Tag: nuwan bopage

  • මැයි 9

    මැයි 9

    “අපි මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ මැයි නමය දිනක. 2022 මැයි 9 කියන්නේ මේ රටේ රාජපක්ෂවරුන් සහ පැරණි දේශපාලන සංස්කෘතිය ජනතාව විසින් නිල වශයෙන් එළවා දමපු දිනය. ජාතික ජන බලවේගය වැනි පක්ෂයකට විශාල ජනානුමැතියක් හිම් වන්නේත් ඒ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට. තත්ත්වය එසේ වුණත් මේ වන විට 4000ක පමණ පිරිසක් මැයි 9 සිද්ධි සහ අරගලය සම්බන්ධ නඩු නිසා අධිකරණ වල නිතිපතා නඩුවලට යමින් සිටිනවා. තරුණයන්ට විදේශගත වන්න, රැකියාවකට යන්න බැරුව සිටිනවා. ඒ අයට නිසි සාධාරණයක් තවම සිදුවන බවක් පේන්නේ නෑ. අපි විශ්වාස කරනවා ආණ්ඩුවේ මෙබඳු මැදිහත්වීම් වල දුර්වලතාවය නිසා තමයි ඔවුන්ට මෙවර මැතිවරණයේද පසුබෑමකට ලක්වන්නට සිද්ධ වුනේ. අනෙක් අතට පරණ දේශපාලන සංස්කෘතියෙන් වෙනස් වීමේ අපේක්ෂාව ඔවුන් තුළ නැති බවක් තමයි පේන්නට තියෙන්නේ .

    මෑතකදී සිදුවුණු පාසල් දැරියක් සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාර සහ පාරදෘෂභාවය පිළිබඳ ගැටලුව. ඒ වගේම මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය වැනි අයගේ භාෂණය ප්‍රකාශනයේ අයිතියට වැටබැදීම වැනි කාරණා තුළින් ගම්‍ය වෙන්නේ පැරණි පාරේම මේ ආණ්ඩුවද යාමේ ප්‍රවණතාවයක් ඇති බවයි.

    අපි බල කර සිටිනවා ජනතාවගේ අපේක්ෂාවන් ගණන් නොගෙන යන මේ ගමනින් වහාම ඉවත් වන්න කියලා. එසේම නොවුනහොත් සිදුවන්නේ නැවත රාජපක්ෂලාගේ, වික්‍රමසිංහලාගේ, ප්‍රේමදාසලගේ දේශපාලන සංස්කෘතිය හිස එසවීමේ බරපතල අවදානමක් තියෙනවා.” – නුවන් බෝපගේ.

    “இந்த ஊடகவியலாளர் சந்திப்பை மே 9 ஆம் திகதி நடத்துகிறோம். மே 9, 2022, இந்த நாட்டு மக்கள் ராஜபக்சக்களையும் பழைய அரசியல் கலாச்சாரத்தையும் அதிகாரப்பூர்வமாக வெளியேற்றிய நாள். அந்தப் போராட்டத்தின் விளைவாகவே தேசிய மக்கள் சக்தி கட்சி போன்ற ஒரு கட்சி பெரும் மக்கள் அங்கீகாரத்தை பெற்றது. எது எவ்வாறு இருந்த போதிலும், மே 9 நிகழ்வுகள் மற்றும் போராட்டம் தொடர்பான நீதிமன்ற வழக்குகளை சுமார் 4,000 பேர் தற்போது எதிர்கொள்கின்றனர். இளைஞர்கள் வெளிநாடுகளுக்குச் செல்லவோ அல்லது வேலை தேடவோ முடியாத நிலையில் உள்ளனர். அவர்களுக்கு இன்னும் சரியான நீதி கிடைத்ததாகத் தெரியவில்லை. அரசாங்கத்திற்கு இத்தகைய விடயங்களின் நடவடிக்கை எடுப்பதில் இருக்கும் பலவீனத்தால்தான் இந்தத் தேர்தலிலும் அவர்கள் பின்னடைவைச் சந்தித்தார்கள் என்று நாங்கள் நம்புகிறோம். மறுபுறம், பழைய அரசியல் கலாச்சாரத்திலிருந்து மாற அவர்களுக்கு விருப்பமில்லை என்று தெரிகிறது.
    அண்மையில் ஒரு பாடசாலை மாணவி தற்கொலை செய்து கொண்ட சம்பவம் தொடர்பாக அரசாங்கத்தின் பதில் மற்றும் வெளிப்படைத்தன்மை குறித்த பிரச்சினை. மேலும், பத்திரிகையாளர் சாந்த விஜேசூரிய போன்றவர்களின் கருத்துச் சுதந்திரத்திற்கான உரிமையை கட்டுப்படுத்துவது போன்ற பிரச்சினைகள், இந்த அரசாங்கம் அதே பழைய பாதையைப் பின்பற்றும் போக்கைக் கொண்டுள்ளது என்பதைக் காட்டி நிற்கின்றன.
    மக்களின் எதிர்பார்ப்புகளைப் புறக்கணிக்கும் இந்தப் போக்கிலிருந்து உடனடியாக விலகுமாறு நாங்கள் அரசாங்கத்தை வலியுறுத்துகிறோம். இல்லையெனில், ராஜபக்சேக்கள், விக்ரமசிங்கேக்கள் மற்றும் பிரேமதாசாக்களின் அரசியல் கலாச்சாரம் மீண்டும் தலைதூக்கும் அபாயம் உள்ளது.” – நுவன் போபகே.

    “We held this media conference on May 9. May 9, 2022 is the day when the Rajapaksas and the old political culture of this country were officially expelled by the people. A party like the National People’s Power (NPP) has gained a lot of popularity as a result of that struggle. Despite this, about 4,000 people are currently facing regular court cases related to the May 9 events, and the struggle. Some youth are unable to go abroad or find work. They still don’t seem to be getting proper justice. We believe that it is because of the lack of such interventions by the Government that they had to suffer setbacks in this election. On the other hand, there seems to be no indication that they will change the old political culture.

    Even with regard to the recent incident of a suicide of a school girl, the response and lack of transparency by the Government has been problematic. Also, in cases like their attempt to curb the right to freedom of expression of journalists like Shantha Wijesuriya, it looks like this Government too, will follow in the same path as those before it.

    We are demanding that you immediately backtrack from this path that disregards the expectations of the people. Otherwise, there is a serious risk that the political culture of the Rajapaksas, Wickremesinghes, and Premadasa’s will rise again.” – Nuwan Bopege

  • නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අවුල ලිහන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුයි – නුවන් බෝපගේ

    නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අවුල ලිහන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුයි – නුවන් බෝපගේ

    දැනට පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඉතා අවුල් සහගත බවත් එය විසදීම සඳහා ජන සහභාගීත්වය වර්ධනය කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බව ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ සඳහන් කරයි.

