එක්දහස් නවසිය බර ගණන් වල ඉපදුන කෙනෙක් හැටියට මට ප්‍රේම කරන්න වුනේ මැනුවල් විදියට. මොකද ඒ කාලේ ඔය ඔටෝ ක්‍රම තිබුනේ නැත. එක්කෝ මං දැනන් හිටියේ නැත.
දැන්නේ ඔය ප්‍රේමයට දවසක් එහෙමත් තියෙන්නේ.
මට මේ ටොපික් එක ගන්න හිතුනේ මේ උදේ පාන්දරම දැක්ක වීඩියෝ ක්ලිප් එකක් හින්දා. හිනාවෙන්න හදපු එකක් වෙන්න ඇති. හැන්දකුත් අතින් ගත්ත නෝනා කෙනෙක් පෙම්වතුන්ගේ දිනයට මාස දෙකකට කලින් තම ප්‍රේමවන්තයාට පූර්ව දැනුම් දීමක් කරනවා එදාට වෙන්න ඕන දේ ගැන.
ඒ වීඩියෝවට තුති මට මේ ලියැවිල්ලට මූල බීජය සැපයූවට.
මං ආදරේ කරන්න පටන් අරන් තියෙන්නෙත් පෙබරවාරි දහ හතර වෙනිදාවක. ඒ කියන්නේ මගේ සදාදරණීය ආදරවන්තයා මට ආදරේ ප්‍රකාශ කරන්නට යෙදුනේ ඒ වැනි දවසක. ඊටත් ගොඩාක් කාලෙකට පස්සේ තමා මං දන්නේ පෙබරවාරි දහ හතර වෙනිදා යනු ආදරවන්තයින්ගේ දිනය විදියට සමරන බව.
ඒ කොහොම වෙතත් මට පෞද්ගලිකව මේ දිනය ඉතාම වැදගත් සහ අනුස්මරණීය දවසක්.
ජීවිතයට සැහැල්ලුව සැනසුම ගෙනාපු දවසක්. ජීවිතයේ කිසි කලෙක ආදරය බරක් ලෙස නොදැනෙන ලෙසට සමනල් තටුවක සැහැල්ලුව ගෙනත් දුන්න දවසක්. වචනයෙන් පැහැදිලි නොකල හැකි හරිම සෞම්‍ය සිතිවිලි හදවතේ ඉපදුන දවසක්. පුදුමාකාර ලෙස මං ආරක්ෂිතයි කියලා දැනුණ දවසක්.
ඉතින් .. මට මේ දවස ආදරණීය දවසක්ම තමා.
මල් කළඹ නැති,
චොකලට්ටු නැති,
ත්‍යාග බෝග නැති,
සිප වැළද ගැනීම් නැති,
හුළඟක පවා වෙලුන සුසුමක උණුසුමක් හෝ නැති,..
එහෙත් මතක් කලත් හිත ආදරයෙන් පිරෙන, සතුටින් පිරෙන, සැහැල්ලුව දැනෙන, සැනසුම දැනෙන ආදරණීය දවසක්.
මං දන්න ආදරේ එහෙමයි .
ඒ හින්ද මේ දවස සමරන්න මට සාධාරණ අයිතිවාසිකමක් තියෙනවා කියලා මං හිතනවා.
තාක්ෂණයේ දියුණුවත් සමග ම මැනුවල් වට අපි කරපු ආදරේ පැය විසිහතර ම ළඟ තියාගෙන ඉන්න දැන් පුලුවන් වෙලා තියෙනවානේ. ඇගිලි තුඩක දුරින් ඉන්න ආදරේ සිතූ මොහොතක ලං කරගන්න පුලුවන් තරමට නවීන ලෝකයේ ආදරවන්තයෝ හරි වාසනාවන්තයි.
ටච් ස්ක්‍රීනයක් සහිත ජංගම දුරකතනයක් මට ලැබුණෙත් මේ මෑත කාලයක.
