ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කරවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් යවා දැවැන්ත සමාජ මාධ්‍ය ප්‍රහාරයකට ලක්වූ නීතිපතිවරයා සුද්දකරන්නට මාධ්‍ය නිවේදනයක් ලියන්නට ගොස් නීතිපති දෙපාර්තමේන්තුව තවත් වටයකින් නාගෙන තිබේ.
මේ මාධ්‍ය නිවේදනයේ මුලින්ම කියන්නේ පළමු ලිපියේ නම් සඳහන් සැකකරුවන් ‘ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නොවන’ බව ය.
වෙන සැකකරුවන් නැත!
මෙහෙම කීවාම තතු නොදත්තවුන්ට හිතෙන්නේ, එහෙනම් ලිපියේ නම් නැති ලසන්ත ඝාතනයට අදාළ තවත් සැකකරුවන් ඕනෑතරම් ඇති කියාය.
අවාසනාවට එහෙම ඇති සැකකාරයෙක් නැත. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වසර 15ක් තිස්සේ පොලිස් විමර්ශන ආයතන තුනක් ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අද දක්වා අත්අඩංගුවට ගෙන සැකකරුවන් වශයෙන් නම්කර සිටින්නේ මේ තිදෙනා පමණම ය. මේ තිදෙනා නිදහස් කළ පසු, ලසන්ත ඝාතනයට තවත් සැකකරුවන් නැත!
නිවේදනයෙන් ඊළඟට කරන්නේ සැකකාර ප්‍රේම් ආනන්ද උදලාගම නිදහස්කර හරින්නට තමන් ගත් තීරණය සාධාරණීකරණය කරගන්නට දැඟලීම යි.
උදලාගම සිද්ධිය
ලසන්තගේ රියදුරු කරුණාරත්න ඩයස් පැහැරගෙන ගොස් තර්ජනය කරන්නේ 2009 දී වුවත්, මුදාහැරීමෙන් පසු ඔහු කරන්නේ සැඟවී සිටීම මිස පොලීසියේ පැමිණිලි දැමීම නොවේ. ඒ ‘ලසන්තට කරපු දේ උඹටත් කරනවා’ යි තර්ජනය කළ බැවිනි. මේ පැහැරගැනීම ගැන රියදුරු කටඋත්තරයක් ලබාදෙන්නේ 2015 වසරේ එතෙක් වල්වැදී තිබූ විමර්ශන යළි සීඅයිඩීයට භාරවීමෙන් අනතුරුව ය. ඒ තරම් කාලයක් මේ පුද්ගලයාගෙන් කටඋත්තරයක් ගන්නට තරමවත් විමර්ශනයක් කිසිදු විමර්ශන ආයතනයකින් නොකෙරිණි.
මේ ‘මාධ්‍ය නිවේදනයෙන්’ දැන් කියන්නේ, ඉහත පැහරගැනීම සිදුකළ උදලාගම ‘ඉදිරිපත් වූ කරුණු අනුව සහ එම හඳුනාගැනීම සම්බන්ධයෙන් උද්ගත වූ නෛතික දුර්වලතා හේතුකොටගෙන අපරාධ චෝදනා ගොනුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කිරීමට තීරණය කළ’ බව ය.
අවුරුදු 5ක් නීතිපති දෙපාර්තමේන්තුව පොල්ගෑවාද?
පළමුවෙන් පැනනැඟෙන ප්‍රශ්නය වන්නේ, ලසන්ත ඝාතනයේ සීඅයිඩී විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ලැබුණු දා පටන් (එය සිදුවී ඇත්තේ විමර්ශන අවසන් නොකෙරී, ගෝඨාභය නියමයෙන් කඩාකප්පල්වී තිබූ 2020දී බව වාර්තා වේ) 2025 ජනවාරි 27වැනිදා දක්වා මේ කියන ‘නෛතික දුර්වලතා’ නීතිපති දෙපාර්තමේන්තුව නොදැක්කේ මන්ද යන්නයි? ඒ නෛතික දුර්වලතා ගැන ඔවුන් සීඅයිඩී විමර්ශකයන්ට දැනුම් දුන්නාද, කරුණු විමසුවාද? නෛතික දූර්වලතා මඟහරවාගැනීමට විමර්ශකයන්ට උපදෙස් දුන්නාද? එතැන් පටන් මේ දක්වා විමර්ශන නිලධාරීන් සමඟ සාකච්ඡා වට කීයක් පැවැත්වූවාද? ඒවායේ ප්‍රගතිය කෙබඳුද? ඒවායෙන් මේ කියන නෛතික දුර්වලතා මඟහරවාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට බැරිවූයේ ඇයි?