    ඔහු මේ බව පැවසුවේ ඊයේ (24) ජන අරගල සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි. නුවන් බෝපගේ වැඩිදුරටත් පැවසුවේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් වූ පවිත්‍රා දැන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින බවයි. එසේම රනිල් වික්‍රමසිංහට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් වූ තලතා ද රනිල් වෙනුවෙන් පෙනී සිටින බවත් මොවුන් කාන්තාවන් වුවත් කාන්තාවගේ කිසිදු ප්‍රශ්නයක් වෙනුවෙන් පෙනී නොසිටින බවත් ඔහු පැවසීය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ,

    ”අපි අපේ වැඩපිළිවෙළේ පැහැදිලිව සඳහන් කරනවා මහජනතාවට බලය හිමිවන ක්‍රමයක් හදනවා කියලා. ජනතා නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය ජනතාවට දෙනවා කියලා. ඇයි අපි එහෙම කියන්නේ? දැන් අපි උදාහරණ දෙකක් ගමු පසුගිය ඡන්දෙදි මේ රත්නපුර දිස්ත්‍රික්ක ජනතාව පවිත්‍රාදේවිට ඡන්දය දුන්නේ මොන ප්‍රතිපත්තියකට විරුද්ධවද? රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති පරාජය කරන්න තමයි ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යැවුවේ. ගෙවුණු අවුරුදු හතර තුළ මොකක්ද පවිත්‍රාදේවි කලේ? ගඟවල්වලට මුට්ටි දාන එක ඇරුනම, ජනතා විරෝධී පනත්වවලට අත ඉස්සුවා. බදු බර වැඩි කරන්න අත ඉස්සුවා. ගමේ සියල්ල කරන අතර, තමුන්ට ඡන්දෙ දුන්නු ජනතාව පරාජය කරන්න ඉල්ලපු රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්තිය දිනවන්න දැන් වේදිකාවල වර්ණනා කරමින්, රනිල් වික්‍රමසිංහ දිනවන්න කියලා ඉල්ලනවා. ඉතින් කොහෙද ජනතා බලය? කොහෙද ජනතාවගේ මතය?

    ඒ වගේමයි තලතා අතුකෝරල. පහුගිය ඡන්දෙදි තලතාට ජනතාව ඡන්දෙ දුන්නේ වික්‍රමසිංහගේ පාලනයට විරුද්ධව. පොහොට්ටුවේ ප්‍රතිපත්තියට විරුද්ධව. අද පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙන්න, තලතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නිකුත් කරලා අයින් වෙනවා. ඒ අයින් වෙන්නෙත් පාර්ලිමේන්තුව ලගදි විසිරෙනවා කියලා දැනගෙන, අන්තිම මොහොත වෙනකම් පඩිත් අරගෙන. මේ කාවද රවට්ටන්නේ?

    මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බරපතල විකෘතියක් තියෙනවා. අනිත් එක මේ දෙන්නම කාන්තාවෝ. කාන්තාව කියන්නේ මේ වෙනකොට මේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිවල නැත්නම් IMF කොන්දේසිවල, මේ කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තියේ බරපතලම වින්දිතයින්. අද ක්ශුද්‍ර මූල්‍ය ණය ගෙවා ගන්න බැරුව, සියදිවි නසා ගන්නේ කාන්තාව. ගෙදර කුසගින්න නිවා ගන්න බැරුව දරුවොත් එක්ක ගඟට පනින්නේ කාන්තාව. තමුන්ගේ සනීපාරක්ෂක දේවල් ඉටු කරගන්න බැරුව, පාසල් නොගිහින් ඉන්නේ කාන්තාව. පෝෂණය ඌනතාවය නිසා ඔස්ටියො වගේ බරපතළ රෝග වලට ගොදුරු වෙමින් ඉන්නේ කාන්තාව. ගෑස් පුපුරලා මිය යන්නෙ කාන්තාව. මීට කිලෝමීටර් කීපයක් එහායින්, ම්ලේච්ඡත්වය පෙන්වමින්, සමූහ අපයෝජනයට ලක් වුණේ මේ රටේ කාන්තාව. හැබැයි මේ කාන්තා නියෝජිතයින් කවුරුත් අඩුම තරමින් පීඩිත කාන්තාවෝ නියෝජනය කරලා නෑ. ඉතින් මේ නියයෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අවුලක් නැද්ද? එය අවුල නිරාවුල් කරන්න ජනතාවගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි නිර්මාණය කළ යුතු නැද්ද? ”

  • මේ කොල්ලකාරී ආර්ථිකයත් ධන කුවේරයන්ගෙ මාෆිවාවල් නැති කරන්නත් තමයි අපි එන්නේ – නුවන් බෝපගේ

    මේ කොල්ලකාරී ආර්ථිකයත් ධන කුවේරයන්ගෙ මාෆිවාවල් නැති කරන්නත් තමයි අපි එන්නේ – නුවන් බෝපගේ

    ජන අරගල සන්ධානය නිර්මාණය වී ඇත්තේ මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමයත් මේ ධන කුවේරයන්ගෙ මාෆිවාවල් නැති කිරීමට බව එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපෙගේ පවසා තිබේ.

    අනුරාධපුර ප්‍රදේශයේ පැවති දේශපාලන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ,

    “අපි මේ අද ඉන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වෙනකොට හැම ගෙදරකින්ම වකුගඩු රෝගියෙක් වාර්තා වෙන තත්ත්වයට පත්වෙලා. මේ ඉන්න සහෝදර සහෝදරියන්ගේ ළඟම ඥාතියෙක් මිත්‍රයෙක් දැනටමත් අපි දන්නවා මේ රෝගයෙන් පීඩා විඳිනවා. දැන් දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේ රටේ පාලකයන්ට මේකට උත්තරයක් හොයනවා තියා අඩුම තරමේ මේකට හේතුව මොකද්ද කියලවත් හොයාගන්න බැරි වෙලා. වකුගඩු රෝගය හැදෙන්නෙ ග්ලයිෆොසෙඩ් හින්දද වෙනම මොනවා හරි හින්දද කියලා විද්‍යාත්මක තහවුරුවක් කරගන්න බැරි වෙලා.

    අනිත් අතට අප රටේ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා දළ ජාතික නිෂ්පාදනය වෙන් කරන්නේ සියයට බින්දුවයි දශම ගාණක්. එහෙම තියෙද්දි කොහොමද මේ වගේ ගැටලුවලට විද්‍යාත්මක උත්තර හොයන්නෙ. එක පැත්තකින් කෝටි ප්‍රකෝටි ගණන් ජනතා මුදල් වංචා කරන ගමන් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වලට කිසිදු උත්තරයක් නෑ. දැනටමත් රුපියල් ට්‍රිලියන එකක් විතර බදු නොගෙවා පැහැර හැර තියෙනවා. තවත් ට්‍රිලියන එකක් විතර බදු සහන දීලා තියෙනවා .තවත් රුපියල් ට්‍රිලියන දෙකක් විතර ධන කුවේරයෝ ණය ගෙවන්නැතුව පැහැර හැරලා. මේ වගේ අධික මුදල් කන්දරාවක් ධන කුවේරයන් සහ වී ව්‍යාපාරිකයන්ට කොල්ලකන්න ඉඩ දෙන ගමන් මේ රටේ ජනතාවට බරපතල ගැටලුවක් වෙච්ච වකුගඩු රෝගයකට උත්තරයක් හොයාගන්න බැරි ක්‍රමයක් තමයි අපේ ඉස්සරහ තියෙන්නේ.

