Tag: psa

  • ලැබුණු නියෝජනය ජනතාවට හිතකර වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනයාමට යොදාගන්නවා – පුබුදු ජයගොඩ

    ලැබුණු නියෝජනය ජනතාවට හිතකර වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනයාමට යොදාගන්නවා – පුබුදු ජයගොඩ

    2025 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය හරහා ලැබුණු නියෝජනය බාවිතා කරමින් ජනතාවට හිතකර වැඩපිළිවෙල් ඉදිරියට ගෙනයාමටත් යම් ජනතාද්‍රෝහී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවනං ඒ වැඩපිළිවෙළ පරාජයකිරීමටත් කටයුතු කරන බව ජන අරගල සන්ධානය පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී
    ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව පැවසීය. එසේම ආණ්ඩුවේ මේ අත්තනෝමතික විනාශකාරී වැඩපිළිවෙළ නිසා විපක්ෂය නැවත හිස එසවීමට පටන් ගෙන තිබෙන බවත් පළාත් පාලන ආයතන තුළ යම් බලයක් ගොඩනාගන්න ඔවුන්ට හැකියාවක් ලැබී ඇති බවත් ඔහු පවසයි.

    පුබුදු ජයගොඩ පැවසුවේ,

    ” 2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වෙද්දි නිකුත් වෙලා තියනවා. අපි මුලින්ම ජන අරගල සන්ධානය විදිහට අපි වෙනුවෙන් ඡන්දය භාවිතා කළ ජනතාවට සහ මැතිවරණ ව්‍යාපාරයේදී අපිට සහයෝගය ලබා දුන් සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා. ජන අරගල සන්ධානය මේ මැතිවරණයේ දී පළාත් පාලන ආයතන 341න් 154ක් සඳහා තරඟ කළා. එහිදී අපිට ඡන්ද 50492ක් සහ මන්ත්‍රීධුර 16ක් ලැබිලා තියනවා.

    ජන අරගල සන්ධානය විදිහට අපි මෙවර මැතිවරණයේ දී ජනතාවට යෝජනා කිහිපයක් ඉදිරපත් කළා. එකක් තමයි ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රතු එළියක් දල්ලවන්න මේ මැතිවරණය අවස්ථාවක් කරගන්න කියන යෝජනාව. IMF වැඩපිළිවෙළ, ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම්, මර්දන පණත් සම්බ්නධ ස්ථාවරය මෙන්න මේ කාරණාවලදී ආණ්ඩුව යන පාර වැරදී කියන එකට සඥාවක් දෙන්න කියලා තමයි අපි කිව්වේ. තව කරුණක් තමයි දැනට ජනතාව අතින් ප්‍රතික්ෂේප වෙච්ච පැරණි දූෂිත දේශපාලන කඳවුරුවලට නැවත හිස ඔසවන්න දෙන්න එපා කියන ඉල්ලීම. ඊලග එක අපි ජනතාවට කිව්වා ආණ්ඩු මේ ගෙනියන අත්තනෝමතික වැඩපිළිවෙළ පරාජය කරන්න නම් එළියේ ජනතාවගේ බලයක් ගොඩනැගිය යුතුයි ඒ ගොඩනගන මහජන බලය ශක්තිමත් කිරීම සඳහා ආයත ඇතුළේ යම් නියෝජනයක් අපිට ලබාදෙන්න කියන යෝජනාව. මෙවර මැතිවරණ ප්‍රතිඵල දිහා බැලුව අපිට පේනවා ජනතාව යම් විදිහකින් අපේ යෝජනාවලට ඇහුන්කන් දීලා තියන බව.

     අපි ජන අරගල සන්ධානය විදිහට අපිට ලැබුණු නියෝජනය භාවිතා කරලා ඉදිරියේදී ඒ ප්‍රදේශවල ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් උපරිම මැදිහත් වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ආයතන තුළ ඉන්න අපේ නියෝජිතයින් ඉදිරියේදී ජනතාවට හිතකර වැඩපිළිවෙල් සඳහා උපරිම සහයෝගය දෙනවා වගේම ඒ ආයතන තුළ යම් ජනතාද්‍රෝහී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවනං ඒ වැඩපිළිවෙළ පරාජය කරන්නත් මැදිහත් වෙනවා. අපි මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයෙව්වේ ඉතාම දුෂ්කර තත්වයන් ඇතුලේ. මුදල් බලය මාධ්‍ය බලය මේ කිසිවක් නැතුවත් අපේ අදහස මේ තරමින් හෝ ජනතාව තුළ පැල කරන්න ලැබීන ජන අරගල සන්ධානයේ ජයග්‍රහණයක්. 
    
