කාන්දු වෙන තෙල් හරහා විශාල පරිසර හානියක් සිදුවිය හැකි බැවින් සාගර විද්‍යාඥයින්ගේ වඩා අවධානය යොමුව තිබෙන්නේ තෙල් කාන්දුව සම්බන්ධව බව එම සටහනෙහි දැක්වේ.

ආශා ඩි වොස් සඳහන් කර ඇති ආකාරයට වුඩ්ස් හෝල් සාගර විද්‍යා ආයතනයේ ආචාර්ය ක්‍රිස් රෙඩ්ඩි පවසා ඇති ආකාරයට රසායනික ද්‍රව්‍ය පරිසරයේ දිගුකලක නොපවතිනු ඇත. ඒ හරහා ජීවීන්ට සිදුවන ඕනෑම තුවාලයක් ක්ෂණිකව සිදුවනු ඇති නමුත් එම හානියේ කෙටිකාලීන හා දිගු කාලීන බලපෑම රඳා පවතින්නේ ස්ථානය සහ නිරාවරණ කාලය / කාලසීමාව මතයි. එසේම ඔහු වැඩිදුරටත් පවසා ඇති ආකාරයට නැව බල ගැන්වීම සඳහා ඉන්ධන ගැලුම් 100, 000 සිට මිලියනයක් දක්වා නැවක රඳවා ගැනීම සිදුවේ. මෙම නැව ඩීසල් ඉන්ධන රැගෙන යමින් සිටි බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ හරහා පරිසරයට සැලකිය යුතු තර්ජනයක් එල්ල විය හැකි බව ආචාර්ය ක්‍රිස් රෙඩ්ඩි පවසා තිබේ. ඔහු පවසන්නේ තමන්ගේ හොඳම අවවාදය නම් ඉන්ධන වර්ගය තහවුරු කර සවිස්තරාත්මක රසායනික සංයුතියක් ලබා ලබාගැනීම හරහා සිදුවන හානිය අවම කර ගත හැකි ආකාරය පිළිබඳ වඩාත් හොඳින් තීරණ ගැනීමට හැකිවෙන බවයි.

මේ අතර නෞකාව ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් අම්ල වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව මාධ්‍ය පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පවසා තිබේ.

නෞකාව දින ගණනවක් ගිනි ගන්නා බැවින් එහි තිබූ රසයන ද්‍රවය හේතුවෙන් සංයුතියේ යම් වෙනස්කමක් සිදුවීමේ හැකියාවක්ද ඇති බැවින් ඒ හරහා සෞඛ්‍ය බලපෑමක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කර ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් සාගර පරිසර පද්ධතියට හානි සිදුව ඇත්ද යන්න පිළිබඳව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් නාරා ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය පාලිත කිත්සිරි සඳහන් කළේ ඒ සඳහා විශේෂ කණ්ඩායමක් යොමුකර ඇති බවය.

මේ අතර අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කිරීම තාවකාලික නතර කර තිබේ.

ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ සාගර පරිසර පද්ධතිය සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ අවසන් වන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු තාවකාලිකව නතර කර ඇති බවය.

leave a reply