    අනිත් අතට ක්ශුද්‍ර මූල්‍ය අර්බුදය මේ පැතිවල බරපතල අර්බුදයක් බවට පත්වෙලා . දැනටමත් කාන්තාවන් දෙසීයක් විතර සියදිවි නසාගෙන.මහ බැංකු වාර්තාවට අනුව හතර දෙනෙක්ගෙන් යුතු පවුලට මසකට රුපියල් 57500 ක් ජීවත් වෙන්න ඕන වෙන තත්ත්වයක් තුළ සංඛ්‍යා ලේඛන අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රුපියල් 15000ක් තමයි ආදායම. එබඳු ආදායමක් ලබන පවුලක දුපත්කම නැති කරන්න උත්තරයක් දෙනවා වෙනුවට ක්ශුද්‍ර මූල්‍ය ව්‍යාපාරික ඇවිල්ලා අනිත් අතට බරපතල ලෙස මේ ජනතාව කොල්ල කනවා. LOLC වගේ සමාගම් ට්‍රිලියන ගණන් ලාභ ලබන අතර ඒ මුදල් කාම්බෝජය වැනි රටවල්වලට අරන් යන්න කටයුතු කරමින් තියෙනවා. ඒවට ඉඩ දෙන කොල්ලකාරී ආර්ථිකයක් පවත්වාගෙන යන අතර මේ ජනතාවගේ දුප්පත්කමට උත්තර නැහැ. ජනතාවට අපි කිසිම පැකිලීමකින් තොරව කියනවා මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමයත් මේ ධන කුවේරයන්ගෙ මාෆිවාවල් නැති කරන්න තමයි ජන අරගල සන්ධානය නිර්මාණය වෙන්නේ කියලා.” – ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ අද දින අනුරාධපුරදී පැවසීය.

     

  • අපි එන්නේ ඡන්ද කඩන්න නෙමෙයි, සිස්ටම් එක කඩන්න – නීතිඥ නුවන් බෝපගේ

    අපි එන්නේ ඡන්ද කඩන්න නෙමෙයි, සිස්ටම් එක කඩන්න – නීතිඥ නුවන් බෝපගේ

    තමන් ඉදිරිපත් වෙන්නේ සිස්ටම් එක කැඩීමට බවත් ඡන්ද කැඩීමට නොවන බවත් නීතිඥ නුවන් බෝපගේ පවසයි.

    නීතිඥ නුවන් බෝපගේ ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම සන්ධානය අද (29)නිවේදනය කරන ලදී. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ජන අරගල සන්ධානය ලෙස මැතිවරණයට ඉදිරිපත් වන්නේ සිස්ටම් එක කැඩීමට මිස කාගෙවත් ඡන්ද කැඩීමට නොවන බවත්ය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ,

    ”කවුරුහරි එහෙම දෙයක් මතු කරනවානම් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව වෙන කිසිම දේශපාලන පක්ෂයකට ඉදිරිපත් වෙන්න බැහැ.හැම කෙනෙක්ම එහෙනම් ඡන්ද කඩන අය. අපි ඉදිරිපත් කරන්නේ වැඩපිළිවෙලක්. අපේ වැඩපිළිවෙල කිසිදු දේශපාලන ව්‍යාපාරයක් කිසිදු දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොකරන වැඩපිළිවෙලක්. අපි පෙනී සිටින්නේ ඒ වැඩපිළිවෙල වෙනුවෙන්. ඒ වැඩපිළිවෙල කිසිදු දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොකරන තාක් කල් අපිට පරම අයිතියක් තියෙනවා ඒ වැඩපිළිවෙල වෙනුවෙන් අරගල කරන්න, පෙනී ඉන්න.”

  • ජන අරගල සන්ධානයෙන් නුවන් බෝපගේ ජනපති සටනට

    ජන අරගල සන්ධානයෙන් නුවන් බෝපගේ ජනපති සටනට

    ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම සන්ධානය අද (29)නිවේදනය කළා.

    ඒ කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පවත්වන ලද ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ශක ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවේදී.

    ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ නම ලහිරු වීරසේකර විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර තමිල් භාෂාවෙන් රාජ්කුමාර් රජීව්කාන්ත් සහ ඉංග්‍රීසි භාෂාවෙන් සිතාරා කුලරත්න එම ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.

    නුවන් බෝපගේ කොළඹ, කොලොන්නාව ප්‍රදේශයේ උපත ලැබූ අතර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනයද කොළඹ නීති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයද හදාරා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයෙකු ලෙස වෘත්තියේ නිරත විය.

    ඔහු උපන් ප්‍රදේශයේ මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ සටනට නායකත්වය දුන් නුවන් බෝපගේ තවත් මහජන අරගල ගණනාවක පුරෝගාමී කාර්‍යභාරයක් ඉටු කළා.

    නීතීඥයෙකු ලෙස ඔහු විදුලි බලාගාරයක් නිසා සිදුවූ පරිසර දූෂණයෙන් පීඩාවට පත් චුන්නාකම් ජනතාව වෙනුවෙන් පෙනීසිට ඓතිහාසික නෛතික ජයග්‍රහණයක් ලබා ගත්තා.

    එම මාධ්‍ය හමුවට ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ, තරිඳු උඩුවරගෙදර, නූර් මොරීන්, ධර්මසිරි ලංකාපේලි, මොහොමඩ් ඉෂ්රි, දයාපාල තිරාණගම, අජන්ත අලහකෝන්, පී. ඩී. සරණපාල, සිතාරා කුලරත්න, දුමින්ද නාගමුව, රාජ්කුමාර් රජීව්කාන්ත්, ජයන්ත අමරසිංහ, පුබුදු ජයගොඩ, ජූඩ් නාමල් ප්‍රනාන්දු, වී. මහේන්ද්‍රන්, විජේපාල වීරකෝන් ඇතුළු ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික සාමාජිකාවන් ගණනාවක් සහභාගී වි තිබුණා.

    විශේෂයෙන් මානව හිමිකම්, පරිසරයේ ආරක්ෂාව, පනත් කෙටුම්පත් සහ ව්‍යවස්ථා සංශෝධන ආදී ක්ෂේත්‍ර වල ජනතාව වෙනුවෙන් විශාල නෛතික ජයග්‍රහණ අත්පත් කර දුන්නා.

    ජන අරගල වල ඔහුගේ තීරණාත්මක භූමිකාව නියෝජනය වූයේ 2022 අරගලයේදීය.

    එහිදී ගාලුමුවදොර පිටියේ ගෝඨා ගෝ ගම තුළ අරගල ක්‍රියාකාරිකයෙකු ලෙසද, අරගලයට එල්ල වූ රාජ්‍ය මර්දනය තුළදී නීතීඥයෙකු ලෙසද ඔහුගේ ක්‍රියාකාරීත්වය සුවිශේෂී විය.

    වර්තමානයේ නුවන් බෝපගේ ජන අරගල සන්ධානයේ විධායක සභිකයෙකු ලෙස කටයුතු කරනවා.

  • මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද?

    මුක්තිය හිමි වූ ඝාතකයන්ගේ අපරාධයේ ඊළඟ ගොදුර කරදියාන ද?

    දරුවෙකු නැති වුණු පසු අම්මා කෙනෙකු ඉතිරි නොවන බව කීවේ ඝාතනය කරන ලද මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ අම්මා ය. බලයට පත් වූ ආණ්ඩු අම්මලා සිය ගණනකට දරුවන් නැති කළේය. ඇතැම් අම්මලාට මැරෙන තුරු දොර දෙස බලා සිටින්නට උරුම කළේ දරුවන් අතුරුදන් කරමින් ය. මේ එහෙම රාජ්‍යයකි.

