සයිබරේ සැරි සරන ඉ කොළමා අහසෙන් බිමට බැහැලා මේ සැරේ බිම් කොළමක් ලියන්න කියලා කල්පනා කළා. ලියුම් පෙට්ටිය ඇරලා බැලුවම ලියුම් දෙකක්. ඊට අමතරව පත්‍රිකා කීපයක්. ලියුම් දෙක විවෘත කරන්න කලින් අනුමාන සැකය වුණේ මේ ලියුම් දෙකම ගෙවිය යුතු බිල් බවයි. ඒ නිසා ඒ දෙක ඇරලා බැලුවේ නෑ. ඒත් ඔබලා බැලුවා. වෙනසක් නෑ.
ඊට අමතරව පත්‍රිකා කීපයක්. මොනවද කියලා බලුවා. ගෙදරටම ගෙනැත් දෙන කෑම සර්විස් එකක් ගැන. තවත් එකක මුහුණු කීපයක් තියෙන ජනතා නියෝජිත පත්‍රිකාවක්. ඒ කියන්නේ මෙහෙත් ඡන්දයක්. කැමැත්ත ඉල්ලනවා වෙන්නැති. එයාලගේ ප්‍රතිපත්ති, අපේක්ෂකයන්ගේ සුදුසුකම් එහෙමත් ලියලා. ඡන්දයක් තිබුණට ඡන්දයක් තියෙනව ද කියන එක ගැන මෙලෝ හාංකවිසියක් දකින්න නෑ. රැස්වීමක් ජන ගඟ ගළන, රැස්වෙන, කතා පවත්වන බවක් නම් දැක ගන්න ලැබිලා නෑ. පොඩි පොටි මීටින් මීට කලින් තැනක දෙකක දැකලා තිබුණට මරා ගන්න ඡන්දයක් ගැන නම් අහල දැකලා නෑ. රටක් විදිහට නෝමල් දෙයක්. ලියුම් පෙට්ටියට කොළයක් දාලා ඡන්ද කැම්පේන් කළාට මොකද, ලොකු හිඟා කෑමක් නෑ. මේ බිමේ ඡන්ද එහෙමයි.
“ඇයි මට මේ පත්‍රිකාව දැම්මේ” කියලා ඉකොළමට හිතුණේ එයාට ඡන්ද අයිතියක් නැති නිසයි. ඒත් මේ කොලය දැම්ම කෙනා ඒක දන්නෙ නෑනෙ. දැම්ම කෙනා හිතන්නැති මමත් ජනතාවට අයිති කෙනෙක් කියලා. එහෙම නැත්තම් අලුත් ජනතාවකට අයිති කෙනෙක් කියලා හිතුවද කියන්නත් බෑ.
මොකද මෙයාල කියන්නේ විකල්ප ක්‍රමයක් ඕන කියලා. මිනිස්සුන්ගේ ප්‍රශ්න නෙවෙයි, මිනිස්සු ඇති කරපු ප්‍රශ්න විසඳන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි ප්‍රධාන සටන් පාඨය, ඉකෝ මිනිස්සු හොයාගෙන යන අය. ලෝකෙට කෙලවිලා යන එක අවධාරණය කරමින් විකල්පයක් හොයන්න හදන ප්‍රතිපත්තියක් පෙන්නුම්කරනවා. ඒක නරකමත් නෑ
ඒත් ප්‍රතිපත්තිය කියන්නේ වචන නෙවෙයි
විකල්පය කියන වචනයත් දැන් වෙනකොට සාමාන්‍ය දෙයක්. අර්ථය වෙනස් වෙලා ද නැත්නම් මේ වචනය විකෘති වෙලා ද කියන දේ පත්‍රිකාව දිහා බලාගෙන ඉන්නකොට තේරුණා. අදහස ප්‍රකාශ කරන වචන තුල විකල්පය ඇත්තටම කියැවෙනවද.
ක්‍රමයක් වෙනස් කරන්න වගේ කතා කරනවා. ඒත් මේ පවතින ක්‍රමය මතම ඉඳගෙන. ඇත්තටම විකල්පය කියන්නේ ක්‍රමය මත ඉඳගෙන ක්‍රමයක් හොයන එක. එහෙම නැතුව විකල්පය කියන්නේ විප්ලවයක් නෙවෙයි. මේ වාගෙ දෙයක් විප්ලවයක් විදිහට තමයි මෙයාලට.
