උපුල් ශාන්ත සන්නස්ගලගේ යූටියුබ් නාලිකාවක් හරහා කැමතිම වැඩසටහන් මාලාවක් මේ දිනවල විකාශනය වෙමින් තියනවා. අපි කැමතිම කවි කිවිඳියන් ව ගෙනැවිත් උපුල් ශාන්ත සන්නස්ගල කවිය පිළිබඳව, ඔවුන්ගේ ජීවිතය පිළිබඳව, අනාගත බලාපොරොත්තු පිළිබඳව, කවියේ සුභසිද්ධිය පිළිබඳව ඇතුළු විශාල පරාසයක් තුළ කතාව ගොඩ නැගෙනවා. පෞද්ගලිකවම මේ පිළිබඳව යම් අදහසක් ලියන්න හිතුනේ එම වැඩසටහන තුළත් ඉන් පරිබාහිර වැඩසටහන් වලදිත් විශේෂයෙන්ම කවියෝ කරන ප්‍රකාශයක් පිළිබඳව ඇති වූ අසතුට හේතුවෙනි.
උපුල් ශාන්ත සන්නස්ගල සමඟ අවසාන වැඩසටහන් හතරට පෙනී සිටියේ.
තැන්නේ ඥාණානන්ද හාමුදුරුවෝ අප්‍රේල් 5 වන දා
දිලිප් කුමාර ලියනගේ අප්‍රියෙල් මාසයේ 11 වන දා
රෝහණ පොතුලියද්ද අප්‍රියෙල් මාසය 16 වන දා
ටිම්රාන් කීර්ති අප්‍රේල් මාසේ 19 වන දා
මේ අපට ලඟ පරම්පරාවේ අපි ආදරය කරන කවියෝ . අපේ ජීවිත සමග බද්ධ වෙන ප්‍රස්තුතයන් අපේ ඇට මස් ලේ කඳුළු ම ඊට ඔබ්බවා මේ අය කවි ලියලා තියනවා ඒ කවි අපේ ජීවිතවල කොටස් ලෙස අපිට දැනෙන ආකාරයට. ඒ නිසා අපි මේ කවියන්ට ආදරය කරනවා.ඒ පමණක් නෙවෙයි අපි මේ කවියන්ව සහ ඔවුන්ගේ කවි ප්‍රමෝට් කරනවා. “පොඩ්ඩියේ ” කවිය ගැන අපි කතා කරන්නේ මේ කවිය ලිව්වේ ටිම්රාන් කීර්ති කියන එක සමාජයට කියමින්. ” කොතනක හෝ අපට වැරදුනා බං ” මේ කවිය ලිව්වේ රෝහණ පොතුලියද්ද, වූ පට්ට කවියෙක් කියලා අපි කියලා තියෙනවා. දිලිප් කුමාර ලියනගේ කවි ලියනවා පමණක් නෙවෙයි කාව්‍ය විචාරයත් කරනවා. එනිසා දිලිප්ගේ කාව්‍යමය පරිචය පිළිබඳව පාඨකයන් හැටියට අපට තියෙනවා විශ්වාසයක්. චීවරයෙන් වැටකඩුලු තනා ගන්නේ නැතිව සීමාවන් බිඳ ගෙන තැන්නේ හාමුදුරුවෝ අනුරාගය තවරා ආදරය ගැන කවි ලියද්දි අපි ඒ කවි වැළඳගත්තේ අපිටත් වඩා හොඳට හාමුදුරුවෝ ආදර කවි ලියනවනේ සිතමින්. මේ අය පිළිබඳව තිබෙන පෞද්ගලික අදහසත් පොදු අදහසත් මේ යැයි සිතේ.