    සිරියාවේ අලාන් කුර්දි දරුවා සරණාගතයකු ලෙස මුහුදු වෙරළේ මහ පොළොව බදාගෙන මිය ගියේය. ඉන්දියාවේ සුර්ජිත් විල්සන් දරුවා මිය ගියේ තමිල්නාඩුවේ වතුර සොයන සටනට මැදි වූ නිසා ය. අවිධිමත් ලෙස හාරන ලද අඩි සියයකට වඩා ගැඹුරු ළිඳක පතුලේ සිරවී සුර්ජිත් මිය ගියේය.
    මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ 2017 අප්‍රේල් 14දා ය. රට පුරා ජනතාව අලු‍ත් අවුරුද්ද සමරන විට දරුවන් පස්දෙනෙකු ද ඇතුළු 40කට ආසන්න පිරිසක් ඒ කුණු කන්දට යට විය. පසුව ඉදිරිපත් කෙරුණු සංඛ්‍යා ලේඛනවලට අනුව මේ අපරාධයෙන් 32ක් මියගොස් 8ක් අතුරුදන් වී තිබිණි. සිය ගණනකට නිවාස සහ දේපොළ අහිමි විය. මීතොටමුල්ලට කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් ද තිබිණි. නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණත්වය ඇතුළු න්‍යායයන් වචන බවට පත්කරමින් පත්වූ සියලු ආණ්ඩු එක්ව අක්කර 20ක කුණු කන්දක් හැදුවේය. දිනකට කුණු ටොන් 800ක් හැලූ මීතොටමුල්ල අවසානයේදී නායගියේය.

    හිතාමතා කළ – නැතහොත් වළක්වා ගත හැකිව තිබූ මේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසම ඉදිරියේ විවිධ පිරිස් සාක්ෂි ලබාදුන්නේය. මේ අපරාධයට වගකිවයුත්තන් රැසක් කොමිසමෙන් නම් කළ අතර, රාජ්‍ය ආයතන 5ක් සෘජුව ඊට වගකිව යුතු ද එම නිර්දේශවල සඳහන් විය. නමුත් ඒ කිසිවකුට කිසිවක් සිදුනොවීය.

    කිරුලපන ප්‍රදේශයේ තිබූ කුණු මෝල සහ ජීව වායු පද්ධතිය වසා දැමිණි. ඉන්පසු මට්ටක්කුලිය, බ්ලූමැන්ඩල්, කොටිකාවත්ත, මීතොටමුල්ල ප්‍රදේශවල කුණු ගොඩ ගැසිණි. ක්ෂේත්‍රයේ විද්වතුන් වන නිමල් ප්‍රේමතිලක සහ සුමිත් පිලපිටිය අවස්ථා කිහිපයකදී බලංගොඩ සහ වැලිගම ප්‍රදේශවල කසළ කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද, ඒවා ඉදිරියට ගියේ නැත. කෙරවලපිටියේ කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ ද එය ද ටික පැවතුණේ ටික දිනකි. අරුවක්කාලුවලට කොළඹ කුණු ගෙනගොස් දැමීමේ ව්‍යාපෘතියට ද අත්වූයේ එම ඉරණම ම ය.
    දැන් ඒ කුණු සියල්ල කොළඹ දිස්ත්‍රික්කයේ කරදියාන ප්‍රදේශයට ගෙනගොස් දමයි. එහි තවත් දැවැන්ත කුණු කන්දක් ගොඩගැසෙමින් තිබේ. මීතොටමුල්ල ඊළඟ අදියර කරදියානෙන් මතුවන්නට පෙර, මේ ඛේදවාචක අවසන් කළ යුතු නොවේද? අඩු තරමේ කසළ බැහැර කිරීමේ විධිමත් ප්‍රතිපත්තියක් සකස් කරගත නොහැකි රටක ය, අප ජීවත් වන්නේ.

    මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයට පසුගිය අප්‍රේල් 14දාට වසර 07කි. මේ, එම අපරාධය සිදුවීමට පෙර සිට ම මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව සටන් කළ නීතිඥ නුවන් බෝපෙගේ සමග කළ සම්මුඛ සාකච්ඡාවක සටහනකි.

    මීතොටමුල්ල අපරාධයට අදාළ ව වසර 7කට පස්සෙ බලනකොට අධිකරණය පැත්තෙන් ඉටුවිය යුතු යුක්තිය ඉටුවුණාද?

    කුණු කන්ද තියෙද්දි තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම දැම්මෙ. ඒකෙදි අපි අතුරු තහනම් නියෝගයක් ඉල්ලුවා, මෙතැන්ට කුණු දාන එක නතර කරන්න කියලා. ඒ අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙලාවෙ දුන්නෙ නෑ. එතකොට අපි සාධාරණ කරුණු රැසක් ඉදිරිපත් කරලා තියෙද්දිත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ වෙලාවෙ ඒ නියෝගය ඉල්ලීම ප්‍රතික්ෂේප නොවුණා නම් මේ ජීවිත ආරක්ෂා වෙන්න තිබුණා.
    ඒ අර්ථයෙන් ගත්තොත් මේක සම්බන්ධයෙන් නීතිය පැත්තෙන් තිබුණු අවධානය ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ. ඊටපස්සෙ කුණු කන්ද කඩාගෙන වැටුණට පස්සෙ ඊට අදාළ නඩුවෙ තත්ත්වය ගත්තොත්, දැන් නඩුව අහලා තීන්දුවට තියලා තියෙනවා. මේ වෙනකොට වෙන්න ඕනෙ විනාශය වෙලා ඉවරයි. ඒකෙ තීන්දුව කොයි පැත්තට එයිද කියන්න අපි දන්නෙ නෑ. ඒ තීන්දුව මොනවා වුණත් සිදු වුණු බරපතළ හානිය වළක්වාගන්න නීතිය පැත්තෙන් අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය පිළිසරණ මිනිස්සුන්ට ලැබුණෙ නෑ.

    මේකට අදාළව ජනාධිපති කොමිසමකුත් පත්කළා. ඒකෙන් යම් නිර්දේශ ප්‍රමාණයක් දුන්නා. කොළම නගර සභාවෙ හිටපු කොමසාරිස්ලා ඇතුළු නිලධාරීන් සබම්න්ධයෙන් අවශ්‍ය පියවර ගන්න කියලා ඒකෙන් නිර්දේශ කළා. ඒ සම්පූර්ණ නිර්දේශ ගැන අපි සෑහීමකට පත්වෙන්නෙ නෑ. ඒක අපක්ෂපාතී ස්වරූපයකින් නෙමෙයි සිද්ධ වුණේ. නමුත් එහෙම තත්ත්වයක් තුළ ලබාදුන් නිර්දේශවත් ක්‍රියාත්මක වුණේ නෑ. ඒ පැත්තෙනුත් ජනතාවට අසාධාරණයක් වුණේ.

    මේ වගේ හිතාමතා කළ අපරාධයකින් පස්සෙ තමන්ට යුක්තිය ඉටුකර ගන්න නීතිය පැත්තෙන් මිනිස්සුන්ට තව මොනවද කරන්න ඉතුරු….?

    ප්‍රධාන වශයෙන්ම මිනිස්සුන්ගෙ ජීවත් වීමේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. ඒක දැනටමත් අපි කරලා තියෙන්නෙ. මේක අපරාධයක් කියන තැනින් ගත්තට පස්සෙ මේ කුණුකන්දත් එක්ක සිදුවුණු වංචා-දූෂණ ඒ සියල්ල සම්බන්ධයෙන් පියවර ගැනීමේ වගකීම තියෙන්නෙ රජයට. පොලිසියට. නමුත් ඒ පැත්තෙන් එහෙම පියවරක් ගත්තෙ නෑ. එතැනදි ජනතාවට පියවරක් ගන්න තියෙන්නෙ සීමිත ඉඩකඩක්. ඒ පරීක්ෂණ පවත්වන සියල්ල කරන්න ඕනෙ පොලිසිය ආණ්ඩුව.