පත්‍රිකාව ආයෙත් ලියුම් පෙට්ටිය ඇතුළටම දැම්මා. මොකද එළියට බැස්ස ගමන යන්න ඕන නිසා. පාර දිගේ ඇවිදගෙන යන අතරේ වාහන එහෙට මෙහෙට යනවා. කීප දෙනෙක්ම තමන්ගේ කාර් එක පාක් කරන්න තැනත් හොයනවා. වාහන වැඩියි. පාකින්වලට ඉඩ නෑ. ඒ අතරේ පාකින් එකේ නතර කරලා තියෙන වාහන පරීක්ෂා කරනවා ඊට අදාල පොලිස් නෝනා කෙනෙක්. පාකින් වෙලාව පහු වෙලාද, නියමිත නීති අනුගමනය කරල ද කියලා. එහෙම කළා කියලා කිසි ප්‍රශ්නයක් නෑ.. නීතිය කඩලා නම් දඩ කොලේ කාර් එකේ වයිපර් එකට යටින් තියලා යනවා. රජයට ආදයමක්. දවසට දෙතුන් වතාවක් කාර් පාක්වල රවුම් ගැහුවහම හොඳ දඩ ආදායමක්. නීතිය තියෙනවා. නීතිය මිනිස්සු එක්ක තරහ නෑ. ඒත් නීතිය යට තියෙන්නේ මිනිස්සු අසහනයට පත් කිරීම. අවනතභාවය. අධික නිෂ්පාදනය, අධික පරිභෝජනය, අසීමිත ආශාව, ඒවට සරිලන සීමා සහිත පහසුකම, සීමා සහිතවීම මත රාජ්‍යයේ පැවැත්ම.
නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මේ ඔක්කොම ඒක ඇතුළේ. හරි ලස්සනට ගේම් එක ප්ලේ වෙනවා මිනිස්සුන්ටත් නො දැනෙන්න. ඒ වුණාට නොදැනීම ඇතුළේ වචන විතරයි. අර්ථ නෑ. අසහනය හිත් ඇතුළේ..
මේ ක්‍රමය වෙනස් කරන එකට විකල්ප ඉදිරිපත් කරන්නේ මේ ක්‍රමයම හොඳින් කරලා. ඒ කියන්නේ, මේ ක්‍රමය තුල නීතිය හොඳටම ක්‍රියාත්මක කරලා.
මිනිස්සු තමයි තීරණය කරන්න ඕන කියලා කියනවා. එයාලට කියන්නේ ජනතාව…
පාර දිගේ ඇවිද ගෙන යන මිනිස්සු තම තමන්ගේ අරමුණුවලට දුවගෙන ගියාට විකල්පයක් හොයන බවක් නම් පෙනෙන්න නෑ..
මේක දැකපු ඉකොළමට මතක් වුණේ බර්ටෝල් බ්‍රෙෂ්ට්. නාට්‍යකාරයා, කවියා. ජනතාවාදියා. සමාජවාදියා. එයා ජනතාව ගැන විශ්වාස කළාට මොකද මේ ජනතාව කියන නාමකරණය ගැන තිබුණෙ නෑ විශ්වාසයක්. ඒක නිසා තමයි එයා කිව්වේ වෙනම ජනතාවක් පත්කරගන්න ඕන මේ ක්‍රමය වෙනස් කරන්න නම්.
ඒකෙන් කියන්නේ මොකක්ද?
එදා ඉඳලා මේ ජනතාව කියන පොදු නාමකරණයේ තියෙනවා ගැටලුවක්. ජනතාව තමයි ගැලවුම්කරුවා, ජනතාව තමයි පරම බලය, ජනතාව තමයි තීරකයා. මේ ජනතාව එහෙම බලද්දී කාගෙ ගැලවුම්කාරයා ද. ජනතාව ජනතාවගෙ ගැලවුම්කරායාද නැත්නම් ඔවුන් බලය ඉල්ලන කොටසේ ගැලවුම්කාරයා ද. තමන්ගේ විමුක්තිය තමන්ට ලබා ගැනීමට බැරිකම නිසයි අපිට දේශපාලනය කියන අදහස ඇතුළේ තිබෙන බලයට මැදිගත් වෙන්න වෙන්නේ. මේ බලයට එක එක හැඩයන් තියෙනවා. ඒ හැඩය ඇතුලේ තමයි දර්ශනයන්, ආකෘති, අගයන් විශ්වාශයන් තියෙන්නේ. මේ දේවල් එක එක විදිහට ඇතුළත් වෙලා තියෙන ගුණයක් බලය ඇතුළේ තිබෙනවා. ඒක ශක්තියක් බවට පත් කරගන්න වෙන්නේ ජනතාව කියන අයගේ පොදු සහ සාමූහික ශක්තියෙන්.
