Day: June 15, 2022

  • ඖෂධ නොමැතිකමෙන් සිදුවන මරණ, මිනිමැරුම්! – වෛද්‍යවරුන්ගෙන්  චෝදනා

    ඖෂධ නොමැතිකමෙන් සිදුවන මරණ, මිනිමැරුම්! – වෛද්‍යවරුන්ගෙන් චෝදනා

    මෙරට මහජන සෞඛ්‍ය සේවයේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ගෙන්වීම පැහැර හැර ඇති තත්වය යටතේ සිදුවන ඇතැම් රෝගී මරණ චේතනාන්විත සාපරාධි මනුෂ්‍ය ඝාතන ලෙස සැළකිය හැකි බව සෞඛ්‍ය සේවකයෝ පෙන්වා දෙති.

    රෝහල්වල තිබිය යුතු අවම අත්‍යවශ්‍ය ඖෂධවල සිට රෝගීන් අසාධ්‍ය අවස්ථාවල දිය යුතු ජීවිතාරක්ෂක ඖෂධ පවා නොමැති හේතුව නිසා දිනපතා රෝහල්වල වාර්තාවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබේ.

    ජූනි 8 වැනිදා වාර්තා වූ ආකාරයට අනුරාධපුර මධ්‍ය මහා විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවකු සර්ප දස්ටනයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණද ඖෂධ නොමැතිකම නිසා අකාලයේ මිය ගොසිනි.

    අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ පදිංචි බව කියන විනුක ලක්ෂාන් නමැති මෙම 15 හැවිරිදි ශිෂ්‍යයා පොළඟකු දෂ්ට කිරීමෙන් පසු ගිය 08වෙනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත. විෂ උත්සන්න වීම නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු සර්ප විෂට ලබාදෙන ඖෂධ ලබාදී තිබුණද ඉන්පසු ඇතිවන ආසාත්මිකතාවයට අත්‍යඅවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ වර්ග නොමැති වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට වාර්තා විය.

    සිසුවා අසාධ්‍ය වීමෙන් පසු අදාළ අත්‍යවශ්‍ය ඖෂධය රෝහලේ නොමැති බවට රෝහල් බලධාරීන් දෙමාපියන්ට දැනුම් දී අති අතර මෙම ඖෂධය සොයා මවුපියන් පුද්ගලික ‌ඔසුහල් 48 කට ගියද ඖෂධය තිබි නැත. ඒ අතර තුර කාලය තුළදී ශිෂ්‍යයා මියගොස් ඇති බව වාර්තා කෙරිණි.

    ඖෂධ ආනයනය සඳහා අයවැයෙන් වෙන් කළ මුදල් අවභාවිත වී ඇති බවත් සෞඛ්‍ය සේවයට අත්‍යවශ්‍ය ඖෂධ වෙනුවට රූපලාවණ්‍ය ඖෂධ ආනයනය කර ඇති බවත් වානේ ආනයනය කළේද එම මුදලින් බවට ආරංචි ඇති බවත් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කර තිබේ. එම සංගමයේ වෛද්‍ය ගිෂාන්ත දසනායක පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ ප්‍රමුඛතා මත පියවර නොගැනීම නිසා අනෙකුත් ක්ෂේත්‍රවල ඇතිව තිබෙන කඩාවැටීම ඖෂධ ගෙන්වීමේදීද දක්නට ඇති බවයි.

    එම මාධ්‍ය හමුවේදී වෛද්‍ය දසනායක මෙසේද කියා සිටියේය.
    “අපේ රටේ ආර්ථික අර්බුදය නිසා ලෝකයේ විවිධ රටවලින් අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය වෙනුවෙන් ආධාර ලැබුණා. ඒ ආධාරවල එකතුව ඩොලර් මිලියන 300ක් විතර වෙනවා. මෙම මුදල සාමාන්‍යයෙන් අපේ වාර්ෂික ඖෂධ වියදමට සමානයි. නමුත් මේ මුදලින් රටට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වන්න වැය කළේ ඩොලර් මිලියන 92ක් පමණයි. ඉතිරි ඩොලර් මිලියන 208ක් වියදම් කළේ වෙනත් දේවල්වලට.”