වසර 5ක් තිස්සේ දලාගමට අපරාධ චෝදනා ගොනුකිරීම වෙනුවෙන් දෙපාර්තමේන්තුව කළේ මොනවාද?
දෙවනුව පැනනැඟෙන්නේ මේ කියන ‘නෛතික දුර්වලතා’ සම්බන්ධ ගැටලුව යි. ඔවුන් එහිදී දක්වන ප්‍රධාන කරුණක් බව වාර්තා වන්නේ රියදුරු ඩයස් තමන් පැහැරගත් පුද්ගලයා පෙරෙට්ටුවේ දී හඳුනාගැනීමේ ක්‍රියාවේ ගැටලුවකි. එනම්, සැකකරු හඳුනාගත හැකි පරිදි ඔහුගේ රුව පෙරෙට්ටුවට පෙර මාධ්‍යවලින් ප්‍රසිද්ධ කළාය යන කාරණය යි. මොකක්ද මේ ප්‍රසිද්ධ කරන ලද රුව?
2015 ඇරැඹි සීඅයිඩී විමර්ශනයේ දී කරුණාරත්න ඩයස් නාඳුනන පුද්ගලයකු විසින් තමන් පැහැරගත් බව සිය කටඋත්තරයේ සඳහන් කරයි. විමර්ශන නිලධාරීන් විමසන්නේ ඒ පුද්ගලයාගේ හැඩරුව කෙබඳුද කියා ය. ඩයස් විස්තර කරන සැකකරුගේ දේහලක්ෂණ අනුව ඔය කියන රුව (පහත අමුණා ඇත) සිත්තමට නඟන්නේ සීඅයිඩී චිත්‍රශිල්පියෙකි. ඒ ඇන්දාට පසු, මේ ඇඳ ඇත්තේ තමන් විස්තර කළ රුවම බවට ඩයස් විසින් ද, තමන් ඇන්දේ ඩයස් විස්තර කළ රුව ම බවට චිත්‍රශිල්පියා විසින් ද ප්‍රකාශ ලබාදී තිබේ. ඒ රුව මාධ්‍ය මඟින් පලකරන්නේ සැකකරු හඳුනාගැනීමට මහජන සහාය ලබාගැනීම සඳහා ය. එසේ පළකරන බව අධිකරණයට දැනුම්දී තිබේ.
උදලාගම ගැන ඔත්තුව ලැබෙන්නේ ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙනි. ඉතින්, මේ රුව අඳින්නට තමන් පැහැරගත් මිනිසාගේ දේහලක්ෂණ චිත්‍රශිල්පියකු හමුවේ විස්තර කළ වින්දිතයා වන රියදුරා, ඒ රුව ප්‍රසිද්ධ කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක දී හඳුනාගනී.
දැන් නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ හතරබීරි කතාවකි. මේ රුව කලින් ප්‍රසිද්ධ කර රියදුරාට උදලාගම හඳුනාගැනීමට සීඅයිඩිය උදව්කර ඇති බව උසාවියෙන් තීරණය වන්නට ඉඩඇති බව ය. එතකොට චිත්‍රයේ ඇති දේහලක්ෂණ චිත්‍රශිල්පියාට විස්තර කළේ කවුද? තමන් ම කළ දේහලක්ෂණ විස්තරයෙන් ඇඳුණු චිත්‍රය දුටු රියදුරාට අමුතු මොකක්හරි දෙයක් වුණාද?
හඳුනාගැනීමේ පෙරෙට්ටුව දවසේ උදලාගමගේ නීතීඥයා ද උසාවියට ආ නමුත්, පෙරෙට්ටුවට පෙර ඔහුගෙන් මේ ආකරයෙන් සැකකරුගේ රුව ප්‍රසිද්ධ කර හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තැබීමක් ගැන නෛතික විරෝධයක් එල්ලවූයේ නැත. එවැන්නක් සිදුවිණිනම් එදා පෙරෙට්ටුව පවත්වන්නටත් බැරිය.
එවැන්නක් සිදුවූ අප දන්නා එකම අවස්ථාව නම්, ගෝඨාභය ගේ ‘පිස්සු පූසා කොමිසම’ නම් අපකීර්තිමත් ජනාධිපති කොමිසන් නාඩගම ඉදිරියේ, තමන් දේශපාලන පළිගැනීමට ලක්වූවකු බව කියමින් උදලාගම පෙනීසිටි අවස්ථාව යි. අවසානයේ මේ නාඩගම් කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් බලරහිත කැරුණු බැවින් ඒ අවස්ථාව ද අනීතික ය.
