Day: April 1, 2022

  • විරෝධතාවලින් නතර නොවී අරගලය තවත් ඉදිරියට රැගෙන යා යුතුයි – දුමින්ද නාගමුව

    විරෝධතාවලින් නතර නොවී අරගලය තවත් ඉදිරියට රැගෙන යා යුතුයි – දුමින්ද නාගමුව

    විරෝධතාවලින් නතර නොවී අරගලය තවත් ඉදිරියට රැගෙන යා යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද (01)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ මේ විරෝධතා පොදු ජනතාවට සහන ඉල්ලන ව්‍යාපාරයක් ලෙස තව අඩියක් ඔසවා තැබිය යුතු බව ජනතාවට යෝජනා කරන බවයි. එසේ නොවුනහොත් අවසානයේ මේ විරෝධතා හරහා කාගෙ හෝ ඔලුවකට ඔටුන්න වැටි නතර වෙනු ඇති බව ඔහු පවසා තිබේ.

    දුමින්ද නාගමුව දැක්වූ අදහස්වල සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ.

    ආණ්ඩුව දැන් මේ උද්ඝෝෂණයට අන්තවාදී ලේබලයක් ගහන්න හදනවා. ලොකු සමාජ විරෝධයක් ආව නිසා ඒ චෝදනා ඉවත් කරගන්න කටයුතු කරමින් ඉන්න බව පෙනෙමින් තියෙනවා. නමුත් ඔවුන්ව පොදු දේපොළ පනත යටතේ චෝදනා එල්ල. ඔබට මතකනම් කොතලාවල පනතට එරෙහි අරගලයේදී සිසු ජන ව්‍යාපාරයේ පස් දෙනෙකු අත්අඩංගුවට ගත්තා. පොදු දෙපලට කිසිදු හානියක් වෙලා නැතුව තියෙද්දී ඒ පස් දෙනා මාස තුනක් තියාගත්තා. එම උද්ඝෝෂණයට මැදිහත්වූ අය කියනවා බස් එකක් ගිණි තියන්න මැදිහත් වුනේ නෑ කියන එක. සාමාන්‍යයෙන් අපි දන්නවා ආණ්ඩුව බුද්ධි අංශ පවිච්චි කරලා මේ වගේ වැඩ කරනවා. මේ හරහා ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් තිබෙන විරෝධතා මර්දනය කරන්න උත්සාහ කරනවා. අපි දැනටමත් උද්ඝෝෂණයට සම්බන්ධ අයට සහය පලකරලා අපේ නීතිඥ කණ්ඩායමක් මැදිහත්වෙලා තියෙනවා. මේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කරනවා නම් අපි පක්ෂයක් විදිහට එයට එරෙහිවෙනවා වගේම ඊට එරෙහි විරෝධතාවයක් ගොඩනගන්න කටයුතු කරනවා.

    මේ උද්ඝෝෂණ මාස ගණනක අතතතියේ ප්‍රතිපලයක්. ජනතාවගේ විරෝධතා විවිධ ස්වරූප ගන්නවා. ජනතාව දේශපාලන පක්ෂවලට, මහජන ව්‍යාපාරවලට සම්බන්ධ වෙලත් විරෝධතා දක්වනවා. සමහරවෙලාව ඒ සියල්ලට පිටින් තමන්ගේ ප්‍රශ්න අරගෙන පාරට එනවා. හැබැයි අපි එක දෙයක් කියනවා. මේ විරෝධතාවලින් නතර නොවී මේ අරගලය ඉදිරියට ගෙන යා යුතුව තියෙනවා. මේ විරෝධතාවලට එරෙහිව එන මර්දනයට මුහුණ දීම සඳහා සංවිධානාත්මක නායකත්වය අවශ්‍යතාවය තියෙනවා.

    අනිත් පසින් මේ අර්බුදය වටහාගත යුතුව තියෙනවා. මේ අර්බුදය මේ ආණ්ඩුවේ අමනෝඥ ක්‍රියාකලාපය බලපා තියෙනවා. අනිත් පැත්තෙන් මේ අර්බුදයට දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්ති වගකිව යුතුයි. අපි ජනතාවට යෝජනා කරනවා පාරට බහින එකෙන් විතරක් අපිට මේ ප්‍රශ්නේ විසදන්න බැහැ. තෙල් පෝලිමටවෙලා ආණ්ඩුවට බැන බැන ඉන්නවා වෙනුවට තමන්ගේ ප්‍රශ්නෙත් අරගෙන පාරට ආපු ජනතාවට අපි ආචාර කරනවා. හැබැයි එතනින් එහාට යා යුතුව තියෙනවා. මේ අර්බුදයට දේශපාලන උත්තරයක් අවශ්‍යයි. ආර්ථික අර්බුදයට එරෙහි අපේ ඉල්ලීම් අවශ්‍යයි. මේ රටේ වැඩකරන ජනතාව වැටුප් ඉල්ලිය යුතුයි. ඒ වගේම සියලු ජනයා පොදුවේ තමන්ට සහන ලබාදෙන ලෙස ඉල්ලන ව්‍යාපාරයකින් පෙරට ආ යුතුව තියෙනවා. එහෙම නොවුනොත් මේ විරෝධතා රැළි පාවිච්චි කරලා තව කාගේ හරි ඔලුවකට ඔටුන්න වැටෙන්න පුළුවන්. අපි ජනතාවගෙන ඉල්ලා සිටිනවා මේ අරගලට තව අඩියක් ඔසවා තියමු කියලා.

  • මිරිහාන විරෝධතාවයට එක්වූවන්ට එරෙහිව මර්දන නීති යොදාගැනීමේ සූදානමක්

    මිරිහාන විරෝධතාවයට එක්වූවන්ට එරෙහිව මර්දන නීති යොදාගැනීමේ සූදානමක්

    පවතින ආර්ථික පීඩනය එරෙහිව මිරිහාන ඇඹුල්දෙණිය ජනපති නිවෙස ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ පුද්ගලයන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දඬුවම් ලබාදීමේ සූදානමක් පවතින බව තරුණ නීතිඥ සංගමය පවසයි.

    මෙම විරෝධතාවයෙන් පසු පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසා තිබුණි.

    මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් හදුනාගෙන ඇති බවත්, ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

    කෙසේවෙතත් අද උදෑසන ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මිරිහානේ පැවති විරෝධතාව අන්තවාදීන් පිරිසක් විසින් සිදුකළ දෙයක් බවයි.

    එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ජනතාව පොලු මුගුරු කැති මන්න රැගෙන විරෝධතාවයට සහභාගි වී තිබේ.

    නමුත් විරෝධතාවය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පට සහ ඡායාරූප හරහා පෙනී යන්නේ ජනාධිපති මාධ්‍ය අංශය අසත්‍ය පතුරවමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවයි.

    පීඩනයට එරෙහිව සිදු වූ ජනතා අරගලයක් අන්තවාදීන් විසින් සිදුකළ ක්‍රියාවක් බව පැවසීම ද ජනතාව නොමඟ යැවීමට සිදුකළ උත්සාහයක් ජනතාව පවසයි.

    මේ සියල්ල හරහා ආණ්ඩුව උත්සාහ කරන්නේ ආණ්ඩුවට එරෙහිව මේ නැගෙමින් පවතින විරෝධය මර්ධනය කිරීම බව පෙනෙන්නට තිබේ.