    දැනට රට තුළ පවතින මෙම අත්‍යාවශ්‍ය හා ජීවිතාරක්ෂක ඖෂධ හිගය සම්බන්ධයෙන් තමන් මාස ගණනක සිට කරුණු ඉදිරිපත් කළ ද සෞඛ්‍ය බලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසා ඇත.
    “මෙම ඖෂධ හිඟය නිසා රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්වෙලා. මෙම දරුවාගේ මරණය ‌රටපු‌රා රෝහල් තුළ සිදුවන මෙවැනි මරණ වලින් එක් අනාවරණයක් පමණයි. ආණ්ඩුව වහාම මෙම ‌ඖෂධ හිඟයට පිළියම් යෙදිය යුතුයි. නැතිනම් ආණ්ඩුව හා ‌සෞඛ්‍ය ඇමතිවරයා මෙම මරණ වල වගකීම බාර ගත යුතුයි” යැයි වෛද්‍ය ජයන්ත බන්ඩාර වැඩිදුරටත් අවධාරණය කර ඇත.

  • රටකට බෙහෙත් නැති කළ අ’නාථ’ සුමන සහ රටකට බෙහෙත් ලබාදුන් සාෆි!

    රටකට බෙහෙත් නැති කළ අ’නාථ’ සුමන සහ රටකට බෙහෙත් ලබාදුන් සාෆි!

    එදා වෛද්‍ය සාෆිට බොරු චෝදනා, “වඳ සැත්කම් ටොම් පච” එල්ල කරමින්, ‍රට පුරා ජාතිවාදය වපුරමින්, ඒ මතින් පාර්ලිමේන්තු ගිය තස්කඩි රෑනේ ප්‍රධානතමයෙක් තමයි අ’නාථ සුමන.

    ඒ අකාරයට ජාතිවාදී බොරු මවා “රට බේරාගන්න” පාර්ලිමේන්තු ගිය අ’නාථ සුමන පසුව “ඖෂධ පිළිබඳ ඇමති” බවට පත්වුණා. අදාළ ඇමතිධූරයේ වසර දෙකක් ගතවන්නත් කලින් ලංකා ඉතිහාසයේ දැවැන්තම ඖෂධ හිඟයක් මේ රටේ ඇති කිරීමට ඔහු මුල්වුණා. ඒ නිසි කාලයේ ඖෂධ සඳහා මුදල් නොගෙවීමත්, එසේ නොහැකි වන විට ඒ පිළිබඳ සැබෑ තොරතුරු දේශපාලන උවමනාවන් මත සඟවාගෙන සිටීමත් හරහායි.

    සාමාන්‍යෙන් ඖෂධ ආනනය කරද්දී සිදුවෙන ක්‍රමවේදය තමයි අදාළ ගිණුම්(LC) ආරම්භ කරලා, ගෙවීම් තහවුරු කරලා ඖෂධ ඇනවුම් කළායින් පස්සේ මාස තුනක් හතරක් වගේ කාලයදි ලංකාවේ රෝහල් පද්ධතියට සහ ෆාමසි වලට ඒ ඖෂධ ලැබීම. අඩුම තරමෙන් ජනවාරී මාසයේ ඖෂධ ගෙන්වීමට LC ආරම්භ කිරීමට මුදල් නැතිවූ විට ඒ බව පිළිගත්තානම්, ඒ මොහොතේ රටක් ලෙස අපි ඒ වෙනුවෙන් ආධාර ඉල්ලා සිටියා නම් මේ ආකාරයට දරුණු අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් කිසිසේත්ම අපේ රටේ ඇතිවෙන්නේ නැහැ. එහෙම කළානම් දැන් සිද්ධ වෙමින් තියෙන විදෙස්ගත අපේ රටේ ජනතාවගේ සහ වෙනත් විදේශ රටවල් වල මැදිහත්වීම මීට කලින් සිද්ධ කරගැනිම නිසා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධාන වල මැදිහත්වීමෙන් කිසිදු හිඟයක් නැතිව අදාළ වේලාවට ඖෂධ ලබාගන්න අපිට හැකියාවක් තිබුණා. එහෙනන් මේ ආකාරයට මර බියෙන් ජීවත් වෙන්න අපිට සිද්ධ වෙන්නෙ නැහැ.