දැන් නීතිපති හදන්නේ අන්න ඒ බලරහිත කැරුණු නිර්දේශය යළි ක්‍රියාත්මක කිරීමට යි.
උදලාගම සම්බන්ධයෙන් නීතිපතිගේ තීරණය ප්‍රශ්න කිරීමට යුක්තිසහගත හේතු අපට ඇත. ඒ අදහසම විමර්ශනය මෙහෙයවූ විමර්ශකයන් ද දරන බව අපේ අවබෝධය යි. විමර්ශකයන් සමඟ මේ සම්බන්ධයෙන් ප්‍රයෝජනවත් ලෙස ගනුදෙනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කිසිවක් කර නැතිබව අපට දැනගන්නට ලැබීතිබේ. හැබැයි දැන් සියල්ල වැරදී ගියවිට මේ අහංකාර මාධ්‍ය නිවේදනයත් ලියා, “අපි ආයෙ මේව ගැන කතාකරමුකෝ!” වගේ චාටුවක් නීතිපති දෙපාර්තමේන්තුව සීඅයිඩිය පැත්තට දමන බව ද දැනගන්නට ඇත.
සුගතපාල – නානායක්කාර
තිස්සසිරි සුගතපාල සහ ප්‍රසන්න නානායක්කාර චෝදනා ලබන්නේ සාක්ෂි වසංකිරීමට හා විනාශ කිරීමට යි.
මේ ගැන මුලින්ම කිව යුත්තේ, පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට ද ගිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර, නානායක්කාරට විරුද්ධව සාක්ෂි වසංකිරීම හා විනාශ කිරීම යන කරුණු ඔප්පුකිරීමට තරම් සාක්ෂි තමන් අත ඇති බවත්, තමන්ට දැන් අවශ්‍ය වන්නේ ඔහු ඝාතනයටත් සම්බන්ධද යන බව සොයාබැලීමට බවත්, ඒ විමර්ශන පහසුවීම සඳහා ඔහු තවදුරටත් රිමාඩ් භාරයේ තබන්නැයි ඉල්ලාසිටින බවත් 2018 අප්‍රේ ල් මාසයේ ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ කියාසිටි බව ය.
අවුරුදු 7කට පසු ඒ සාක්කි ගඟේගියාද යන්න සාධාරණ සහ යුක්ති සහගත ප්‍රශ්නයකි.
ඔවුන් දෙදෙනාමටම එරෙහිව සාක්ෂි වසංකිරීම හා විනාශ කිරීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ල කරන්නට තරම් සාක්ෂි ඇති බව විමර්ශන වාර්තා දෙස සාවධානව බලන විට පෙනේ.
ලසන්තගේ ‘නෝට් පොත’ කෝ?
ලසන්තගේ රියේ තිබූ, ඔහු විසින් තමන් පසුපස පන්නා එන යතුරුපැදි දෙකේ අංක බවට දැන් සැකකරන අංක ලියූ ඔහුගේ ක්ෂේත්‍ර සටහන් පොත අදටත් අතුරුදහන් ය. එය අතිශය වැදත් සාක්ෂියක් නොවේද? එය අතුරුදහන් වූ නමුත්, සුගතපාල විසින් ගන්නා ලද ඡායාපිටපත් තිබේ. සුගතපාලට ඡායාපිටපත් ගැසූ පොලිස් නිලධාරියා තමන්ට ද පිටපතක් ගසාගත්තේ ය. ඒ පිටපතත් සීඅයිඩී විමර්ශකයන් අත තිබේ. පිටපත් තිබේනම් මුල් පිටපතට වුණේ කුමක්ද?
සුගතපාල ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 127.1 යටතේ ලබාදුන් ව්‍යවස්ථාපිත ප්‍රකාශයේ මේ පිළිබඳ පැහැදිළි සාක්ෂි තිබේ.