අඩු වැඩි වශයෙන් සන්නස්ගලගේ යූටියුබ් නාලිකාවේ වැඩසටහන් නරඹද්දී ප්‍රේක්ෂකයෙක් හැටියට හැඟී ගිය දේ තමයි සමහර කවියන්ට තමන් ලියන්නේ කවි දැයි විශ්වාසයක් නොමැති බව. එම අදහස දැරීම ප්‍රශ්න කරන විට පෙරළා පිළිතුරක් සැපයිය හැකියි, ඒක තමයි මගේ නිහතමානී කම එහෙම නැත්නම් මම කවියෙක් නෙමෙයි මම කවියෙක් වෙන්න උත්සාහ දරන කෙනෙක් කියලා. ඉහත හතර දෙනෙක්ව නම් කර තිබීම හරහා ඒ හතර දෙනා තුළම අවිශ්වාසය තියෙන බව මා ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් දිලිප් කුමාර ලියනගේ, රෝහණ පොතුලියද්ද දසක දෙකකටත් වඩා වැඩි කාලයක් කවි ලියලා කවි පොත් හතර පහක් පළකරලා තියෙද්දිත් ඔවුන්ගේ ප්‍රකාශන මාධ්‍ය පිළිබඳව විමසද්දී ඒ පිළිබඳව අවිශ්වාසයෙන් පිළිතුරු ලබා දීම තුළින් සිද්ධ කරන්නේ පාඨක බුද්ධියට සහ විශ්වාසයට ඔවුන් විසින් පෙරළා පහර දීමයි. මොකද අපි ඔවුන් ලියපු දේවල් කවි ලෙස පිළි අරගෙන තියෙනවා. ඇගයීමට ලක්කරලා තියෙනවා. එ කවි විචාරයට ලක් වෙලා තියෙනවා . මේ අදහස දරන සැලකිය යුතු කවියෝ ප්‍රමාණයක් මට මුණ ගැසී තියනවා . ඔවුන් සියලු දෙනාවම සටහන් කර මේ මොහොතේ තබන්නට නොහැකි වුණත් විමල් කැටපෙආරච්චිගේ ” හමුවෙන්න තවම හැකි කොම්රෙඩ් ” පොත පිළිබඳව අදහස් දක්වද්දී පවා තමන් ලිව්වෙ කවි ද නැද්ද කියලා දන්නේ නැහැ කියන වැනෙන අදහස ලබා දෙනවා. නමුත් පාඨකයෝ ඔහුගේ පොත ගන්නේ කවි කියවන්න. කවි පොතක් ලෙස වැළඳගන්න. ලබාදෙන මේ උත්තරේ හරහා මට හැඟෙන්නේ අපි මේ බොහෝ අයව කවියන් ලෙස පිළිගනිද්දී ඔවුන් අපි අවතක්සේරු කරනවා. ඒ නිසා කවියනි අපි ඔබට යෝජනා කරනවා පාඨකයන් ලෙස ඔබ පිලිබදව අපට විශ්වාසයක් තියෙනවා එ විස්වාසය තහවුරු වෙන්න ඔබ වැඩකරලා තියෙනවා ඔබට ඉතිරිව තියෙන්නෙ ඔබට ඔබ පිළිබඳව විශ්වාසය ගොඩනඟා ගන්න එක පමණයි.
අප හිතවත් දිලිප් කුමාර ලියනගේ සහෝදරයා ඔහුගේ වැඩසටහනේදී බරපතළ ප්‍රකාශයක් කරනවා. වර්තමාන කවිය විනාශ වෙමින් යනවා එසේ විනාශ වීම දැන් ඇති ඒක නවත්තන්න ඕන කියා. එය ඔහු දරන පෞද්ගලික අදහස විය හැකියි. එහෙම අදහසක් ඔහුට දරන්න තියෙන අයිතිය දරුණු ලෙස ප්‍රශ්න කරන්න මට බැරි උනත් ඒ අදහස හරහා වර්තමාන කවිය දෙස හැරී බලන්න අවශ්‍ය කරන දොරටුවක් විවර වෙනවා.