    ඒ වෙනුවට විෂයභාර ඇමති වූ අ’නාථ සුමන ඇතුළු ආණ්ඩුව කලේ එලෙස ඖෂධ ගෙන්වීමට මුදල් නැති බව පැවසුවහොත්, තමන්ගේ අසමත්කම හෙළිදරව් වන නිසා අදාළ තොරතුරු සාපරාධී ලෙස සඟවාගෙන සිටීම. ඒ නිසාම වෛද්‍යවරු විදියට අපි පවා ඖෂධ හිඟය ගැන දැනගත්තේ, අපි වැඩ කරන රෝහල් වලට නිසි කාලයට බෙහෙත් නොලැබී යද්දි. ලැබිය යුතු බෙහෙත් වලින් සුළු කොටසක් පමණක් ලැබෙද්දි. සරලව කිව්වොත් අප්‍රේල් මාසයෙදි ජනමාධ්‍ය වල මේ ගැන කියවෙන මොහොත වනවිට අපිට බෙහෙත් නැතිවෙලා ඉවරයි.

    මතක් කරලා බලන්න, මේ හිඟයේ ආරම්භක සලකුණු මාර්තු අග වෙද්දි තැන් තැන් වල මතුවෙද්දි ආණ්ඩුව ඒ සම්බන්දයෙන් හැසිරුණු විදිය.
    මාර්තු අවසාන සතියේ මධ්‍යම පළාතේ රෝහලක අත්‍යාවශ්‍ය ඖෂධයක හිඟතාවයක් නිසා එක් දිනයකට ශල්‍යකර්ම නැවතුනා. ඒ මොහොතේ අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයා චූදිතයා කරමින් ලිපියක් නිකුත් කළ අ’නාථ සුමන කියා සිටියේ “රටේ කිසිදු බෙහෙත් හිඟයක් නැති බවත් මෙය දේශපාලන හේතූන් මත අදාළ රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් ඇති කළ අර්බුදයක් බවත්” ය. වැඩ බැරි ජනාධිපති ගෝඨාභය වගේම, වැඩබැරි සහ ජාතිවාදී අ’නාථ සුමනලාත් කළේ අවසාන මොහොතේ ඇඳිවතත් කඩාවැටෙනතුරු “මෙය මා විසින් ඇති කළ අර්බුදයක් නොවේ” කියමින් පච වැපිරීමයි.
    අඩුම තරමේ ජනවාරි මාසයේවත් තමන්ට බෙහෙත් ගෙන්වන්න මුදල් නැති බවට ඇත්ත කිව්වානම්, දැන් සිදුකරන ආකාරයට ඔවුන්ව පැත්තකට කර මේ රටේ මිනිස්සුන්ට එකතුවී හෝ මේ හිඟය ඇති නොවෙන්න විදෙස් ආධාර ඇතුළු ආධාර හොයාගනිමින් මේ ආකාරයට ජීවිත අනතුරේ වැටීම වළක්වාගන්න තිබුණා. එසේ නොකිරීමෙන් විෂයභාර ඇමති ඇතුළු ආණ්ඩුව කළේ අපරාධයක්. සිතාමතා මනුෂ්‍ය ජීවිත නැති කිරීමට ඉඩ හැරීමක්!
    දැන් රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ නැතිවෙමින් යනවා. ඇතැම් රෝහල් වල සායනවලදී මාසයකට අවශ්‍ය බෙහෙත් ලබා දෙන්නෙ සති දෙකකට විතරයි. ඉතිරි සති දෙක පිටින් ගන්න කිව්වත්, මිනිස්සුන්ට සල්ලි නැහැ. ඉතින් බෙහෙත් නැතිකම නිසාවෙන් ප්‍රෙශර් වැඩිවෙලා, හර්දයාබාධ හැදිලා රෝගීන් රෝහල්වලට ඇතුළ් වෙන්න පටන් අරන් තියෙනවා. ඕක තමයි පෙට්‍රල්, ඩීසල්, ගෑස් පෝළිම් වල දිග නිසාම, ඒවායින් වැහිලා තිබෙන මේ මොහොතේ ඖෂධ තත්වය ගැන තිබෙන යතාර්ථය!