            මේ මැතිවරණ ප්‍රතිඵල දිහා බැලුවම අපිට පේන්න තියෙන්නේ ව්‍යාකූල තත්වයක්. 60%කටත් අඩු පිරිසක් තමයි තමන්ගේ ඡන්දය භාවිතා කරලා තියෙන්නේ. පසුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණයේ ප්‍රතිඵල දිහා බැලුවම අපිට පේන්න තියෙන්නේ මැතිවරණ සම්බන්ධයෙන් මහජන උද්‍යෝගයේ යම් හීන වීමක්. පසුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේදී ජනතාව නිශ්චිත දේශපාලන තීන්දුවක් ගත්තා මෙතෙක් රට පාලනය කළ දූෂිත කඳවුරු සම්බන්ධයෙන්. ඒ නිශ්චිත තීන්දුව මෙවර මැතිවරණය තුළ දකින්න නෑ. ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගයට බහුතර ආසන ප්‍රමාණයක ජයග්‍රහණය හිමි වෙලා තියනවා. නමුත් මේ ව්‍යාකූල තත්වය නිසාම ඔවුන්ට ආයතන 94ක් හැරුණාම සෙසු ආයතනවල තනි බලයක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ඡන්ද ප්‍රතිශතයක් ලැබිලා නෑ.  විශාල ඡන්ද දායකයින් ප්‍රමාණයක් නිෂ්ක්‍රිය වෙලා වගේම ඡන්දය භාවිතා කළ පිරිසත් ඉඳලා තියෙන්නේ ව්‍යාකූලත්වයක. 
    
        දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිපත්ති සහ මූලධර්ම ජනතාවට නිරවුල් වෙන්න ඕන. එතකොට තමයි ඒ වටා ජනතාව එකතු වෙන්නේ. අපිට පේනවා දැනට ආණ්ඩු පක්ෂයට වගේම විපක්ෂයටත් එහෙම පැහැදිලි දේශපාලන ස්ථාවරයක් නෑ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් මේ දෙගොල්ලොම පැහැදිලි ස්ථාවරයක් පසුගිය කාලෙම ජනතාවට කිව්වෙ නෑ. දෙගොල්ලොම ඒකත් එක්ක යනවා හැබැයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා වගේ ලිස්සලා යන උත්තර තමයි දුන්නේ. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට ජනතාව නියෝජනය කරමින් මැදිහත් වෙලා තිබුණේ දුමින්ද හුලංගමුව ඇතුළු ණය හිමියන්. ජනාධිපතිවරණ වේදිකාවෙදි මේ වැඩපිළිවෙළ විවේචනය කරපු ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වෙලා ඒ ද්‍රෝහි වැඩපිළිවෙළම ක්‍රියාත්මක කරද්දි විපක්ෂ ඒකට විරුද්ධ වෙනවද නැද්ද කියන ස්ථාවරයවත් හරියට ගන්න බැරුව තමයි හිටියේ. අනිත් බරපතළම කාරණය තමයි ඉන්දියානු ගිවිසුම්. මේ ගිවිසුම් සියල්ලම බලයට එන්න කලින් ජාතික ජන බලවේගය දැඩිව වවේචනය කරපු ගිවිසුම්. දැන් ඔවුන් ආණ්ඩු බලයට ඇවිත් ඒ ගිවිසුම් අත්සන් කරද්දි සජිත්ලා රාජපක්ෂලා ඇතුළු පාර්සව නිශ්චිතව ඒවට විරුද්ධ ද නැද්ද කියන එක රටට කිව්වේ නෑ. එකඟත් නොවේ එකඟත් නෑ වගේ තුන් තේරවිලි කිය කිය හිටියා පැහැදිලි ස්ථාවරයක් රටට කිව්වේ නෑ. මේ තත්වය එක්ක තමයි ජනතාවට තෝරාගත යුතු පැත්ත මොකක් ද කියන එක ගැන ව්‍යාකූලත්වයකට පත් වුණේ. 
    
