Breaking News

අගහිඟකම් නිසා ජේසු බබාට ද දෙමවුපියන් අහිමි විය 

හිල්මි සුපුන් 

2019 දෙසැම්බර් මස 24 වෙනිදා  හවස් වරුවේ කොළඹ සිට මම ගෙදරට යන අතරතුර  කොච්චිකඩේ ටවුන් එකේ විශාල  මිනිස් තදබදය නිසා දිගු  වාහන පෝලිමක් නිර්මාණය වී තිබුණි . හෙමින් හෙමින් ගාට ගාට ඉදිරියට යන අතරතුර  පාර දෙපස පසුදා උදා වෙන නත්තලට බඩු ගන්න පොරකන හෙට්ටු කරන  තවමත් බඩු තෝරන මිනිසුන් වගේම  තමන්ගේ වුවමනාවන් හමාර කර  නගරෙන් පිට වෙන මිනිසුන්ගෙන්ද මාද   මේ  තදබදේ කොටස් කරුවන් වූහ. සමහරු ඒ තදබදය අස්සෙ වාහන වල නලා හඬවමින්  තමන්ට තදබදයෙන් නික්ම යෑමට ඇති ඉක්ම පෙන්වූහ. එක්කෙනෙක්ට දෙන්නෙක්ට නොව තදබදය නිර්මාණය කළ හැමෝටම ඉක්මනින් තම තමන්ගේ නිවෙස් කරා යෑමේ අවශ්‍යතාවය තිබුණි.   ඒ වගේම පාර දෙපස බඩු විකුණන තාවකාලික කඩ දමාගත් මිනිසුන්ටද තමන්ගේ බඩු ටික ඉවර කරගෙන ඉක්මනට නිවෙස්වලට යන්නට වුවමනාවක් තිබුණි . වෙළඳුන් ගේ කෑගැසීම මිල අඩු කළ බව දැනුම් දීම වැනි අනෙකාව ආකර්ෂණය කර ගැනීම සඳහා ඒ මොහොතේ ඔවුන් පාවිච්චි කරන උ පක්‍රම ඒ හවස්වරුවේ  ඉක්මනින් තමන්ගේ නිවෙස් කරා නික්ම යන්නට ඔවුන්ට  ඇති උවමනාවද පෙන්වූහ.

මේ පොලේ කරක් ගහන බොහෝ පාරිභෝගිකයන් බඩු මිලට ගන්නේ තමන් මිලදී ගන්නා බඩුව කෙරෙහි උපරිම තෘප්තියකින් නොව අවම තෘප්තියකට යටත්ව බව ඒ වාහන තදබදය අතර සිරවී සිටි මට සිතුනි. වාහන තදබදය සමනය කිරීමට උපරිම වෙහෙස දරන පොලිස් නිලධාරියාගේ විසිල් හඬට ටිකෙන් ටික ඉදිරියට ඇදී යන අතර පොලිස් නිලධාරියා නැවතීමට ලබාදුන් විසිල් හඬට අවනතව  මා  නැවතුනේ කස ගස් විකුණන  සහ විවිධ නත්තල් විසිතුරු බඩු විකුණන පදික  වෙළෙන්දෙක් ඉදිරිපිටය.

හිරු ගොම්මන් අඳුරට ඉඩ දී බැස යන්නට  ආසන්නය. හිරු එදා දවසේ බෙදන්නට ගෙනා  ආලෝකයේ අවසන්  ආලෝක දහරා මුදාහරිමින් තිබෙන අතර පහන් කණු වල විදුලි බුබුළු එක දෙක  පත්තු වෙමින්එ එළබෙන  අන්ධකාරය පලවා හැරීමට තමන්ගේ රාජකාරිය බාර ගනිමින්  සිටියේය.

රිකිලි කැඩී අවලස්සන වුණු කස අත්තත් නූල් පොටකින් ගැටගසා කිහිලි ගසාගත් කාන්තාවක්  නත්තල් සැරසිලි  විකුණන පදික වෙළෙන්දා ගාව නතර විය. ඇය ඇඳ සිටි නිළ ඇඳුමෙන් ඇය කවුරුන්දැයි සනාථ විය. නගර සභාවේ පිරිසිදු කරන අංශයේ වැඩ කරන සේවිකාවකි. ජීවිතේ දුෂ්කරතාවය පෙන්නුම් කරන ඒ  කලු මුහුණ තුළින් ඇගේ ඇත්ත වයසක් සොයාගැනීමට හැකි නොවුණි. එසේ නොවුණත් ඇය මවකැයි අනුමාන කළ  හැකිවිය. බොහෝ විමසිලි වන්තව පදික වෙළෙන්දා ගාව තිබූ නත්තල් සැරසිලි බඩු දෙස බලාගෙන සිටි ඇය හැකි පමණින් දරුවන්ට එළඹෙන නත්තලට ආදරය මිලදී ගත්තේය.

නගර සභාවේ පාර සුද්ද කරන අම්මා

රිකිලි බිඳුනු කස අත්තක් කිහිලි  ගසාගෙන
අහස් කූරු දෙක තුනකුත් මල්ලේ දමා ගෙන
පාට පහක බැලුම් පහක් තෝරලා අරගෙන
සෙපරේට්  කෑලි ගොඩෙන් ජේසු බබා විතරක් අරගෙන
අම්මා ගෙදර ගියා දරුවන් හට නත්තල් අරගෙන

හිල්මි සුපුන්

leave a reply