    නැවතත් කියන්නේ මෙය නිකන්ම නිකන් හිඟයක් නෙමෙයි, සිතාමතා වළක්වා නොගත් එකක්. අපරාධයක්!
    ඉතින් ජාතිවාදයට යටවෙලා, ඒ අදක්ෂ, වැඩබැරි, ජාතීවාදී තස්කඩීන් පාර්ලිමේන්තු යවලා, ඉන් එකෙක් ඖෂධ සම්බන්ද විෂයභාර ඇමති බවටත් පත්කරලා, අපේ ඉතිහාසයේ එදාමෙදාතුර විශාලතම ඖෂධ හිඟය ඇතිකරල අවසන්. ඒ වන්දිය දැන් අපි ගෙවමින් ඉන්නවා.
    “බල්ලොන්ට කියලා කවාගන්නෙපා. සර්ප දෂ්ඨන වලින් බේරී සිටින්න.” මට එහෙම කියන්න පුලුවන්. ඒත් හැමදාම බිව්ව බෙහෙත් පෙති ටික නැතිකමින් හර්දයාබාධ හැදෙද්දි, හර්දයාබාධයකින් පසු ජීවිතය බේරාගන්නා සියළුම බෙහෙත් අවසන් වෙමින් තිබෙද්දි, අර ආකාරයට “හර්දයාබාධ හදාගන්නෙපා” කියලා කියන විදිය මට තේරෙන්නෙ නැහැ.

    ඒක එහෙම වෙද්දි, අ’නාථ සුමන, අතුරලියේ රතන, විමල් වීරවංශ වැනි තස්කඩින් මුල් වෙලා, මුළු ජාතියක් හවුල් කරගෙන බොරු චෝදනා යටතේ දඬු කඳේ ගැසූ වෛද්‍ය සාෆි කරල තියෙන වැඩේ සුවිශේෂයි. අ’නාථ සුමනලාගේ බොරු චෝදනා මත වැටුප පවා අහිමි වසර ගණනක් ගතකළ වෛද්‍ය සාෆි, වසර ගණනකින් තමන්ට ලැබුණු “සම්පූර්ණ හිඟවැටුප” ‍රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කරල තිබෙනවා.
    මොහොතකට අ’නාථ සුමන ගැටළුව බවට පත්වෙද්දි සාෆි පිළිතුර බවට පත්වෙලා තිබෙනවා.
    මේ තරම් දරුණු අර්බුදයක් මැද්දෙ පවා සතුටුවෙන්න, හිනාවෙන්න දේවල් අපිට හම්බෙනවා!

  • අදානි දුකෙන්ලු !

    අදානි දුකෙන්ලු !

