Breaking News

ලංකාව භූ දේශපාලන බල පොරයේ උගුලක පැටලීම වලක්වමු!

ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජනවාරි 14 වැනි දින සිට 17 වැනි දා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත වූ අතර ජනවාරි 16 වැනිදා ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කරනු ලැබීය. එම ඒකාබද්ධ ප්‍රකාශය තුළ ”එක් තීරයක් – එක් මාවතක් සහයෝගිතාවයට සහය වීම සඳහා ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන පියවර අට අනුගමනය කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ” බව සඳහන් වේ. එමෙන්ම ”එක් තීරයක් -එක් මාවතක් සහයෝගිතා සැලැස්මකට දෙපාර්ශ්වට අත්සන් තැබීය” යනුවෙන්ද එහි සඳහන් වේ. ”කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඒකාබද්ධ සංවර්ධනය ඇතුළු සියලුම ප්‍රධාන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට, සේද මාවත වැඩමුළුව වැනි වැඩසටහන් සම්පූර්ණයෙන්ම භාවිතා කිරීමට සහ එක්ව සැලසුම් කිරීමේ, ගොඩනැඟීමේ සහ ප්‍රතිලාභ ලැබීමේ මූලධර්මවලට අනුකූලව ලංකාව තුළ තවත් ජීවනෝපාය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට” ලංකාවේ ආණ්ඩුව එකඟ වූ බව එහි වැඩිදුරටත් සඳහන් වී තිබේ. එක් තීරයක් – එක් මාවතක් සහයෝගිතාව හුදු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් නොව දකුණු චීන මුහුද සහ ඉන්දියානු සාගරය තුළ චීනයේ භූ දේශපාලන උපායමාර්ගයකි. චීනයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් ”ඉන්දු – පැසිෆික් උපායමාර්ගය” නමින් හැඳින්වෙන වැඩපිළිවෙළක සිටින අතර ඉන්දියානු සාගර කලාපයද ඇතුළු ආසියානු කලාපය තුළ මෙම බලපොරය විසින් තියුණු ආතතියක් ගොඩනැගී තිබෙන බව නොරහසකි. එය ආර්ථික සහ වෙ‍ෙළඳ යුද්ධයක, දේශපාලන සහ රාජතාන්ත්‍රික ප්‍රතිවිරෝධයක සිට විවෘත මිලිටරි ගැටුමක තත්වයකට වර්ධනය වීමේ හැකියාව බැහැර කළ නොහැකිය. එහිදී ඉන්දියාව විවිධාකාර ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් සහ QUAD යුද සහයෝගිතාවයේ සම පාර්ශ්වකරුවෙකු ලෙස ඇමරිකා එක්සත් ජනපද වැඩසටහනට සහය දෙමින් සිටී. ඒ කලාපීය බලවතෙකු ලෙස තමන්ගේ අභිලාෂයන්ට යටත්වය. චීනය සමග ඒකාබද්ධ ප්‍රකාශයට හරියටම මාසයකට පෙර, 2024 දෙසැම්බර් 16 වැනිදා ඉන්දියාව සමග එක්ව නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දියානු සාගරය තුළ ඉන්දියාවේ උපායමාර්ගයට සහ එහි අනුග්‍රහය ලබන ඇමරිකා එක්සත් ජනපද වැඩපිළිවෙළට වත්මන් ආණ්ඩුවේ පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කරන්නකි. ලංකාවද අයත් ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධානතම භූ දේශපාලන බලපොරය තුලට ලංකාව ඇතුළු කරමින් සිටින බව මෙම ප්‍රකාශ දෙක අධ්‍යයනය කරන විට පෙනේ.