පළමු කාරණය තමයි කවිය විනාශ වෙනවා නම් ඒ විනාශය වළක්වා ලීමට ඒ සඳහා දැනුම තියෙන අය මැදිහත් වීම. සිදුවෙමින් පවතින විනාශය පිළිබඳව පැහැදිලි කිරීම. මීට දශක දෙකකට පමණ ඉහත සිංහල ගීතය පිළිබඳව ඇති වුනේත් මෙවන් සංවාදයක් . නුතන පරපුර සුභාවිත ගීතය විනාශ කරනවා කියලා එවකට සිටි ප්‍රවීණයන්ගෙන් මැසිවිලි ආවා. ඔවුන් කියන විනාශය වළක්වා ගැනීම සඳහා ඔවුන් මැදිහත් වුණාද කියන එක සොයා බලද්දි පැහැදිලිවම පේන්න තිබුන දේ තමයි ඒ සඳහා ඔවුන්ගේ මැදිහත් වීමක් නොවුණු බව. පවතින තත්වයට අනුව වෙනස් නොවන්නා වඳ වෙන බව ප්‍රකට කියමනක්. වර්තමාන පරපුර නව දැනුම් පද්ධති හොයාගෙන ඒවා තුල අලුත් අත්හදාබැලීම් කරද්දී එවකට සිටි ගීතයේ ප්‍රවීණයෝ එක දැක්කෙ නුහුරට. නූතන පරපුර සමග උරෙනුර ගැටෙමින් නව ගීත බිහි කරනවා වෙනුවට ඔවුන් කළේ ඒ මාර්ගයෙන් ඉවතට පැන විවේචනය කරමින් හීන් සීරුවෙ මාරු වෙලා තමන්ගේ ගුල් තුලට රිංගන එක. දශක දෙකකට ආසන්න කාලයක් නිවර ගුවන්විදුලිය සහ වෙබ් අඩවිය වෙනුවෙන් තේරුම් ගීතය කළ මට ඔවුන් සමග කතාබහ කර ලබාගත් අත්දැකීම් ගොන්නක් තිබෙනවා මේ සම්බන්ධව. කෙසේවෙතත් ප්‍රවීණයෝ බිය වූ තරමටම ගීතය විනාශ වුණේ නැහැ. එක්තරා මොහොතකින් පසු ව ගීතය අලුත් මුහුණුවරකින් නව හැඩයකින් යලි උපදිනවා. වෙනස් වීමට මුහුණ නොදුන් ප්‍රවීණයෝ වඳ වෙලා යනවා. ඉන්න බව සමාජයට මතක් කරන්න ඉඳහිට මොකක් හරි කරනවා.
ඉතින් කවිය පිළිබඳ කතාවේදීත් කවියේ විනාශයක් වේ නම් ඒය වළක්වා ගැනීමට මැදිහත් වීම අනිවාර්යයකි. කෙසේ වෙතත් මගේ පෞද්ගලික අදහස නම් වර්තමාන කවිය හ කාව්‍ය පාඨකයා වර්ධනය වෙමින් පවතින බවයි. අවුලකට තියෙන්නෙ සිංහල කවිය ජාත්‍යන්තරයට ගෙන යන්න සැලකිය යුතු භාෂා පරිවර්තනයකට ලක් නොවීමයි.
ටිම්රාන් කීර්ති ව දන්න හැමෝම ඔහුට ආදරේට කියන්නේ ටිමා කියලා. ටිමා අපේ ආදරේ දිනා ගන්නේ එදිනෙදා ජීවිතය තුල අපි මුණගැහිලා නෙමෙයි. ප්‍රකාශයට පත් කල කවි කියවලා. ටිමා වැඩසටහනේදි බන්දුජීව එක්ක සංසන්දනය වෙලා කියනවා අපි කරලා තියෙන්නේ බොරුවක්, අපිට කවි ලියන්න දන්නේ නැහැ කියලා. ටිමා එහෙම කියද්දී අපිට කියන්න වෙන්නේ අපරාදේ බං අපේ සල්ලි, පොතේ ගානටත් වඩා ගානක් දීල අපි තැපෑලෙන් පොත් ගෙන්න ගත්තේ. ඒ පොත් ඇතුලෙ තියෙන කවි අදටත් ඉඳහිට අපි කියනවා. රස විඳිනවා. දහස් ප්‍රකාශ කිරීමේ නිදහස හැම එකාටම තියෙන නිසා උඹලා හිතනවා වෙන්න ඇති එහෙම කිරීමේ අයිතියක් තියෙනවා කියලා. හැබැයි ටිමා උඹලට බැහැ වටවන්දනාවේ ගිහිල්ලා ඇවිත් පාඨක අපේ බුද්ධියට පාඨක අපේ ආදරයට විශ්වාසයට ඔය විදිහට සරලව කෙලින්න . බංදුජීවගේ රහට බන්දුජීව පමණක් හිටියම ඇති. උඹේ රහට ලියන්න උඹ විතරකුත් ඇති ටිමා. මොකද සියලු දෙනාම එකම දේ කළොත් එකම විදිහට කලොත් සිද්ධවෙන්නේ විවිධත්වයක් නැතිව ගිහින් එක නීරස වෙන එක.