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී ද මෙබඳු ම ව්‍යවස්ථාපිත ප්‍රකාශයක් ගල්කිස්ස මහේස්ත්‍රාත් හමුවේ ලබාදී ඇති අතර, සුගතපාලගේ ප්‍රකාශයේ කරුණු ඉන් සනාථ වේ. සුගතපාල ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොතත්, පොලීසියේ බරපතල අපරාධ පොතත් රැගෙන නියෝජ්‍ය පොලිස්පති නානායක්කාර හමුවන්නට මිරිහානට යන්නේ මේ අධිකාරී සමඟ ය. අතුරුදහන් වී ඇති ක්ෂේත්‍ර සටහන් පොත නානායක්කාර භාරයට ගන්නේත්, බරපතල අපරාධ පොතේ පිටු ගලවා පොත අලුතින් හදන්නට උපදෙස් දෙන්නේත් මේ අධිකාරී ඉදිරියේ ය. මේ කියන දවසේ මේ කියන වෙලාවට මේ තිදෙනා අතර හුවමාරු වූ දුරකතන ඇමතුම් හා ඔවුන්ගේ ජංගම දුරකතන ක්‍රියාත්මක වූ ස්ථාන සුගතපාල සිය ව්‍යවස්ථාපිත ප්‍රකාශයේ කියන කතාව හා ගැලපෙන බව දුරකතන දත්ත විශ්ලේෂණය මඟින් තහවුරු කරගෙන තිබේ.
පොලීසියේ බරපතල අපරාධ පොත, ලසන්ත ඝාතන දිනයට අදාළව වෙනස්කර ඇති බව විමර්ශනවල දී තහවුරු වී ඇත. රජයේ මුද්‍රණාලයෙන් අදාළ පොතේ පිටුවලට ලබාදී තිබූ අංක මාර්ගයෙන්, පොත ගලවා නැවත සකස්කිරීමේ දී අලුතෙන් දැමූ පිටුවල අංක නොගැලපීමෙන් මෙන් ම පොත කටුගසා අමුණා ඇති සැටියෙන් ද සාක්ෂි විනාශකළ හා වෙනස්කළ බවට බලවත් සාක්ෂි ලැබී තිබේ. මෙසේ උගුලුවා විනාශකර දමනලද පිටුවල ද ඡායාපිටපත් සොයාගෙන තිබේ. බල අපරාධ පොත අලුතෙන් පිටු යොදා කටු ගසා සකස්කර ඇති බවට රජයේ රසපරීක්ෂකවරයා ද සහතික කර තිබේ. පොත අලුතින් කටුගසා සකසන්නට ගෙනගිය මුද්‍රණ ස්ථානය පවා විමර්ශනවලදී සොයාගෙන තිබේ. ඒ ගල්කිස්සේ පිහිටි සිද්ධාලේප ආයතනයේ මුද්‍රණාලය යි.
දැන් නීතිපති කියන්නේ මේ දෙන්නාට එරෙහිව ප්‍රමාණවත් චෝදනා නැතිබැවින් නිදහස් කරන බව ය.
මෙතැන ද කිසියම් ‘නෛතිකත ගැටලු’ ඇත්නම්, විමර්ශන වාර්තාව තමන් අත පත්වූ දා පටන් විමර්ශකයන් සමඟ ඒ ගැන සාකච්ඡා කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු නොකළේ ඇයි? ගැටලු විසඳාගන්නට උපදෙස් නොදුන්නේ ඇයි?
මේවා අතිශය සාධාරණ හා යුක්තිසහගත ලෙස ප්‍රශ්නකළහැකි ඒවා නොවන්නේද?
ගැලවිජ්ජා වාක්‍යය
අන්තිම අතාර්කික, ප්‍රායෝගික නොවන, ගැලවිජ්ජාවට යෙදූ වාක්‍යයක් මේ ලියවිල්ල අවසානයට එයි. ඒ මෙසේය: “මෙම නිදහස් කිරීම, නව සාක්ෂි හෙළිදරව් වීම මත අපරාධ චෝදනා ගොනුකිරීම සලකාබැලීමට බාධාවක් නොවන බව මෙයින් දන්වා සිටිමි.”
අපරාධ විමර්ශන සම්බන්දයෙන් දීර්ඝ කාලීන අත්දැකීම් සලකා බලද්දී, පළමු අවස්ථාවේ ‘සාක්ෂි මදිය’ කියා නිදහස්කර හරින සැකකරුවන් නැවත වතාවක් අලුත් විමර්ශන ඔස්සේ සාක්ෂි සොයාගෙන ඇවිත් අපරාධ චෝදනා ගොනුකිරීමෙන් වරදකරුවන් කිරීමට තිබෙන ඉඩකඩ ඉතාම අල්ප ය.