චීනය සමග නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ නොමැති තවත් වැදගත් එකඟතා එකී සංචාරයේදී ඇති කරගෙන තිබේ. හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට චීනයේ ‘සයිනොපෙක්‘ සමාගමට අනුමැතිය ලබා දීමේ ගිවිසුමක් අත්සන් කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. එය මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට යෝජිත ව්‍යාපෘතියක් වූ අතර රනිල් වික්‍රමසිංහගේ අනුප්‍රාප්තික පාලනය එයට අනුමැතියද දෙන ලදී. මෙතෙක් එම වැඩපිළිවෙළ ආරම්භ කළ නොහැකි වුයේ එයට එරෙහි ජනතා විරෝධය නිසා වන අතර ජනතා විමුක්ති පෙරමුණද එවකට එම ව්‍යාපෘතියේ ප්‍රමුඛ විවේචකයෙකු විය. මෙම ව්‍යාපෘතිය සඳහා පැවති විරෝධයේ පදනම වූයේ එක් අතකින් මෙමගින් හම්බන්තොට වරාය මූලික කරගත් භූ දේශපාලන ව්‍යාපෘතියකට ලංකාව හසු වීමයි. තවත් අතකින් දැනට පවතින ඛනිජ තෙල් පනතට අනුව ලංකාවේ රජයේ පූර්ණ ඒකාධිකාරයක් බවට පත්ව තිබෙන තෙල් ආනයනය, පිරිපහදුව සහ බෙදා හැරීම විදෙස් සමාගම් සතුවීම විසින් ලංකාවේ බලශක්ති ස්වෛරීත්වයට ඇති කරන ගැටලුවයි. එපමණක් නොව ආයෝජනයක් බව කීවද එම මුදල ලංකාවට ලැබෙන ආකාරය පැහැදිලිතාවයක් නොවීමද තවත් හේතුවක් විය. එම හේතු කිසිවක් මෙවරද වෙනස්වී නැත.

දැනටමත් හම්බන්තොට වරාය සියවසක පමණ කාලයකට චීනය සතුවී තිබෙන නිසා ඒ අසලම තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම නිසා හම්බන්තොට වරායේ නැව්තෙල් ආදායම ලංකාවට අහිමි වනු ඇත. වත්මන් ආණ්ඩුව ඉන්දියානු තෙල් නලයක් ලංකාවට එලීමේ ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ඉන්දියාවට එකඟ වී ඇති තතු යටතේ ත්‍රිකුණාමලය වරායේ පමණක් නොව කොළඹ වරායේද නැව්තෙල් සැපයීමේ ආදායම් ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතී. මෙය හුදු ආදායම් අහිමි වීමේ ප්‍රශ්නයක් පමණක් නොව ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය අහිමි වීමේ අවදානමක්ද, මෙම වරායන් ආශ්‍රිතව මිලිටරි පහසුකම් සැපයීම විසින් ජාතික ආරක්ෂක අවදානමක්ද ජනිත කරයි. මෙම එකඟතා සියල්ල විසින් පෙන්වනුයේ උතුර සහ නැගෙනහිර ඉන්දියානු ආධිපත්‍යයකට නතු වන අතර හම්බන්තොට ඇතුළු දකුණු පළාත චීනයේ අධිකාරීත්වයකට ලක් වෙමින් තිබෙන බවයි. මෙම කලාපීය බලවතුන් දෙදෙනාම කොළඹට ප්‍රබල මැදිහත්වීමක් සඳහා සූදානම් වීම එම අනතුර තවත් බරපතළ කරවයි.

ලංකාවේ ආර්ථික ස්වෛරීත්වය පමණක් නොව දේශපාලන ස්වාධිපත්‍යයද, ජනතාවගේ ආරක්ෂාවද අවදානමට ලක්වන සේ වර්ධනය වන මෙකී දේශපාලන ගතිකයන් පිලිබඳ ලාංකේය වැඩකරන පන්තිය ඇතුළු සමස්ත ජනතාවගේ දැඩි අවධානය සහ සක්‍රිය මැදිහත්වීම අපේක්ෂා කරමු. ජනාධිපතිවරයාගේ ඉන්දියානු සහ චීන සංචාර ආශ්‍රිතව ප්‍රකාශයට පත්ව ඇති භූ දේශපාලන ප්‍රතිවිරෝධතා හමුවේ ආණ්ඩුව ගන්නා ස්ථාවරයන් අතිශය බරපතළ බව අපගේ විශ්වාසයයි. දිගු කාලයක් තිස්සේ මෙම ස්ථාවරයන්ම දරා සිටි පාර්ලිමේන්තු විපක්ෂයෙන් මෙයට විසඳුමක් අපේක්ෂා කළ නොහැකි බව පැහැදිලිය. එනිසා ලංකාව මුහුණ දෙන ආර්ථික – දේශපාලන – භූ දේශපාලනික – මිලිටරිමය අභියෝගවලට විකල්ප නිර්මාණය කිරීමේත්, ඒවා යථාර්ථයක් බවට පත් කිරීමේත් ශක්‍යතාව හිමි වැඩකරන ජනතාව ඇතුළු ලාංකේය ජනතාවට සංවිධිත මැදිහත්වීමක් සඳහා ආයාචනා කරමු.

මධ්‍යම කාරක සභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2025 ජනවාරි 18

leave a reply