Breaking News

වීසා ප්‍රශ්නය ගැන ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නවලු

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව රජය පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම කැබිනට් තීරණය අභියෝගයට ලක්කරමින් ප්‍රකාශ නිකුත් කරන්නන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය කටයුතු කරන බවයි.

මෙරටට පැමිණෙන විදේශිකයින්ට රටට ඇතුල්වීමේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය VFS Global සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතියෙන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඊට අදාළව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බවයි.

VFS Global සමාගම රටවල් 151ක වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 3388ක සේවා සපයන ලෝ ප්‍රකට සමාගමක් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට වීසා නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම විදේශිය සමාගමකට පවරා ඇතැයි පළවෙන වාර්තාවල පදනමක් නොමැති බවත් කැබිනට් මණ්ඩල තීරණය අභියෝගයකට ලක්කරමින් ප්‍රකාශ නිකුත් කරන හා ක්‍රියාකරන නිලධාරීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාවට එන සංචාරකයින් සඳහා රජය විසින් 2012 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබු ඔන්ලයින් වීසා පහසුකම මෙතෙක් අධීක්ෂණය කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින්.

නමුත් මැයි පළමුවැනිදා සිට එම කටයුතුවලින් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉවත්වී පෞද්ගලික සමාගමක් වෙත පවරා තිබුණා.

මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් මෙතෙක් අය නොකරනු ලැබු සේවා ගාස්තුවක් සහ පහසුකම් ගාස්තුවක්ද මෙම සමාගම හරහා වීසා ලබාදීමේදී අයකරනු ලබුවා.

කෙසේවෙතත් මැයි පළමුවැනිදා සවස 05 සිට පෞද්ගලික සමාගමේ නිලධාරීන්ට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිවීමෙන් දිගු පෝලිම් නිර්මාණය වූ අතර ඊට සංචාරකයින්ගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්.

පසුව අදාළ පෞද්ගලික සමාගමේ නිලධාරීන් වීසා නිකුත් කිරීම රාත්‍රී 11.30 ට පමණ තාවකාලිකව අත්හිටුවා මෙරට ආගමන විගමන නිලධාරීන් විසින් වීසා නිකුත් කිරීම ආරම්භ කරනු ලැබුවා.

මෙවැනි පසුබිමක වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගම් වෙත පවරා ඇතැයි කියන එම සමාගම් ඉන්දියාවේ කේන්ද්‍රගත හෝ ඉන්දීය සමාගම් නොව වෙනත් රටක් මූලස්ථානය කරගත් සමාගම් බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර පැවසුවා.

 

 

leave a reply