    අනෙක් පැත්තෙන් ජනතාවට තියෙන්නෙ වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය. ඒකෙදි අධිකරණ ක්‍රියාමාර්ගවලට යනවා වෙනුවට අපි තේරුවෙ සටන් ක්‍රියාමාර්ග. අපිට අවශ්‍ය වුණේ නෑ මෙච්චර හානියක් වෙලත් තවදුරටත් උසාවිවල රස්තියාදු වෙමින් වන්දි අයකරගන්න. මුලින්ම මේකට ඇත්තටම පොඩි වන්දියක් තමයි දෙන්න තීරණය කරලා තිබුණෙ. නමුත් අපි දිගටම ආපදා කළමනාකරණ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ඉදිරිපිට කරපු උද්ඝෝෂණ සහ ඒ ක්‍රියාමාර්ග නිසා යම් තරමකට සෑහීමකට පත්වෙන වන්දි මුදලක් අපිට ගන්න පුළුවන් වුණා.

    අවුරුදු 7කට පස්සෙ ආපහු හැරිලා බැලුවොත් මේ අපරාධයට එරෙහිව අපි යුක්තිය වෙනුවෙන් සාර්ථක ක්‍රියාමාර්ග තෝරලා තියෙනවද, අනෙකුත් අරගලවලදි වගේ සාමූහිකත්වය ගැන ගැටළු මතුවෙලා තියෙනවද?

    රටේ දේශපාලනය ගත්තොත් කුණු කන්ද කඩාගෙන වැටෙන කොට හිටපු අගමැතිවරයා දැන් රටේ ජනාධිපතිවරයා වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුව පිහිටුවනකොට 2015 වුණු පොරොන්දුවක් තමයි, මීතොටමුල්ල කුණු කන්දට විසඳූම් දෙනවා කියන එක. ඊට පස්සෙ යහපාලන ආණ්ඩුව ආවට පස්සෙ මුලින්ම පහර දුන්නු උද්ඝෝෂණය තමයි කුණු කන්දෙ උද්ඝෝෂණය. 2015 මාර්තු 20 වැනිදා තමයි ඒ ප්‍රහාරය එල්ල කළේ. ඊටපස්සෙ රනිල් වික්‍රමසිංහ අපිට සාකච්ඡාවක් දුන්නා. ඒ සාකච්ඡාවෙදි අපිට පොරොන්දු වුණා, මාස හයක් ඇතුළත අපිට විසඳූමක් දෙනවා කියලා.

    රනිල් වික්‍රමසිංහ ළඟ ප්‍රශ්නවලට උත්තර තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් එහෙම නෑ කියන්න මේක හොඳ උදාහරණයක්. එදා ඉඳන් මේ දක්වා ගත්තොත් පොදුවේ රටේ කසළ කළමනාකරණයට දීලා තියෙන විසඳූම තමයි, මීතොටමුල්ලට දාපු කුණු දැන් කරදියානට දාන එක. එතැන කුණු කන්ද ගොඩගහන එක. තැන මාරු කරන එක විතරයි. ප්‍රතිපත්තිමය වශයෙන් කිසිම විසඳූමක් නෑ.

    මිනිස්සුන්ගෙ පැත්තෙන් ගත්තොත් මේ සටන දිගටම අරගෙන ගියා. මේ වෙනකොට කුණු කන්ද අවට හිටපු මිනිස්සු එතැන පදිංචිත් නෑ. අලුතෙන් කුණු දාන්නෙත් නෑ. මේක ව්‍යාපාරයක් විදිහට දැන් බිමේ නෑ. හැබැයි අපිට තියෙන අත්දැකීම තමයි මේ සටනේ හිටපු ඇතැම් ක්‍රියාකාරිකයනුත් විවිධ දේශපාලන උපක්‍රමවලට අහුවෙලා වෙනත් තැන්වලට ගියා තාවකාලිකව හෝ ස්ථිරව. ඒ වගේ තත්ත්වයන් නිර්මාණය වෙන්න හේතුව විදිහට මම දකින්නෙ මේ වගේ හුදෙකලා සටන් එකතු කිරීමක් නැති එක. මේ සමස්තය එක තැනකට ගොනුකරන්න අවශ්‍යයි.

    උපුටා ගැනීම – ද ටයිම් වෙබ් අඩවිය

  • ATA හරහා අධිකරණයේ බලය නීතිපතිට පවරනවා – නීතිඥ නුවන් බෝපගේ

    ATA හරහා අධිකරණයේ බලය නීතිපතිට පවරනවා – නීතිඥ නුවන් බෝපගේ

    යෝජිත ත්‍රස්ත විරෝධී පනතෙන් අධිකරණය සතු බලතල නීතිපතිවරයාට පවරා ඇති බවත්, එය ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් නීතිඥ නුවන් බෝපගේ පැවසීය.

    නීතිඥ බෝපගේ ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව පෙත්සම ඉදිරිපත් කර තිබුණේ, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව වෙනුවෙනි.

    මෙහි එන්නේ නීතිඥ නුවන් බෝපගේ ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කළ කරුණු ඉදිරිපත් කිරීමෙහි, සිංහල සංක්ෂිප්තයකි.

    මා පෙනී සිටින්නේ, දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙකු සහ වෘත්තිය සමිති නායකයෙකු වෙනුවෙන්.

    ත්‍රස්තවාදය පිළිබද අදහස මුලින්ම ප්‍රංශ විප්ලවයේදී විප්ලවයට එරෙහිව දේශපාලනිකව පාවිච්චි කළා. පලස්තීන අර්බුදයේදී පලස්තීනයට එරෙහිව එම තර්කය පාවිච්චි කළා. ජනතාවගේ නැගිටීම්වලට ත්‍රස්තවාදය පාවිච්චි කරන අවස්ථාවලදී, පීඩිතයන්ගේ කෝණයෙන් බැලූ කළ එය ත්‍රස්තවාදයක් ලෙස සලකන්නේ නෑ.

    යම් නීතියක් අපැහැදිලි, විෂය පථය ඉක්මවන, අවිෂද (පුරවැසියාට නීතියෙන් ස්ථාපිත වන වරද හරිහැටි අවබෝධ නොවන) එකක් වන්‍නේ නම්, එහි වාසිය ඇත්තේ වරදකරුවන්ට පමණයි.

    පෝට් සිටි පනත පිළිබද සහ 20 වැනි සංශෝධනය පිළිබද ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල සදහන් වුණා, නීතියක් අපැහැදිලි, නිශ්චිත නොවන විටදී එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වැනි ව්‍යවස්ථාව වන්නේ ‘නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේය.‘ යනුවෙන්.

    මෙම පනත් කෙටුම්පතෙන් විධායකයට පුද්ගලයන් සිරභාරයට ගැනීමට ඉඩ සලසනවා. යම් කෙනෙකු ත්‍රස්ත ක්‍රියාවක් කරනවායැයි සිතුණොත්.

    පනතේ 3.1 (ආ) වගන්තිය වන්නේ ‘යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීති විරෝධී ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව‘ සිදු කරන ක්‍රියාවක් හෝ නොකර හැරීමක් පිළිබද.

    ඒ අකුන ආණ්ඩුවට පමණක් නෙවෙයි, වෙනත් ආණ්ඩුවකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට පවා යම් කිසි දෙයක් කරන්නට බලපෑම් කිරීම ත්‍රස්තවාදය වෙනවා.