ඉතින් ජනතාවට ශක්තියක් තියෙනවා වුණාට, ශක්තියකට ඥාණයක් නැත්තම් ඒ ශක්තියෙන් වැඩක් නෑ. හැම අවස්ථාවකම එකතු වෙනවා, පොදු බවට පත් වෙනවා. ශක්තියක් හදා ගන්නවා නමුත් ඥාණයක් නෑ. ජනාතාවට බලය කියන අර්ථය නිතර නිතර වර නගනවා. ඒකට නීති හදනවා කියන ව්‍යවස්ථාවක් තියෙනවා. මෙතෙක් ගොඩ නගපු බලය මොකක්ද කියන ප්‍රශ්නයට ජනතාවට උත්තරයක් තිබෙනවා ද කියන කොට ඒ බලය තිබෙන ජනතාව කවුද කියන එක හොයා ගන්න එකත් ඒ වගේම අමාරුයි.
ජනතාව කියන්නේ පොදු ගුණාකාරයක් ද නැති නම් මහ පොදු සාධකයක් ද
මිනිස්සු කියලා පොදුවේ ඉන්න සත්වයාට තර්කය සහ ඥාණය තිබෙනවා කියන තැනින් තමයි ඔවුන් දේශපාලනික වෙන්නේ. එම නිසා තමයි ජනතාව වෙන්නේ. මේ ජනතාවට තමයි දේශපාලනයක් අවශ්‍ය වෙන්නේ. තමන්ට අයිති සහ කළ යුතු දේවල් කළමානාකරණය කරගන්න. ඉතිහාසය විසින් හදාගත්ත ක්‍රමය අඩු වැඩි වශයෙන් පවත්වාගෙන යනවා. ගැටලුවක් නැති තාක් කල් පරණ ක්‍රමය ඒ විදිහටම යනවා. ජනතාවත් පරණ විදිහටම ජීවත් වෙනවා. පරණ ජනතාවට අලුත් ජනතාව බවට පත් වෙන්න ගැටලු නැහැ කියලා කියන එක හැම තැනටම පොදු නැති තැන, ගැටුම් ඇති වෙනවා. ජනතාව පාරට බහිනවා. ඒ පරන ජනතාවමයි. අලුත් ජනතාවක් වෙන්න නම් අලුත් ක්‍රමයක් වෙනුවෙන් අලුත් ඥාණයක් පිළිබඳ අදහසක් තියෙන්න ඕන.
මේ දුවන පනින ජනතාව එහෙම ජනතාවක් ද. නූතනත්වය කරතියාගෙන ගියාට මෙයාලට ප්‍රශ්න නැත්තේ නෑ. නූතනත්වය විසින් ගෙනාපු දේවල් විසින්ම ගෙනාපු දේවල් ප්‍රශ්න බවට පත් කෙරුවට, ඒක ප්‍රශ්නයක් කියලා නො දැනෙනවාද කියන ප්‍රශ්නය අහන්න තියෙන එකක්. මේ නිසා අලුත් ජනතාවක් ද කියන ප්‍රශ්නය මේ නූතනවාදී මිනිස්සුන් වෙත යොමු කරන්න ඕන ප්‍රශ්නයක්. විකල්පය හොයාගෙන යන අයට ඒකට උත්තරයක් තියෙනවාද කියන එක සැකයි. ඒකයි එයාලා ජනතාව කියන්නේ කවුද කියන ප්‍රශ්නය අහන්නැත්තේ.
මේ රටේ, සෘජු ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටේ පාරට බැස්සම බිමේ යථාර්ථය මේකයි. ආරක්ෂිතයි, ස්ථාවරයි කියලා ඉන්න රටක බිමේ යථාර්ථය එහෙමම වුණත්, වෙනස්, අලුත් සමාජයක උවමනාවන් මිනිස්සුන්ට නැතුවා නෙවෙයි. ඒ වෙනුවෙන් කරන ඉල්ලීම් නැතුවත් නෙවෙයි. ඒත් මේවට තියෙන උත්තර උත්තරද කියන ප්‍රශ්නය නම් අහන්නම වෙන එකක්. විකල්පය යෝජනා කරාට, විකල්පයට විකල්පයක් නෑ…
ඒත් මිනිස්සු තමන්ගේ සීනි පාලනය කරගන්න, කොලෙස්ටරෝල් නැති කරගන්න දුවනවා.. ඊට අමතරව ඇඟ ස්ලිම් කරගන්න, ලස්සන තියා ගන්න යෝගා කරනවා. කැමෙන් පරිස්සම් වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ කන්න නැති එක නෙවෙයි. කන්නේ මොනවද කොහොමද කියන එක. එකත් විකල්පයක්. ඒත් ඒ ඔක්කොම වෙළෙඳ පොල කියලා කියන එකට නම් අඩු වැඩි වශයෙන් අහුවෙලා ඉන්නේ. වෙළෙඳපළ ජීවිතයේ කොටසක්.
