Breaking News

‘හිරුණිකා’ සහ වමේ නිකාය බේදය

චන්දන සිරිමල්වත්ත

සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී සිටීම සම්බන්ධයෙන් ද්වේශ සහගත ප්‍රචාරයන් ගෙන යමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවලාද ව්‍යාපාරයක් ගෙන යන්නේ තමන් වමේ යැයි කියා ගන්නා පිරිසක් විසිනි. මේ වන විට අරගලයේ ක්‍රියාකාරින්ට එල්ල වෙමින් පවතින මර්දනය කිසිවකුට රහසක් නොවේ. විශේෂයෙන් කිසිදු යුක්ති සහගත පුද්ගලයකුට එකඟ විය නොහැකි ලෙස අන්තර් විශ්ව විද්‍යාලයී්‍ය ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයන් ‘ත්‍රස්තවාදී’ චෝදනා යටතේ සිරගත කර ඇති තත්වයක් හමුවේ දේශපාලන ගණන් බැලීම් කරගත යුතුව ඇත. මර්දනය හමුවේ කිසිදු දේශපාලන ක්‍රියාමාර්ගයක් නොගෙන හුදු ප්‍රකාශ නිකුත් කිරීමකින් සෑහීමකට පත් විය නොහැකිය.

එළඹෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවෙන් මෙන්ම පාලකයන් ගෙන එන්නට නියමිත මර්දනයට එරෙහිව පොදු වේදිකාවක් ගොඩනැගීමට වැඩ කරමු යැයි පෙ.ස.ප. විසින් ප්‍රසිද්ධියේ මෙන්ම පක්ෂ නායකයන්ට ලිපි මගින් යෝජනා කළේ වසරකටත් පෙරාතුවය. වමේ දේශපාලන පක්ෂවලට මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට කිහිප අවස්ථාවකදී කළ එම ලිඛිත යෝජනා අනුව පෙ.ස.ප. දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළ අතර සීමාවන් හඳුනාගනිමින් වැඩ කරමින් සිටී. එහි කිසිදු මැතිවරණ පෙරමුණක් නොමැති බවද අවධාරණය කළ යුතුව ඇත. ‘මැතිවරණ දේශපාලනය’ සියල්ල යැයි සිතා සිටින ඇතැම් දේශපාලන විරුද්ධ මත දරන්නන්ට මෙම මාධ්‍ය සාකච්ඡාව මෙන්ම විරෝධතාවලදී සමගි ජනබලවේගයේ පැමිණීම නයාට අඳු කොළ වර්ගයේ සිදුවීමක් වී ඇත. වමේ දේශපාලනයක සිටිනවා නම්, පාලක කල්ලිය විසින් ජනතාව පීඩාවට ඇද දමමින් ඊට එරෙහිව නැගෙන අරගලය මර්දනය කරන අවස්ථාවේ එක්ව කටයුතු කිරීම මූලික අවශ්‍යතාවකි. නමුත් සිදුවන්නේ වෙනත් කුමන්ත්‍රණකාරී දේශපාලන හැසිරීමකි. විශේෂයෙන්ම දුෂ්කර දේශපාලන අභියෝග ඉදිරියේ පෙන්වන මුග්ධකම්වල පාඩම් ඉගෙන ගැනීමට ඉදිරියේදී මේ වමේ යැයි කියන අයටත් සිදුවනවා වුවද එහි වන්දිය ගෙවන්නට සිදුවනු ඇත්තේ සමස්ත සමාජයටමය.

සමාජ මාධ්‍ය තුළ දේශපාලන අනුම් පද සහ මඩ ප්‍රචාර කිරීම වමේ දේශපාලනයේ ඉන්නවා යැයි කියන අයගේ පුරුද්දක් බවට පත්ව ඇත.

සත්‍ය කරුණු හා දේශපාලන නැඹුරුතා සම්බන්ධ අදහස් පළ කරනවාට වඩා මාධ්‍ය සෙල්ලම්වල එල්ලි එල්ලී ඒ පාරේ යාම වමේ දේශපාලන ක්‍රමය නොවේ.

යමක් විග්‍රහ කරගැනීම හා ඒ අනුව මත දැක්වීම නොකරන තැනක දේශපාලනය හුදු ඕපාදූප හා ව්‍යාජ පෙනී සිටීම් බවට පත් වේ. මෙම අවුල අප මුලින්ම හඳුනාගත්තේ මීට වසර ගණනාවකට පෙර අප ජනතා විමුක්ති පෙරමුණේ සිට වෙනම දේශපාලන ගමනකට එක් වීමේදී අපට එරෙහිව මෙන්ම පක්ෂව ඇතැම් මත දැක්වීම් කළ අයගේ සමාජ මාධ්‍ය හැසිරීම තුළය. මේ තත්වය දේශපාලන නායකයන්ට පුද්ගලිකව මඩ ගැසීම්වලින් ගහන විය.
(උතුරේ ජනයා වෙනුවෙන් අප කළ මැදිහත්වීම්වලට ප්‍රතිචාර දැක්වීමේදී ඔවුන් ජාතිවාදය සරණ ගිය බවද පුද්ගලික දුබලතා, මානව සබඳතාවල සාමාන්‍ය කරුණු අනවශ්‍ය ලෙස හුවා දැක්වීම ආදී වශයෙන් පැවති නිහීන ප්‍රචාරයන් කෙළවරක් නොවීය. මෙහිදී අප සමග පක්ෂපාතිව සිටි ඇතැමුන්ද ඒ පාරේ යමින් ජ.වි.පෙ. නායකත්වයේ ඇතැම් තොරතුරු හුවා දක්වමින් අගතිගාමී ප්‍රතිප්‍රහාර එල්ල කළද මේ වන විට එවැනි අගතිගාමී තත්වයන් වෙනස් කිරීමට පක්ෂය විසින් දැරූ උත්සාහය යම් ආකාරයකින් සාර්ථක වී ඇත.)

විශේෂයෙන්ම අදත් සමාජ මාධ්‍ය තුළ තමන් වමේ යැයි කියා ගන්නා සමහර පුද්ගලයන් තම දේශපාලනය මේ තරම් පහත් අගතිගාමී ලෙස භාවිත කරද්දී වමට ඔවුන් කරන හානිය සුලුපටු නොවේ. ඔවුන් ඇතැමුන් පෙනී සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පාක්ෂිකයන් ලෙසය. නමුත් ඔවුන් පසුගාමීත්වය නිසා වමේ දේශපාලනයේදී පෙ.ස.ප. විසින් ගොඩ නගා ඇති දේශපාලන ආදර්ශයන් මුලුමනින් ප්‍රතික්ෂේප කරමින් වමේ ව්‍යාපාරයේ ගෞරවය බිඳ දමමින් සිටී.

මේ වනවිටත් ජනතා විමුක්ති පෙරමුණේ තවමත් සිටින අපේ මිතුරන් තවමත් මෙම මඩ දේශපාලනයේ යෙදී සිටින අතර ජාතික ජන බලවේගය ලෙස එක්ව සිටින ඇතැම් කලාකරුවන් ලෙස අප හඳුනාගන්නා, පිරිසක්ද මඩ ගැසීමේ අදහසම දේශපාලන වහරකින් අනුකරණය කරයි. කලාකරුවන්ට නිදහස් අදහස් භාවිත කිරීමේ නිදහස ප්‍රතික්ෂේප කළ යුතු නැත. දේශපාලන කියැවීමක් ඇත්නම්, එය ප්‍රසිද්ධියේ පළ කිරීම ගරු කටයුතුය. නමුත් ප්‍රතිවාදී දේශපාලන පක්ෂවල ස්ත්‍රීන්ට හා නායකයන්ට පොදු සමාජයේ කියැවෙන ආකාරයේ අගති සහගත අවලාද වලින් දමා ගැසීම නමැති දේශපාලනයේ අනුකාරකයන් ලෙස කටයුතු කරන විට පිළිකුළක් ඇති වේ.

පිළිගත් මාධ්‍ය ආයතනවල පවා විද්‍යුත් හා මුද්‍රිත ආකෘතිය තුළ මෙවැනි අගති සහගත පළ කිරීම් සීමා සහිත වුවද වෙබ් අඩවිවල හෝ සමාජ මාධ්‍ය පිටුවල මෙවැනි හරසුන් දේශපාලන අවලාද පළ කරනු ලැබේ. එහි අරමුණ, තම සමාජ මාධ්‍ය වෙත හෝ වෙබ් අඩවියට පැමිණීමේ ප්‍රවණතාව(Reach) ඉහළ නංවා ගැනීමට ග්‍රාහකයන් ආශක්ත කරගැනීමට බව අප දන්නා සත්‍යයයි. ඇතැම් අවස්ථාවල පුවත් පළ කිරීමේදී මේ ආකර්ශණය පිණිස යොදන සිරස්තල හා වචන, පැයකින් පමණ පසුව ඉවත් කරනු දක්නට ලැබේ. නමුත් ඒ ආකාරයෙන් අවලාද සහිත සිරස්තල හා ඒ මත පදනම් වී ගොඩනගන තර්ක මත සමාජ මාධ්‍ය තුළ දේශපාලන මත දක්වන අයට කිව යුත්තේ ඒ වමේ දේශපාලන භාවිතය නොවන බවය. ඔවුන් එය දේශපාලන භාවිතයක් ලෙස හඳුන්වනවා නම් වහාම ඒ දේශපාලනය වමේ යැයි කියාගැනීම අවසන් කළ යුතු බවය. මන්ද යත් ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, ස්ත්‍රී වරෝධය, ලිංගික තොරතුරු හුවා දැක්වීම ආදී සමාජ අගතීන් දක්ෂිණාංශය විසින් පාවිච්චි කරන උපක්‍රම නිසාය.

මේ වන විට අප සමාජය මුහුණ දී ඇති ගැඹුරු ව්‍යසනකාරී අර්බුදයෙන් ගොඩ ආ යුත්තේ තමන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය වැඩි බලයක් අත්පත් කරගැනීමෙන් පමණක් යැයි සිතන දේශපාලනය, වමේ යැයි කිව නොහැකිය. පෙසප මෙන් ජවිපෙ නියෝජනය කරන, වමේ දේශපාලනය කරනවා යැයි සිතා සිටින අය මේ කරුණ වටහා ගත යුතු ඇත. ලක්ෂ ගණනින් ජනයා දේශපාලන අරගලයක මුල් පියවර තබා ඇත. ජනතා බලය කුමක්දැයි තවත් දේශපාලන පාඩම් කියවා ගැනීමට කාලයක් නැත. සමස්ත ජන සමාජයක් අතිශය බිහිසුණු ඉරණමකට ඇද දමමින් සිටින පාලක පැළැන්තිය පරාජය කිරීමේ සැබෑ ජනතා අරගලයක් කරා ඉදිරියට යා යුතුව තිබේ.

leave a reply