    වෘත්තිය සමිතිවලට සහ පොදුජනතාවට විරෝධය පෑමේ අයිතියක් තිබෙනවා. ඒ වගේම ඉන්දියාව කච්චතිව් දූපත අල්ලාගන්නට හැදුවොත්, එයට එරෙහිව ඉන්දියාවේ ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීමේ අයිතියක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධාකාර බදු ප්‍රතිපත්ති ආදිය ක්‍රියාත්මක කරවන විට, ඒ ප්‍රතිපත්තිවලට එරෙහිව විරෝධය පෑමේ අයිතියක් තිබෙනවා.

    ජනතාවට ඒ ඒ තීන්දුවලට එරෙහිව විරෝධය දැක්විය හැකියි.

    සෑම විරෝධයක්ම සාමකාමීව අවසන් වන්නේ නැහැ. රජයට වුණත්, විරෝධතා කඩාකප්පල් කිරීමේ අරමුණෙන් කෙනෙක්ව යෙදවීමේ හැකියාව තිබෙනවා. එහෙත් එය ත්‍රස්තවාදය විය හැකිද?

    විරෝධයකදී යම් දේපළක් බිදුණොත් රජයට පුළුවන් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ඒක නම් කරන්න. පනතේ මෙවැනි අපැහැදිලිතාව විසින් ඉතා බරපතල ප්‍රතිඵල ඇති කිරීමට ඉඩ තිබෙනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව – ‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කෙක්ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේ ය.‘

    මෙම බලය අවභාවිත කිරීමේ අවදානමක් පවතිනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි සංශෝධය පිළිබද ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව බලය අවභාවිත කිරීමට යම් වරදක් කරන්නට ඉඩ තිබෙනවාදැයි සැකය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එහෙත්, එයින් පසුව ලබා දුන් සුභසාධක ප්‍රතිලාභ පනත් කෙටුම්පත පිළිබද නඩු තීන්දුවේ සදහන් වෙනවා ‘යම් නීතියක් හදුන්වාදුන් පසු, කුමක් සිදුවේදැයි අනුමානයන් ඉදිරිපත් කිරීම අධිකරණයේ විෂය පථයට අයත් නොවන නමුත්, අධිකරණය යම් පනත් කෙටුම්පතක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් වැළැක්වීම සදහා ‘ප්‍රමාණවත් ආරක්ෂණයන්‘ තිබේදැයි සලකා බැලිය යුතු බව. වෙනස්කම් කිරීම වැළැක්වීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ අත්තනෝමතික බව වැළැක්වීම සදහා ආරක්ෂණ ප්‍රතිපාදන තිබේදැයි සලකා බැලිය යුතු බව.‘

    මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අවුරුදු 40ක් තිස්සේ පවතිනවා. ඒ අනුව අවභාවිතයන් පිළිබද උදාහරණ තිබෙනවා. ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන ලෙස මේ වන විට පොදු විරෝධයක් පවතිනවා.

    ප්‍රමාණවත් ආරක්ෂණයන් නොමැති තැන බලය අවභාවිත කිරීම් සිදු වෙවන්න පුළුවන්. මේ පනතේ ත්‍රස්තවාදියා පිළිබද අර්ථකතනය වටා තමයි සියල්ල තියෙන්නේ. මෙම පනත අවභාවිතය වැළැක්වීම සදහා කිසිම ආරක්ෂණ විධිවධානයක් නැහැ.

    රදවා තබාගැනීම් නියෝගයක් නිකුත් කළාට පසුව තමයි මානව හිමිකම් කොමිසමට ආදී මැදිහත්වීම් ගැන ප්‍රතිපාදන සදහන් වන්නේ. එහෙත්, පනතේ ත්‍රස්තවාදය පිළිබද නිර්වචනය අපැහැදිලි නිසා, ආරක්ෂාව පිළිබද ප්‍රමාණවත් සහතිකයක් ලැබෙන්නේ නැහැ.

    පනතේ 10 වැනි වගන්තියේ ‘ත්‍රස්තවාදය දිරිගැන්වීම‘ වරදක් ලෙස සදහන් වෙනවා. – ‘ජනතාවගේ ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් හෝ ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට, ඒ සදහා සූදානම් වීමට ඔවුන් ඍජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොළඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළ කරන්නා වූ හෝ පළ කිරීමට කටයුතු සලස්වන්නා වූ හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ සංඥා හෝ දෘෂ්‍ය නිරූපණය සිදු කරන්නා වූ සහ,

    එමගින් ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට, ඊට සූදානම් වීමට හෝ පෙළඹවීමට ජනතාව ඍජුව හෝ වක්‍රව දිරිගැන්වීමට හෝ පෙළඹවීමට අරමුණු කරන්නා වූ හෝ

    ඒ ප්‍රකාශයෙන් ජනතාව ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට, ඊට සූදානම් වීමට හෝ පෙළඹවීමට ඍජුව හෝ වක්‍රව දිරිගැන්වෙන්නේද නැතහොතත් පෙළඹවෙන්නේ ද යන්න පිළිබද අනවධානීව සිටින්නා වූ,

    තැනැත්තෙකු මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන්නේය.‘

    ත්‍රස්ත ක්‍රියා පමණක් නෙවෙයි, මේ පනතෙහි නිර්වචනය වන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම පවා වැරදි ලෙස සදහන් කරනවා.

    මුද්‍රිත, අන්තර්ජාල, ඉලෙක්ට්‍රොනික සහ අනෙකුත් මාධ්‍ය ඉලක්ක කරනවා.

    මම පෙනී සිටින්නේ දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු වෙනුවෙන්. ඔහු වෘත්තිය සමිති ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ඔවුන් වෘත්තිය සමිති ක්‍රියාකාරකමක් සංවිධානය කළාට පසු, ෆේස්බුක් සහ වෙනත් මාධ්‍යවලින් ඒ විරෝධයට එන්න කියා ප්‍රවර්ධනය කරන්න පුළුවන්. පුද්ගලයන් ඒ පණිවිඩය හුවමාරු කරන්න පුළුවන්.

    රජයේ ඕනෑම ක්‍රියාවක් ගැන විරෝධයක් සංවිධානය කළොත්, ඒ ගැන කතා කරන්න පුළුවන්. විධායකයට එම සිදුවීම අවභාවිත කළ හැකියි. එවැනි විරෝධයකදී යම් සිදුවීමක් සිදු වුණොත්, විරෝධය පිළිබද තොරතුරු හුවමාරු කළ අය ‘ත්‍රස්ත චෝදනා‘ ලැබිය හැකියි.

    70 වැනි වගන්තිය අධිචෝදනා කිරීම අත්හිටුවීම සහ කල්තැබීම පිළිබද බලතල නීතිපතිවරයාට ලබා දෙනවා. – ‘නීතිපතිවරයා විසින්… මෙම පනත යටතේ වරදක් සිදු කර ඇතැයි කියනු ලබන යම් තැනැත්තකුට එරෙහිව අපරාධ නඩු පැවරීම වසර විස්සක් නොඉක්මවන කාල සීමාවක් සදහා අත්හිටුවීම සහ කල් තැබීම කරනු ලැබිය හැකිය.‘

    72 වගන්තිය යටතේ නඩු විභාගය අවසන් වනතෙක් රදවා තැබීම සදහා බලතල නීතිපතිවරයාට දෙනවා. ‘ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සැලකිල්ලට ගනිමින් මහාධිකරණය නිශ්චය කරනු ලැබිය හැකි යම් කොන්දේසිවලට යටයත්ව යම් බලධරයෙකුගේ භාරයේ, යම් ස්ථානයක ඒ තැනැත්තා තැබීමට නියම කරනු ලැබිය හැකිය.‘

    පළාත් පාලන පනත් කෙටුම්පත සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව යම් ආයතනයක ස්වෛරීත්ව බලය තවත් කොටසකට අන්සතු කළ නොහැකියි.

