මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ චූදිතයින් තිදෙනෙකු නිදහස් කළ හැකි බව නීතිපති පාරින්ද රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත දැනුම් දී තිබීම සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ. ඒ අනුව ජනමාධ්‍යවේදීන් ඇතුළු බොහෝ පිරිසක් ඉල්ලා ඇත්තේ නීතිපතිවරයා වහා ඉවත් කළ යුතු බවයි. මෙය තවත් තීව්‍ර වුවේ ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් ද මේ සම්බන්ධ ව්‍යාජ තොරතුරු බෙදා හැරීම හේතුවෙනි.
නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපියක සඳහන් කර ඇත්තේ, ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල , විතාරණ ආරච්චිගේ ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස් කළ හැකි බවයි.
නීතිපති දෙපාර්තුමේන්තුව විසින් 2025 ජනවාරි 27 දින නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපියේ ඇතුළත් කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ගය ලිපිය ලැබී දින 14ක් ඇතුලත් ලබා දෙන ලෙසද නීතිපතිවරයා දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තොරතුරු පලකරන ඇතැම් ආණ්ඩුවේ ළඟමා හිතවතුන් පවසා සිටින්නේ මෙම සැකකරුවන් නිදහස් කර ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව නොවන බවත් ලසන්තගේ රියදුරු පහර ගැනීමට අදාළ නඩුවක අයවලුන් බවයි. කෙසේවෙතත් මේ ආකාරයෙන් ව්‍යාජ තොරතුරු බෙදාහැරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් රැසකගේ විරෝධය එල්ල වි තිබේ.
ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ මේ හරහා පෙනෙන්නේ නීතිපතිවරයාගේ තීරණය ආණ්ඩුව අනුමත කරන බවද යන්නයි. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් හඬ නැගූ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිය ෆේස්බුක් ගිණුම් සටහනක් යොදා තිබේ.
පහත පළවෙන්නේ එම සටහනයි.
ලසන්ත නඩුවේ සැකකරුවන් මුදා හරිනවාට අමතරව, මේ ආකාරයට ව්‍යාජ කරුණු සමාජ ගත කිරීමටත් එරෙහි වෙමු.
සිසිර නැමැත්තා මේ පල කර ඇත්තේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයකි. රියදුරු පැහැර ගැනීමක් ගැන පැම්ණිල්ලක් ඇති බව ඔහු කියයි. ඇත්නම් ඒ කුමන පොලිසියකද යන්න ඔහු හෙළිදරව් කළ යුතුය. 92/2009 නඩුව ලසන්ත ඝාතනයට අදාල නඩුව නොවන බව ඔහු කියයි. එසේනම් ලසන්ත ඝාකන නඩුවේ අංකය කුමක්දැයි ඔහු හෙළිදරව් කළ යුතුය. අණ්ඩුවට සම්බන්ධ මෙවැනි උදවිය මෙලෙස බොරු ප්‍රචාරය කිරීමෙන් අපි තේරුම් ගත යුත්තේ මෙය හුදු නීතිපතිගේ අභිමතය පරිදි සැකකරුවක් මුදා හැරීමට එහා ගොස් ආණ්ඩුවේ වුවමනාව මත සැකකරුවන් මුදහැරි බවටද?
92/2009 යනු ලසන්ත ඝාතන නඩුවයි. බුද්ධි නිලධාරී කන්දේගෙදර පියවංශ මුලින්ම 2010 වසරේ අත්අඩංගුවට ගෙන කොළඹට ඉදිරිපත් කිරීමෙන් පසු ලසන්ත ඝාතනයට අදලව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ මේ නඩු අංකය යටතේය.
ලසන්තගේ රියදුරු පැහැරගෙන යාමක් ගැන පැමිණිල්ලක් නැත. එලෙස පැහරගෙන ගිය බවට අනවරණය වන්නේ 2015න් පසු සීඅයිඩිය විමර්ශන ආරම්භ කර පසුව ලසන්තගේ රියදුරුගෙන් ප්‍රකාශය සටහන් කර ගනිද්දීය. එම ප්‍රකාශය සටහන් කර ගත්තේ 92/2009 නඩුවට බැවින් අධිකරණයට කරුඛු වාර්තා කළේ එම නඩුවටය.
92/2009 යනු ලසන්ත ඝාතන නඩුවයි. එසේ තිබියදී ආණ්ඩුවට සම්බන්ධ මෙම පුද්ගලයා ව්‍යාජ තොරතුරු සමාජ ගත කරන්නට උත්සාහ කරන්නේ ඇයි?
(තරිඳු ජයවර්ධන)