ලසන්ත ඝාතකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කෙරේ තමන්ට අධිකාරී බලයෙන් පැටවී ඇති වගකීම නිවැරැදිව ඉටුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට ඇත්ත වුවමනාවක් ඇත්නම් කළයුත්තේ අවුරුදු 5ක් තිස්සේ හමස්පෙට්ටියේ තිබූ විමර්ශන වාර්තාව ගැන විමර්ශන නිලධාරීන් සමඟ දැන්වත් සාකච්ඡාකර මේ පවතිනවායයි කියන නෛතික ගැටලු විසඳාගැනීමට කටයුතු කිරීම ය. එහෙම නැතිව අල්ලාගෙන සිටින සැකකරුවනුත් මේ විදියට අයුක්තිසහගත ලෙස ගෙදර යැවීම නොවේ.
දේශපාලන මොහොත
අප මීට ඉහත කළ හෙළිදරව්වෙන් කී පරිදි ම, නීතිපතිට මේ බේතකට මෙන් අල්ලාගෙන ඉන්නා සැකකරුවන් තිදෙනාත් නිදහස්කර හරින්නට හිතක් පහළවෙන්නේ අතිශය වැදගත් දේශපාලන මොහොතක ය.
2015 ඇරැඹි සීඅයිඩී විමර්ශන අත්හැර දැමෙන්නේ 2019 ගෝඨාභයගේ ආගමනයත් සමග ඔහුවිසින් කළ පළිගැනීම් මාලාවක හා ‘විමර්ශන නවත්වන්නැ’යි දෙන නොනිල අණ නිසා ය. එතැන් පටන් පසුගිය ජනාධිපතිවරණය දක්වා අවුරුදු 5ක් ලසන්ත ඝාතනයට මොනවා වෙනවාදැයි කිසිවෙක් දැනසිටියේ නැත. දැනසිටි එකම දේ නම් ගෝඨාභය යටතේ හෝ ඉන් පසු බලයට ආ රනිල් යටතේ කිසිදු විමර්ශනයක් සිදුනොවන බව ය.
එහෙත් නව ජාජබ ආණ්ඩුව යටතේ ලසන්ත ඝාතන විමර්ශන ද තවත් විවිධ අපරාධ විමර්ශන සමඟින් යළි ඇරැඹී ඉදිරියට යනු ඇතිය යන දැඩි බලාපොරොත්තුවක් ඇතිවී තිබේ.
අවුරුදු 5ක් නිදිවැදී සිටි නීතිපති දෙපාර්තමේන්තුවට මේ සැකකරුවන් තිදෙනාත් දොට්ට දමා නඩුව වසාදමන්නට හදිස්සියක් පහළවන්නේ විමර්ශන යළි ඇරැඹී, දේශපාලන බලපෑම්වලින් තොරව ඉදිරියට ගොස් ලසන්තගේ සැබෑ ඝාතකයන් සොයාගන්නට කිසියම් ම හෝ ඉඩක් විවරවනු ඇතැයි බලාපොරොත්තුවක් දැල්වෙන අවස්ථාවේ ය.
නීතිපතිගේ අභිලාශය ඒ විවරවන්නට යන දොරටුව හැකි වැරෙන් වසාදැමීමදැ’යි වින්දිතයන්ගේ පැත්තේ ඉන්නා අපට සාධාරණ වූ පමණක් නොව යුක්ති සහගත වූද සැකයක් ඇතිවේ.
‘ඩීප් ස්ටේට්’ කයි කතන්දර
‘ඩීප් ස්ටේට්’ යනු අද හංදියක් හංදියක් ගානේ අහන්නට ලැබෙන වචනයකි. දන්නා අයත් නොදන්නා අයත් ඒක වරනඟති. නීතිපති දෙපාර්තමේන්තුව යනු ‘ඩීප් ස්ටේට්’ එකට සාමාන්‍ය තතු යටතේ අයත් එකක් නොවේ. එහෙත් රාජ්‍යයට මේ තාක්කල් අරක්ගෙන සිටි ප්‍රභූ තන්ත්‍රය පලවාහැර නිර්ප්‍රභූන් අතට බලය ගියවිට, නීතිපති දෙපාර්තමේන්තුව වැනි මේ අතිශය රාමුගත රාජ්‍ය ආයතන ද වහා ම ‘ඩීප් ස්ටේට්’ තත්ත්වයෙන් ක්‍රියාත්මක වන්නට පටන්ගන්නා හැටි අතිශය කාලෝචිත අධ්‍යයනයකට විෂයය වියයුතු තත්ත්වයකි.
ඒ පිළිබඳව ඉදිරියේ දී යමක් ලියන්නට බලාපොරොත්තු වෙමි.