         අපි දන්නවා මේ ඡන්ද ක්‍රමයේ ප්‍රශ්නයකුත් තියනවා. මොකද බහුතර බලයක් ගත්ත අයට සභාවක් පිහිටුවන්න අපහසු වෙන විදිහට තමයි මේ ඡන්ද ක්‍රමය හැදිලා තියෙන්නේ. එසේ තිබියදී වුණත් 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ගන්න ආණ්ඩු පක්ෂයට හැකියාවක් ලැබිලා නෑ. අනිත් එක තමයි ආණ්ඩුවේ මේ අත්තනෝමතික විනාශකාරී වැඩපිළිවෙළ නිසා විපක්ෂය නැවත හිස ඔසවන්න පටන් අරගෙන තියනවා වගේම පළාත් පාලන ආයතන තුළ යම් බලයක් ගොඩනාගන්න ඔවුන්ට හැකියාවක් ලැබිලා තියනවා. 

    උතුරු නැගෙනහිර සහ කඳුකර ප්‍රදේශවල ප්‍රතිඵල දිහා බැලුවමත් පේන්න තියෙන්නේ ඒ ප්‍රදේශවල ජනතාව ආණ්ඩුව කෙරෙහි යම් අප්‍රසාදයකින් ඉන්න බව. ඒකට හේතුව තමයි ඒ ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විස්වාසය ආණ්ඩුව අතින් පලුදු වීම. ඒක නිසා අර ගෝඨාභයගේ කාලෙ වගේම සිංහල දෙමළ මුස්ලිම් විදිහට ඡන්ද දායකයින් බෙදුණු මැතිවරණ සිතියමක් තමයි මෙවර අපිට අත්විදින්න ලැබිලා තියෙන්නේ. සිංහල මුස්ලිම් දෙමළ විදිහට බෙදුණු දේශපාලන අභිලාෂයන්ගෙන් තොරව කටයුතු කළ පසුගිය මහමැතිවරණ ප්‍රතිඵලය සැලකිය යුතු මට්ටමිකින් මෙවර බොඳ වෙලා තියනවා. පසුගිය කාලෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කතාකරපු ආණ්ඩුව අද වෙද්දී ඒ පනත පාවිච්චි කරල දෙමළ මුස්ලිම් තරුණයන් අත් අඩංගුවට ගන්න කටයුතු කරනවා. දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා කියලා මුලින් කිව්වා හැබැයි දැන් කියනවා ඒක කරන්න බෑ කියලා. යුද්ධෙ කාලෙ හමුදාව අත්පත් කරගත් ඉඩම් ඒ ජනතාවට නැවත ලබා දෙනවා කියලා මුලින් කිව්වා හැබැයි දැන් ගැසට් එකක් ගහලා ඉඩම්වල හිමිකාරීත්වය ඔප්පු කරන්න පුලුවන් අයට විතරයි ඉඩම් දෙන්නේ කියලා. මේ තත්වය නිසා ඒ ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි සැකයක් ඉස්මතු වෙලා තියනවා. ඒ වගේම තමයි ඒ සැකය විසින් ඔවුන්ව නැවතත් පරණ කඳවුරුවලටම හේත්තු කරලා.

           ජන අරගල සන්ධානය විදිහට අපි හිතනවා මේ මැතිවරණ ප්‍රතිඵල තුලින් ආණ්ඩුට ජනතාව සිග්නල් එකක් දීලා තියනවා ඒක ආණ්ඩුව තේරුම් ගන්න ඕන. මේ අනතුරු හැඟවීම මගහරිමින් යන්න ආණ්ඩුව තවදුරටත් කටයුතු කළොත් ඒක ආණ්ඩුවට ඉතාමත් දුෂ්කරතාවලට මුහුණ දෙන්න හේතුවක් වේවි. 

    ඒ වගේම තමයි ජන අරගල සන්ධානය විදිහට අපි ජනතාවට කියනවා ආණ්ඩුවේ ක්‍රියාවන් නිසා ඔබ ඉන්න අප්‍රසාදය නැවත අර දූෂිත දේශපාලන කල්ලි බලයට ගේන්න භාවිතා කරන්න එපා. මොකද මුහුණත් එක්ක තියෙන තරහට නහය කපා ගන්නවා වගේ වැඩක් මේ. ඒ නිසා ජනතාවගේ අභිලාෂයන් ජයග්‍රහණය කරවිය හැකි මහජන ව්‍යාපාරයක් අපි ගොඩනගමු ඒ සඳහා ජන අරගල සන්ධානව වටා එකතුවෙන්න කියන යෝජනාව අපි සියලු ජනතාවට මේ වෙලාවේ ඉදිරිපත් කරනවා. “

  • නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අවුල ලිහන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුයි – නුවන් බෝපගේ

    නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අවුල ලිහන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතුයි – නුවන් බෝපගේ

    දැනට පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඉතා අවුල් සහගත බවත් එය විසදීම සඳහා ජන සහභාගීත්වය වර්ධනය කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බව ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ සඳහන් කරයි.