මේ සටහනේ අවසානයේ මෙයද සඳහන් කළ යුතුයැයි සිතේ ගේවීගිය දශක දෙක තුළ කවියේ වර්ධනය වගේම කවිය මුල්කරගත් කල්ලි කණ්ඩායම් බිහිවීම කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත්වුණා. මේ කවි කුල කණ්ඩායම් බිහි වීම හරහා හොඳ කවිය වෙනුවට තමන්ගේ කණ්ඩායමේ කවි සමාජගත කිරීම විචාරය කිරීම ප්‍රවර්ධනය කිරීම සිද්ධ වෙනවා. මෙසේ කණ්ඩායම් ගත නොවුණු පිරිසගේ නිර්මාණ සමාජගත වීම මන්දගාමී වූවා පමණක් නෙවෙයි ඒ පිළිබඳව තිබෙන උනන්දුව පවා හීන වී යනවා. සමාජ මාධ්‍ය තුළ ක්‍රියාශීලී නොවෙන පිරිස හුදෙකලා භාවයට පත් වෙනවා. උපුල් ශාන්ත සන්නස්ගල ගේ වැඩසටහන තුළින් මතුව ආවේ කල්ලි කණ්ඩායම් නියෝජනය නොකළ තම තමන්ගේ පිට කහ ගත්තු නැති පිරිසක් පාඨක සමාජයට විවර කර දීමයි. ඉතින් ඒ අවකාශය තුළ නියෝජනය වෙන්නට යන ඉදිරි පිරිස හෝ කවිය පිළිබඳව කතා කිරීමට මීට වඩා අවස්ථාව ලබාගන්නවා නම් හොඳ යැයි සිතේ. මොනව උනත් කවියට ආදරය කරන කවි කිවිදියන් ට ආදරය කරන මං වගේ උන්ට මේ වැඩසටහන මරු.
- නූතන සිංහල චීන ජන කවි – දිලීප් කුමාර ලියනගේ
මල්ලියි මායි අකුරට යන වෙලාවේ
බස් එක නැතුව නැවතුම ළඟ මුලා වේ
ඉර රැස් ටිකෙන් ටික පතිතව හිනා වේ
අයියලා ඇන්ඳ සිතුවම් දැක සිනායේ
කරට උඩින් කර මුදුනින් ‘ස’ව ගියා
ඇසට උඩින් ඇස අසළින් අනුර ගියා
බඩට උඩින් බඩ අසළින් රනිල් ගියා
සිංහ පැටව් කොඩිය උඩින් පැනලා ගියා
අන්න මල්ලි අර නා මල නෙළාගෙන
රූම් එකට පන්නන්නට හිතාගෙන
තාප්පෙ මත ගිනි මකරෙක් පොරෝගෙන
කෙල්ල බෑ කියයි මල්ලිට ඔරෝගෙන
මාතර කොනේ ඉන්නා කිඹුලගෙ හැටියා
බෙල්ල රතු යි කටහඬ ජොරබොර ගතියා
ඔරු බැරි වුණත් නැව් ගිලින්න හරි රුසියා
දෙන්න හදනවා කොටහක් නැව් ජැටියා
මේ සඳ පලුව ඒ පැත්තට යන්න එපා
ඒ තනි තරුව මේ පැත්තට එන්න එපා
පල්ලිය උඩින් චීන පටස් සද්ද එපා
අල්ලා නැති අපට බඩගිනි වෙන්න එපා
චීන රටෙන් අරගෙන ආ ඉනවා
බරත දෙසෙන් මුසු කර දෙන රටාවා
උතුරු දෙසින් එන කිංකිණි හිනාවා
අපිත් වයමු බෙංගලි බීජිං නළාවා
පාර දිගට කෑගසනා ඒ පුත්තු
මීටරයට ඉන්දන බලවත් ඇත්තු
දියවන්නා මඩදියේ ම බැසගත්තු
නිදාගෙන ම ඇවිදිනව ද මේ සත්තු
ගමින් ගමට ඇසෙනා ජනපති සද්දේ
සේනානන්ද වී පොරකන යම යුද්දේ
වැඳපන් සාදු වැඳපන් ඇමරිකා පාදේ
දෙව් ලෝ දොර ඇරේවි හෙට අරුණෝදේ
- පෙමක මුනිවර මුහුණ – ටිම්රාන් කීර්ති
“මොනවද ඔයැයිලට
ගේන්නේ කෑමට?”