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරිමට බලාපොරාත්තු වන සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව ඇති වී තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් අදානි සමාගම කනස්සල්ලට පත්ව ඇති බව සඳහන් පුවත විශේෂ අවධානයක් දිනාගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

    හිටපු විදුලි බල මණ්ඩල සභාපතිවරයා පසුගියදා කෝප් කම්ටුව හරහා පැවසුවේ මන්නාරමේ ඉදිවන සුළං විදුලි බලාගාරයක ඉදිකිරීමේ කොන්ත්රාත්තුව ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට උපදෙස් ලබාදුන් බවත් මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ජනපති නරේන්ද්ර මෝඩි, ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බලපෑම් කර ඇති බවත්ය. දැන් ආණ්ඩුව පවසන්නේ සභාපතිගේ මෝඩ ප්‍රකාශය නිසා ලංකාවට ලැබීමට තිබූ ඉන්දියානු ණය ප්‍රමාදවීමට නියමිත බවයි.

    ඒ අනුව ඉන්දියාව විසින් ණය සහ විවිධ ආධාර ලබාදීම හරහා ලංකාවට උදව් කරන මුවාවෙන් අපේ රටට සිදුකරන බලපෑම ගැන කතාව යට යනු පෙනේ. ඊට අමතරව මෝදී ආණ්ඩුව සහ ධනවතුන් අතර තිබෙන සහ සම්බන්ධය මෙන්ම රාජ්යයන්-රාජ්යයන් අතර ඇතිවන ව්යාපෘතිවල එකඟතාවලදී පවා ව්යාපාරික සාධකය කෙතරම් ප්රබල ද යන කාරණය යට යනු පෙනේ. ඒ වෙනුවට උලුප්පා දක්වන්නේ රටේ ජනතාවට කන්න බොන්න මුදල් අවශ්‍ය බවත් දැනට ඒ සඳහා උදව් කරමින් සිටින්නේ ඉන්දියාව බවයි. නැවත මතක් කර බැලුවහොත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ කතාවේදී ද මෙවැනි කතා බහක් මතුවී නැවත යට යන ලදී. එම ජැටිය ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබුනේ ද අදානි සමාගමටයි.

    නමුත් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වූවා නම් අපේ රටේ ජනතාවට ලැබෙන වාසිය කුමක්ද යන්න විමසා බැලීම වටියි. මම සුළං විදුලි බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව විදුලි බල පනතක් පවා සම්මත කිරීමට ආණ්ඩුව කටයුතු කරන ලදී. එම නව විදුලි බල පනත හරහා තරඟකාරී ක්‍රමයක් යටතේ මිල ගණන් කැඳවීම සහ ටෙන්ඩර් කැඳවීමේ දී විදුලි ඒකකයක් සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කරන සමාගමට ටෙන්ඩර් එක ලබාදීම යන කරුණු ප්‍රධාන ලෙස වෙනසකට ලක් කරන ලදී. මේ අනුව අදානි සමාගම හරහා විදුලිය වැඩි මිලට මිලදී ගැනීමට සැරසෙන බවද හෙළිව ඇත. මේ සියල්ලෙහි බර දැරීමට සිදුවන්නේ රටේ ජනතාවටයි. මේ අනුව මෙවැනි ව්‍යාපෘති හරහා රටකට සිදුවන යහපතක් නැති බව ඉතා පැහැදිලිය. සිදුවන්නේ රට දිගු කාලීනව තව තවත් අගාධයකට ගමන් කිරීම පමණි.

    රට ආගාධයකට ඇද දැමුවේ මේ රට මෙතෙක් පාලනය කර පාලකයන් විසිනි. එයට රටේ ජනතාව වගකිවයුතු නැත. එසේම දැනට මතුව ඇති ප්‍රශ්න විසඳා ගැනීමට තවදුරටත් රටේ ජනතාව උගසට තැබීමට ඉඩ නොදිය යුතුය. අදානිලා සතුටු කිරීමට ජනතාව දුකේ හෙළීමට අප තවදුරටත් ඉඩ දිය යුතු නැත.