මුලින්ම මට බොත්තම් සහිත ජංගම දුරකථනයක් අතට ලැබුණේ මගේ විවාහයට මාසයක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබියදී. ඒ මගේ සදාදරණීය ආදරවන්තයා විසින්ම ගෙන දුන්නක් විදියට. ඕනෑම අවස්ථාවක මගේ ඉල්ලීමකින් තොරව ම සෑම සියලු දේ පලමුව ඔහු ගත්තේ මා වෙනුවෙන්. ඔහු වෙනුවෙන් යමක් මිලදී ගත්තා නම්, ඒ සමාන ම භාණ්ඩයක් වුවත්, ඒ මට මිල දී ගෙන පසුවයි. ඒ වෙනුවෙන් කිසිදාක මා ඉල්ලීම් කර නොමැත ඒක වෙනම හැඟීමක් වනුයේ එහෙයිනි.
එසේ හෙයින්, ඔහුට එවැන්නක් ඒ වෙනකොටත් අරන් තිබුනේ නෑ. ඒ හින්ද පොඩි විවේකයක් තිබුණ මගේ ජංගමයට. හේතුව ඔහු නිදහස් වෙලාවක පමණක් ඔහුගෙන් මට ඇමතුම් ලැබෙන නිසා. හැකියාව තිබුණි නම් මම, සෑම පැයකට වරක් හෝ ඔහු අමතා රාජකාරියට පවා බාධා කරනවා නිසැකය.
පසු කාලයෙක අපි දෙදෙනාටම ජංගම දුරකථන තිබුණ අතර, ඔහුගේ ව්‍යවහාරයට අනුව, මුහුදට නොගොස්, වෙනත් වැඩක නොයෙදෙන බොහොම අවස්ථා වල අපි දෙදෙනා කතා කරන්නට යෙදුනෙමු. ඒ කතා වල අවසානයක් නොතිබුණ අතර, ගතින් බොහෝ දුර සිටියද හදවතින් එක්ව සිටි අපට, අපි අපව සවන තුල රඳවා ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනට ගත්තෙමු. විවාහයෙන් වසර අටක් ගතවී තිබුණ ද අපේ ප්‍රේම අල්ලාප සල්ලාප වල නිමක් අප නොදිටූවෙමු.
ආදරය, ප්‍රේමය සම්බන්ධයෙන් අප දෙදෙනාගෙන් බාහිර පාර්ශවයන් පිළිබඳ විචාර විවේචන මට තරම් නොවේ.
එහෙත් අද වැනි තාක්ෂණය ඉතා දියුණු සමයක, ජංගම දුරකතන භාවිතයේ අසංවර සංසිද්ධි මා වෙත ද ආරංචි මාර්ග ලෙස ලැබී , අත්දැකීම් ලෙස අත්විඳ ද ඇති බැවින් මෙසේ ලියමි.
“මං ඔබට ආදරය කරමි” යන වචන ජංගම දුරකතනය ඔස්සේ ඕනෑම කෙනෙකුට සන්නිවේදන කිරීමට තරම් ලාබ වී ඇත.
තම උත්කෘෂ්ට ප්‍රේමය ලාබ සිල්ලර වචන කිහිපයක් තුල පමණක් රඳවන ඉතාම තාවකාලික සිතිවිල්ලක් බවට පරිවර්තනය වී ඇත.
ජංගම දුරකතනයට මුවා වී, දකින, සිතෙන ඕනෑම කෙනෙකුට ප්‍රේමය පුද කිරීමට හැකියාව ඇති බව ට සිතාගෙන ඇතුවා වන්නට ඇත.
උපදෙස් දීම මම කිසි විටෙක නොකරමි. සිතා බැලීමට සුදුසු නම් ඕනෑම කෙනෙකුට අවස්ථාව ඇත.
ප්‍රේමය යනු මිය ගියද නොවෙනස් ලෙස දැනවෙන හැඟීමකි. ඒ මට අනුව, මා දන්නා ප්‍රේමය වේ.
මට සුබ ප්‍රේමවන්ත දිනයක් සේම ඔබටද එසේ වේවා යි පතමි.
දර්ශනී අබේසිංහ