    මෙම පනත අනුව නීතිපතිවරයා අපරාධ නඩු පැවරීම වසර 20ක් දක්වා කල් දැමීමට බලය ලබා ගන්නවා. දඩුවම් කිරීමේ හෝ නොකිරීමේ බලය අධිකරණය සතු ස්වෛරීත්ව බලයක්. යම් විදියකට සැකකරුවෙකුට හැකියාව තිබෙනවා වරද පිළිගැනීමට හෝ සමාව ගැනීම ආදී ක්‍රියාවන්ට. එහෙත් එය සිදු කළ යුත්තේ අධිකරණය ඉදිරියේ, අධිකරණය හමුවේ. එයට නීතිපතිවරයා මැදිහත් විය නොහැකියි.

    අපි දන්නවා ප්‍රායෝගිකව මෙය සිදු වන ආකාරය. පුද්ගලයෙකුට රැදවුම් නියෝග දීලා, දීර්ඝ කාලයක් රදවාගෙන ඉදලා වෙහෙසට පත් කළාට පසු එම පුද්ගලයා සමග නීතිපති දෙපාර්තමේන්තුවට හෙට්ටු කිරීමේ හැකියාවක් ලැබෙනවා. නීතිපතිවරයා චෝදනා තිබේ නම් නඩු පැවරිය යුතුයි, චෝදනා නොමැති නම් නිදහස් කළ යුතුයි. මහේස්ත්‍රාත්වරයාට, මහාධිකරණයට තිබෙන බලයක් මේ. ඇප ලබා දීමේදී කොන්දේසි පැනවීම ආදිය කළ හැක්කේ අධිකරණයට.

    මෙය විධායකයේ එක් අවයවයක බලය තවත් අවයවයකට පැවරීමක්. මෙය අධිකරණය එක් අතකින් බලය ලබා දී, තව අතකින් යළි පවරාගැනීමක්.

    මෙම කරුණු නිසා මෙම පනත මූලික අයිතිවාසිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදය උල්ලංඝනය කරන බවත්, ඒ අනුව තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් මෙම පනත සම්මත කළ යුතු බවත් යෝජනා කරනවා.

    උපුටා ගැනීම – සටහන් බ්ලොග් අඩවිය

  • වසන්තගේ තීන්දුවේ වැදගත්කම නුවන් බෝපගේ පැහැදිලි කරයි

    වසන්තගේ තීන්දුවේ වැදගත්කම නුවන් බෝපගේ පැහැදිලි කරයි

    පසුගියදා වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී චෝදනාවලින් නිදහස් කිරීමට අදාළව නිකුත් කරන ලද නියෝගය සම්බන්ධයෙන් මේ වනවිට කතා බහක් ඇතිව තිබේ. විශේෂයෙන් එක් එක් පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ත්‍රස්ත පනත අත්තනෝමතික ලෙස පොලීසිය විසින් සමහර අවස්ථාවන්හිදී යොදා ගන්නා බව එම නඩු තීන්දුවේදී සඳහන් වීම විශේෂත්වයකි.

    ඒ අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මර්දනකාරී ලෙස යොදාගෙන ඇති ආකාරයට ගැන මේවනවිට සංවාදයක් ඇතිව තිබේ. මෙම පනත සහ වසන්ත මුදලිගේ වෙනුවෙන් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් නීතිඥ නුවන් බෝපගේ සමඟ කරන ලද සංවාදයක් පහත දැක්වේ.

  • නීතිපති දෙපාර්තමේන්තුව වසන්තගේ නඩුවේදී කළ කළ කැත වැඩේ ගැන බෝපගේ හෙළිකරයි

    නීතිපති දෙපාර්තමේන්තුව වසන්තගේ නඩුවේදී කළ කළ කැත වැඩේ ගැන බෝපගේ හෙළිකරයි

    අද දින කැඳවූ වසන්ත මුදලිගේට එරෙහි නඩුව අවස්ථාවේ නීතිපති දෙපර්තම්නේතුව අධිකරණයට තර්ජනය කරමින් බලහත්කාරී ලෙස එම නඩුව අළුත්කඩේ අංක 08 අධිකරණය සිට අළුත්කඩේ අංක 01 අධිකරණයට මාරු කරගෙන තිබුණි.

    කෙසේවෙතත් වසන්ත මුදලිගේ මෙම මස 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම නින්දාසහගත ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිඥ නුවන් බෝපගේ අද සවස් පවතී මාධ්‍ය හමුවකදී හෙළිදරව් කරන ලදී. එහිදී අදහස් දැක්වූ නුවන් බෝපගේ පැවසුවේ මෙවැනි තුච්ඡ නීතිපති දෙපාර්තමේන්තුවක් ඔහුගේ නීතිඥ ඉතිහාසය තුළ දැක නැති බවයි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ,
    ” නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් 04 දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ පෙන්වමින් මහේස්ත්‍රාත්වරියට කිව්වා ඔබ මේ නඩුව මාරු කරේ නැත්තම් අපි මේ දිවුරුම් ප්‍රකාශ අධිකරණ සේවා කොමිසමට දෙනවා ඔබතුමියට එරෙහිව පරීක්ෂණ පවත්වන්න කියලා. රජයේ නීතිඥවරයා කියන්නේ රනිල් රාජපක්ෂගේ නීතිඥවරයා නෙමෙයි. නීතිපතිවරයා සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා හොඳින් තේරුම් ගන්න ඕනා ඔබ රනිල් රාජපක්ෂගේ නීතිඥවරයා නෙමෙයි. රජයේ නීතිඥවරයා. ජනතාවගේ ආරක්ෂකයා විය යුතු පුද්ගලයා අධිකරණය ඉදිරියට ඇවිත් කියනවා මේ දිවුරුම් ප්‍රකාශය අධිකරණ සේවා කොමිසමට දානවා මහේස්ත්‍රාත්තුමිය මේ නඩුවෙන් අස්වුනේ නැත්තම් කියලා. ඇයි මහේස්ත්‍රාත්තුමිය නඩුවෙන් ඉවත්විය යුත්තේ? මේ පරීක්ෂණ කඩිනමින් පවත්වන්න කිව්වා නිසා. අපි දන්නවා ත්‍රස්ත මර්දන ඒකකය දූෂිතයි. ඒඑස්පී රත්නායක මිනීමැරුම් නඩුවක චුදිතයෙක්. මේ මිනීමැරුම් නඩුවේ චූදිත රත්නායකට වෙනුවෙන් තමයි නීතිපති පෙනී ඉන්නේ. ඊළඟට මොවුන්ට උපදෙස් දෙන්නේ ටිරාන් අලස්. ටිරාන් අලස් කියන්නේ 2005 මැතිවරණය අවස්ථාවේ උතුරේ ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න ඡන්දය දුන් කෙනා. ඊළඟට දේශබන්ධු තෙන්නකෝන්. ගිය සතියේ ජනාධිපති මන්දිරේ නඩුව අහද්දී ඒ නඩුවේදී ඒ සම්බන්ධ පරීක්ෂණ කරන නිලධාරීන්ට දුරකථන ඇමතුමක් දීලා තර්ජනය කරා කියලා හෙළිවුණා. අපි නීතිපති දෙපාර්තමේන්තුවට කියනවා ඔබලා ජනතාවගේ පැත්තේ නම් ඉන්නේ, අන්න අල්ලලා හිරේ දාන්න කෙනෙක් ඉන්නවා දේශබන්ධු තෙන්නකෝන්. තරුණයෝ 11ක් පැහැරගත් නඩුවේ කරන්නාගොඩට එරෙහි චෝදනා ඉල්ලා අස්කරගන්නේ නීතිපති . ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධිචෝදන පත්‍රය ඉවත්කරගන්නේ නීතිපති. අද කරපු දේ විසින් දීපු පණිවිඩයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහලා ජනතාවගේ අයිතීන් මර්දනය කරේ රහස් පොලීසිය, ත්‍රස්ත විමර්ශන ඒකකය වගේ ආයතන පාවිච්චි කරලා. දැන් ඔවුන් උත්සාහ කරනවා නීතිපති දෙපාර්තමේන්තුවත් තමන්ගේ තක්කඩි ආයතන ගොඩට ගන්න. නියෝජය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී මහේස්ත්‍රාත්වරියට තර්ජනය කරා. නීතිපති දෙපාර්තමේන්තව නීතිය දන්නවා කියලා හිතමු. මේ නීතිපති දෙපාර්තමේන්තුවට තේරෙන්නේ නැද්ද වසන්ත මුදලිගේ ත්‍රස්ත පනත යටතේ තියාගෙන ඉන්නවා නම් මේ අරගලයට සම්බන්ධ වූ ලක්ෂ ගණනක් ජනතාවත් ත්‍රස්තවාදීන් කියලා මේ නීතිපතිට තේරෙන්නේ නැද්ද? එහෙනම් වසන්ත ලෝකයේ ලොකුම ත්‍රස්තවාදී සංවිධානයක නායකයා විය යුතුය. මේ නඩුව පවත්වාගෙන යන්න බැහැ කියලා මේ නීතිපතිට තේරෙන්නේ නැද්ද? නීතිපතිවරයා තමන්ගේ අභිමතය පවිච්චි කරලා වසන්ත මුදලිගේට ඇප දීමට එකඟතාවය පළකරන්නේ නැත්තම් ඒ නැත්තේ මේ රනිල් රාජපක්ෂ තක්කඩි මර්දනයට යටවෙලා කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්.