    ඔහු මේ බව පැවසුවේ ඊයේ (24) ජන අරගල සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි. නුවන් බෝපගේ වැඩිදුරටත් පැවසුවේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් වූ පවිත්‍රා දැන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින බවයි. එසේම රනිල් වික්‍රමසිංහට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් වූ තලතා ද රනිල් වෙනුවෙන් පෙනී සිටින බවත් මොවුන් කාන්තාවන් වුවත් කාන්තාවගේ කිසිදු ප්‍රශ්නයක් වෙනුවෙන් පෙනී නොසිටින බවත් ඔහු පැවසීය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ,

    ”අපි අපේ වැඩපිළිවෙළේ පැහැදිලිව සඳහන් කරනවා මහජනතාවට බලය හිමිවන ක්‍රමයක් හදනවා කියලා. ජනතා නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය ජනතාවට දෙනවා කියලා. ඇයි අපි එහෙම කියන්නේ? දැන් අපි උදාහරණ දෙකක් ගමු පසුගිය ඡන්දෙදි මේ රත්නපුර දිස්ත්‍රික්ක ජනතාව පවිත්‍රාදේවිට ඡන්දය දුන්නේ මොන ප්‍රතිපත්තියකට විරුද්ධවද? රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති පරාජය කරන්න තමයි ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යැවුවේ. ගෙවුණු අවුරුදු හතර තුළ මොකක්ද පවිත්‍රාදේවි කලේ? ගඟවල්වලට මුට්ටි දාන එක ඇරුනම, ජනතා විරෝධී පනත්වවලට අත ඉස්සුවා. බදු බර වැඩි කරන්න අත ඉස්සුවා. ගමේ සියල්ල කරන අතර, තමුන්ට ඡන්දෙ දුන්නු ජනතාව පරාජය කරන්න ඉල්ලපු රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්තිය දිනවන්න දැන් වේදිකාවල වර්ණනා කරමින්, රනිල් වික්‍රමසිංහ දිනවන්න කියලා ඉල්ලනවා. ඉතින් කොහෙද ජනතා බලය? කොහෙද ජනතාවගේ මතය?

    ඒ වගේමයි තලතා අතුකෝරල. පහුගිය ඡන්දෙදි තලතාට ජනතාව ඡන්දෙ දුන්නේ වික්‍රමසිංහගේ පාලනයට විරුද්ධව. පොහොට්ටුවේ ප්‍රතිපත්තියට විරුද්ධව. අද පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙන්න, තලතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නිකුත් කරලා අයින් වෙනවා. ඒ අයින් වෙන්නෙත් පාර්ලිමේන්තුව ලගදි විසිරෙනවා කියලා දැනගෙන, අන්තිම මොහොත වෙනකම් පඩිත් අරගෙන. මේ කාවද රවට්ටන්නේ?

    මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය බරපතල විකෘතියක් තියෙනවා. අනිත් එක මේ දෙන්නම කාන්තාවෝ. කාන්තාව කියන්නේ මේ වෙනකොට මේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිවල නැත්නම් IMF කොන්දේසිවල, මේ කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තියේ බරපතලම වින්දිතයින්. අද ක්ශුද්‍ර මූල්‍ය ණය ගෙවා ගන්න බැරුව, සියදිවි නසා ගන්නේ කාන්තාව. ගෙදර කුසගින්න නිවා ගන්න බැරුව දරුවොත් එක්ක ගඟට පනින්නේ කාන්තාව. තමුන්ගේ සනීපාරක්ෂක දේවල් ඉටු කරගන්න බැරුව, පාසල් නොගිහින් ඉන්නේ කාන්තාව. පෝෂණය ඌනතාවය නිසා ඔස්ටියො වගේ බරපතළ රෝග වලට ගොදුරු වෙමින් ඉන්නේ කාන්තාව. ගෑස් පුපුරලා මිය යන්නෙ කාන්තාව. මීට කිලෝමීටර් කීපයක් එහායින්, ම්ලේච්ඡත්වය පෙන්වමින්, සමූහ අපයෝජනයට ලක් වුණේ මේ රටේ කාන්තාව. හැබැයි මේ කාන්තා නියෝජිතයින් කවුරුත් අඩුම තරමින් පීඩිත කාන්තාවෝ නියෝජනය කරලා නෑ. ඉතින් මේ නියයෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අවුලක් නැද්ද? එය අවුල නිරාවුල් කරන්න ජනතාවගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි නිර්මාණය කළ යුතු නැද්ද? ”