ඔන්න ඔහොම හිතමින් බිමේ වටපිටාව ගැන කල්පනා කරද්දී පෝන් එකට තොරතුරු එන්න ගන්නවා. ලංකාව.
මේ දේවල් මෙහෙ වුණාට මේ දේවල් එහෙ වෙන්නෙ නෑ. ඒ දේවල් මෙහෙ වෙන්නෙත් නෑ..
දැන් බිමෙන් ආයෙත් සයිබරයට ගොඩ වුණාම දකින්න ලැබුණේ ලංකාව. මගේ කියන මගේ නොවන රට. කෙළවරක්, තොර තෝංචියක් නැති සංසාරයක්. දැන් උණුසුම මැතිවරණය දිහාවට. තැටිය රත් වෙමින් යනවා. ඇත්තටම රත් කරනවා. මිනිසුන් තමයි වැදගත්ම සාධකය. ඒ වුණාට මිනිසුන්ම තමයි ප්‍රශ්නය.
ඔන්න ආයෙත් ඥාණය උරගා බැලීමක් කරන්නයි යන්නේ.
බ්‍රෙෂ්ට් කියන විදිහට අලුත් ජනතාවක් පත්කරගන්න හදන්නේ..
පරන ජනතාව පරණ දේම කර කර දැන් ශත වර්ෂයක් විතර ගත වුණත්, ජනතාව හිතාන ඉන්නේ අලුත් කියලා. දේශපාලකයො තමයි මේ ඇන්දවීම කරන්නේ. උන් කියනවා බුද්ධිමත් ජනතාව, ඥාණවන්ත, සෙනෙහවන්ත, කරුණාවන්ත, ජනතාව කියලා. ඒක තරම් බොරුවක් කොහෙද.
බ්‍රෙෂ්ට් කියන අලුත් ජනතාවක් පත් කරගන්න ඕන නම්, ඒක ඕන හොඳ අලුත් දේශපාලන දැක්මක්, චින්තනයක්.
වැඩේ තියෙන්නේ ඒක මේ ඔක්කොටම තියෙනවනෙ. ඔක්කොමලා බලය ඉල්ලන්නේ අලුතින් රට ගොඩ ගන්න. තරඟයට ඇවිත් ඉන්න අය, අලුත් ජනතාවක් පත් කර ගන්න සුදුසුකම් පෙන්වන අය කියන්නේ “ අපි තමයි අලුත් අය” කියලා. මේ ඔක්කොම පෙන්වන්නේ අලුත් දෙයක් කරන්න යනවා කියලා.
ඉතින් ඒකට අනුව, ඒකට හැඩ ගැහුණු මිනිස්සු පෙළ ගැහිලා තම තමාගේ නායකකරකාදීන් පස්සේ යනවා.
නායකයෝ ජනතාව පස්සේ, ජනතාව නායකයෝ පස්සේ සෙක්කුව පදිනවා. එකම වෘතයක. වටේ යනවා. තරඟයක්. පුටුවක් හිමි කරගන්න සංගීත පුටු තරඟයක්. මේකට තමයි කියන්නේ අලුත් දේ. විකල්පය.
අලුත් වෙනවා කියන්නේ තිබුණු දෙයට වඩා වෙනස් දෙයක් මිනිස්සුන්ට ලැබෙනවා කියන එක. ඒක ගන්න එක මිනිස්සුන්ගේ බලාපොරොත්තුව. දෙනවා කියන අයගෙ පොරොන්දුව. පොරොන්දු දේශයේ අලුත් ජනතාවක් පත්කර ගන්න අලුත් නායකයෝ තරඟයට ඇවිත්.
දෙගොල්ලම එකම නම් අලුතින් ජනතාව පත්කරගන්න එක හෝ අලුතින් පාලකයෝ පත් කරගන්න යෝජනා කරන බ්‍රෙෂ්ට්ගේ යෝජනාව ආයෙත් කල් දාන්න වෙනවා. ඒත් තාමත් විවෘතයි.