  • වසන්තව බූස්සට යවන්න ආරක්ෂක ලේකම් TID ලොක්කා ඇතුළු පිරිසක් සාකච්ඡා කරලා

    වසන්තව බූස්සට යවන්න ආරක්ෂක ලේකම් TID ලොක්කා ඇතුළු පිරිසක් සාකච්ඡා කරලා

    වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය ක්‍රියාකරන ආකාරය අනුව ඔවුන් මේ තිරපිටපතේ අවසානය ලියා අවසන් බව පැහැදිලිවන බව නීතිඥ නුවන් බෝපගේ පවසයි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ එම තිරපිටපත සම්බන්ධ කරුණු දැන් අනාවරණය වෙමින් පවතින බවයි.

    නුවන් බෝපගේ වැඩිදුරටත් පැවසුවේ,

    “වසන්තව දින 90ක් රඳවා ගෙන සිටි කාලය තුළ ඔහුගෙන් නීතිඥාවරුන්ට ඔහුගෙන් පරීක්ෂණ ගැන විමසීම තහනම් කර තිබුණා. වසන්තට එරෙහිව සිදුවන විමර්ශන මොනවාද යන්න ඔවුන් සැඟවීමට උත්සාහ කළා. මේ තිරපිටපතේ අවසානය ගැන කරුණු දැන් අනාවරණය වෙලා තියෙනවා. වසන්තව ප්‍රශ්න කරන අවස්ථාවේදී තරස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් මතුකරන කරණා තුනක් තියෙනවා. පළවෙනි එක වසන්තව ත්‍රස්ත පනත යටතේ තිරගත කරන්න හෝ ත්‍රස්ත පනත යටතේ චෝදනා එල්ල කරන්න සාක්ෂි නැහැ. ඒ පිළිබඳ ඔවුන් දන්නවා. ඔවුන් කියන කාරණය තමයි වසන්ත කියන චරිතය ශිෂ්‍ය දේශපාලනයෙන් ඉවත්කිරීම ඔවුන්ගේ අරමුණ. දෙවැනි කාරණය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සම්බන්ධ දේශපාලන නායකත්වය ඉවත් කිරීම. අරගලයට පක්ෂපාතව සිටි අවංක දේශපාලන ව්‍යාපාර ඉන් ඉවත් කරන්න ඕනා කියන කාරණය. එතකොට පැහැදිලියි මේ තිරපිටපත ටිරාන් අලස් නැත්තම් රනිල් වික්‍රමසිංහ දේශබන්දු තෙන්නකෝන් මේ පිරිස එකතුවෙලා මේ තිරපිටපතේ අවසානය ගොනුකරලා තිබුනේ ඔන්න ඔය කාරණාවලට අදාළව. මේ සිදුවීමේදී තුන්දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එක් අයෙක් සම්පූර්ණයෙන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරා. සිරිධම්ම හාමුදුරුවෝ ඇප ලබාදී නිදහස් කරා. දැන් වසන්තව පමණක් එකම චෝදනාව යටතේ සිරගත කරගෙන ඉන්නවා. පසුගියදා අධිකරණයේදී විනිසුරුතුමිය විසින් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ හර්දසාක්ෂිය පිළිබඳ ප්‍රශ්න කරා. මේ විමර්ශන හිතා මතා කල් දැමීම ගැන ප්‍රශ්න කරා. ඒ අනුව ඔවුන්ට අධිකරණයට මුහුණ දෙන්න බැරුව සැලසුම වෙනත් විදිහකට ක්‍රියාත්මක කරන්න යනවා. ඒ අනුව අපිට බොහොම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබෙනවා ආරක්ෂක ලේකම් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සාකච්ඡා කරලා තියෙනවා වසන්තව බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයට අරන් යන්න. බූස්ස කියලා කියන්නේ ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ තියෙන වධකාගාරයක්. මත්ද්‍රවය චෝදනා තියෙන ආයුධ සම්බන්ධ චෝදනා තියෙන අයව දැඩි පීඩනයක් යටතේ රඳවාගෙන ඉන්න තැනක්. ඒ විතරක් නෙමෙයි ඒකෙ ඉන්න අයව ආයුධ හොයන්න කියලා අරන් ගිහින් ඝාතනය කිරීම් සැලසුම් සහගතව කරපු තැනක් බුස්ස කඳවුර. මේ පරීක්ෂණවලදී ත්‍රස්ත විමර්ශන ඒකකයට වසන්තගෙන් කට උත්තරයක් ගැනීමේදී රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගැනීම පහසුවක්ව තිබියදී ඔහුව බූස්සට අරගෙන යන්නෙ වසන්තව දේශපාලනයෙන් සහ ශිෂ්‍ය දේශපාලනයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය අනුව බව පැහැදිලිව සැක කරන්න පුළුවන්. මේ අනුව ඔහුව ඝාතනය කරන්න ඔහුගේ ජීවිතයට හානියක් කරන්න දැඩි උත්සාහයක් තියෙනවා කියන කාරණය අපිට අවධාරණයෙන් කියන්න පුළුවන්. “