අසයි වේටර් කොලූ
නැඹුරුව අපේ මේසෙට
“මං කහටෙකක් බොන්නං
ගෙදර ගිය ඉඩවරේ
බත් කටක් කෑහැකිනෙ
උඹයි කෙල්ලයි දෙන්න
මොනව හරි කාහල්ල
මඳි වෙන්නෙ නෑ පුතේ
මාරු තියෙනවද හැඹිලියේ…”
යාබදව අසුන් ගත්
තුරුණු පෙම්වත් යුවළ
ඉසියුම්ම දෙනෙත් හී මානමින්
බිඳෙන් බිඳ තොල ගායී
කූල් කෝලා දෙකක්!
යටි හිතෙන් හිනා වෙනවැති අපට
ජීවිතේ විසල් බර දැනේයෑ
ළපටි ආදරයකට…
“ඉස්පිරිතාලෙ ඉඳලම
මටත් පිරියක් නෑ ඒයි
බඩ හෝදලත් දවසනෙ
ඔයා පව්! උදේටත් කාල නැතුවැති
ඉතිං කන්නකො අනේ
මං ළඟත් කීයක් ද තිබුණා”
සෙල් පිළිමයක් මෙන්
නොරිස්සුම් බැලුම් ලයි
කැහැටු වේටර් කොලූ…
“ගේන්නකෝ ප්ලේන්ටී තුනක්!”
කෙඳිරුවෙමි වේටර්ට
ඉඟිලුනා ඔහු සැණින්…
ඉකි හඩක් ගිලගන්න
සිහින් සුසුමක් බිඳුණි යාබදින්
දයාවේ මුදු බැලුම් අප වටා දවටමින්
තුරුණු පෙම්වත් යුවළ මිදෙනු බැරි
තැවුලකින්
අනුන්ගේ රිදුම් මුල් හොරාගෙන
තමන්ගේ ලෝකයේ පැළ කරන
ළපටි පෙම්වන්තයිනි මනු තැවුල් ඉව කරන
මා හදේ රාමුවිණ පෙමක මුනිවර මුහුණ
- අපිට කොහෙ හරි වැරදුනා බං – රෝහණ පොතුලියැද්ද
“ආයෙමත් දවසක අපි සෙට් වෙමු” කියා නැගිට්ටට
“ඕකේ මචං, මමත් කියන්නං දවසක්” කිව්වට
උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට
එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය
අපේ පයටමයි පෑගූනේ ඒ සාද කතා හැන්දෑව
එල එලා දුන්නට දිග් දිගට හතර අතටම අධිවේග
උඹ තියා මට මාවවත් හමුවුනේ නෑ මගෙ මිතුර
රස්සාව කෙරුවා ඕටීත් කෙරුවා තව බ්‍රෝකර් වැඩත්
ගෙයක් හැදුවා තාප්පෙ බැන්දා ගත්ත කිරි කිරි මරුතියක්
පොඩ්ඩො ඉස්කෝලෙ දැම්මා පංති ඇරියා ශිෂ්‍යත්තෙනං සමත්
පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත්
කැකුළු මල් කපන සේ කපන ණය වාරිකේ දුක කියන්නට
පංතියේ බොට්නි ටීචගෙ පස්ස ගැන කුණු හබ්බ අහන්නට
මහ ගෙදර තනියෙන්ම මළ තාත්තා ගැන කියා අඬන්නට
ආත්මයේ ශ්‍රැතිය සුසර වෙනකොට ජෝතිගේ ගීයක් ගයන්නට
උඹත් කිවුවෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට
බොසාට කුද ගහන්න කියලා බලෙන් නිමාඩුවකුත් අරන්
නෝනටත් සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන්
මරුතියට ෆුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන්
ඔන්න මම ආවා, මොටද බං අද දවසෙත් නැති යාළුකං
මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්
මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්
ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං
බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං