Breaking News

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අවුල ලිහන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුයි – නුවන් බෝපගේ

දැනට පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඉතා අවුල් සහගත බවත් එය විසදීම සඳහා ජන සහභාගීත්වය වර්ධනය කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බව ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (24) ජන අරගල සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි. නුවන් බෝපගේ වැඩිදුරටත් පැවසුවේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් වූ පවිත්‍රා දැන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින බවයි. එසේම රනිල් වික්‍රමසිංහට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් වූ තලතා ද රනිල් වෙනුවෙන් පෙනී සිටින බවත් මොවුන් කාන්තාවන් වුවත් කාන්තාවගේ කිසිදු ප්‍රශ්නයක් වෙනුවෙන් පෙනී නොසිටින බවත් ඔහු පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

”අපි අපේ වැඩපිළිවෙළේ පැහැදිලිව සඳහන් කරනවා මහජනතාවට බලය හිමිවන ක්‍රමයක් හදනවා කියලා. ජනතා නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය ජනතාවට දෙනවා කියලා. ඇයි අපි එහෙම කියන්නේ? දැන් අපි උදාහරණ දෙකක් ගමු පසුගිය ඡන්දෙදි මේ රත්නපුර දිස්ත්‍රික්ක ජනතාව පවිත්‍රාදේවිට ඡන්දය දුන්නේ මොන ප්‍රතිපත්තියකට විරුද්ධවද? රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති පරාජය කරන්න තමයි ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යැවුවේ. ගෙවුණු අවුරුදු හතර තුළ මොකක්ද පවිත්‍රාදේවි කලේ? ගඟවල්වලට මුට්ටි දාන එක ඇරුනම, ජනතා විරෝධී පනත්වවලට අත ඉස්සුවා. බදු බර වැඩි කරන්න අත ඉස්සුවා. ගමේ සියල්ල කරන අතර, තමුන්ට ඡන්දෙ දුන්නු ජනතාව පරාජය කරන්න ඉල්ලපු රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්තිය දිනවන්න දැන් වේදිකාවල වර්ණනා කරමින්, රනිල් වික්‍රමසිංහ දිනවන්න කියලා ඉල්ලනවා. ඉතින් කොහෙද ජනතා බලය? කොහෙද ජනතාවගේ මතය?

ඒ වගේමයි තලතා අතුකෝරල. පහුගිය ඡන්දෙදි තලතාට ජනතාව ඡන්දෙ දුන්නේ වික්‍රමසිංහගේ පාලනයට විරුද්ධව. පොහොට්ටුවේ ප්‍රතිපත්තියට විරුද්ධව. අද පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙන්න, තලතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නිකුත් කරලා අයින් වෙනවා. ඒ අයින් වෙන්නෙත් පාර්ලිමේන්තුව ලගදි විසිරෙනවා කියලා දැනගෙන, අන්තිම මොහොත වෙනකම් පඩිත් අරගෙන. මේ කාවද රවට්ටන්නේ?

මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බරපතල විකෘතියක් තියෙනවා. අනිත් එක මේ දෙන්නම කාන්තාවෝ. කාන්තාව කියන්නේ මේ වෙනකොට මේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිවල නැත්නම් IMF කොන්දේසිවල, මේ කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තියේ බරපතලම වින්දිතයින්. අද ක්ශුද්‍ර මූල්‍ය ණය ගෙවා ගන්න බැරුව, සියදිවි නසා ගන්නේ කාන්තාව. ගෙදර කුසගින්න නිවා ගන්න බැරුව දරුවොත් එක්ක ගඟට පනින්නේ කාන්තාව. තමුන්ගේ සනීපාරක්ෂක දේවල් ඉටු කරගන්න බැරුව, පාසල් නොගිහින් ඉන්නේ කාන්තාව. පෝෂණය ඌනතාවය නිසා ඔස්ටියො වගේ බරපතළ රෝග වලට ගොදුරු වෙමින් ඉන්නේ කාන්තාව. ගෑස් පුපුරලා මිය යන්නෙ කාන්තාව. මීට කිලෝමීටර් කීපයක් එහායින්, ම්ලේච්ඡත්වය පෙන්වමින්, සමූහ අපයෝජනයට ලක් වුණේ මේ රටේ කාන්තාව. හැබැයි මේ කාන්තා නියෝජිතයින් කවුරුත් අඩුම තරමින් පීඩිත කාන්තාවෝ නියෝජනය කරලා නෑ. ඉතින් මේ නියයෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අවුලක් නැද්ද? එය අවුල නිරාවුල් කරන්න ජනතාවගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි නිර්මාණය කළ යුතු නැද්ද? ”

leave a reply