Breaking News

මැතිවරණය වෙනුවෙන් රු. බි. 1.8ක් වියදම් කළ හැකි කාටද?

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් ලෙස දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබීම සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබේ. බොහෝ පිරිසක් සඳහන් කරන්නේ මැතිවරණ කොමිසම නිත්යනුකුලවම මැතිවරණ දූෂණයන් සඳහා අනුමැතියන් ලබාදී ඇති බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැය කළ හැකි උපරිම සීමාව රුපියල් එකසිය අසූ හයකෝටි අසූ දෙලක්ෂ 98,586ක්. එනම් රු. බිලියන 1.8ක් පමණ මුදලකි.

ජනාධිපති අපේක්ෂකයෙකුට එම මුදලින් 60%ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නවලක්ෂ 79,151යි ශත 60ක මුදලක් සිය ප්‍රචාරක වියදම් ලෙස දැරීමට හැකියාව ඇති බව පැවසේ.

ඊට අමතරව, ඉතිරි 40% හෙවත් රුපියල් හැත්තෑහතර කෝටි හැත්තෑ තුන්ලක්ෂ 19,434යි ශත 40ක මුදලක් අපේක්ෂකයාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයෙකු නාමයෝජනා කළ ඡන්දහිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්.

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වේ.

අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එම වාර්තාව සැකසීමේදී ප්‍රචාරක වියදම් සඳහා මුදල් ලැබුණු ආකාරය, ඒවා වියදම් කළ ආකාරය පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් විය යුතු බවයි.

ඒ අනුව එහි ප්‍රචාරණ දැන්වීම්, අත්පත්‍රිකා, ධජ, පතාක, සිතුවම්, පෝස්ටර් ආදියේ වියදම් මෙන්ම ගුවන් විදුලි හෝ රූපවාහිනී ප්‍රචාර, සමාජ මාධ්‍ය, ඩිජිටල් පුවරු හෝ ඕනෑම ඩිජිටල් මාධ්‍යයක කරන ප්‍රචාරණ වියදම් මෙන්ම වාහන ධාවනයට ඉන්ධන සැපයීම ආදිය සඳහා ගෙවීම් සිදුකළේ ද නැද්ද යන්න තහවුරු කරන බිල්පත් කුවිතාන්සි, ගෙවීම් රහිතව ලබාගන්නේ නම් එම සේවාව ලබාදුන් තැනැත්තාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය ඇතුළත් කළ යුතුයි.

කෙසේ වෙතත්, අදාළ වාර්තාවේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රවාහන කටයුතු සඳහා සහ ලිපිද්‍රව්‍ය, දුරකථන හෝ වෙනත් ආකාරයක සන්නිවේදන කටයුතු සඳහා කරනු ලැබූ වියදම ඇතුළත් කළ යුතු වන්නේ නැහැ.

කෙසේවෙතත් මෙම සීමාවන් පිලිබඳ අදහස් දක්වන ඇතැම් පිරිස් පවසන්නේ මැතිවරණයක් වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව මෙතරම් වැඩි ප්‍රමාණයක් ලෙස දැක්වීම ප්‍රශ්නසහගත බවයි. මෙවැනි මුදලක් වියදම් කළ හැක්කේ සාමන්‍ය ජනතාව මත යැපෙන මැතිවරණ ව්‍යාපාරයකට නොව ධනවතුන් මත යැපෙන මැතිවරණ ව්‍යාපාරවලටයි.

එසේම ඇතැම් පිරිස් පවසන්නේ පසුගිය සමයේ පැවති මැතිවරණ ව්‍යාපාරවලට රු බිලියන 5 ඉක්මවා මුදල් වියදම් කර තිබූ බවයි.

මෙහි ඇති ගැටලුව වන්නේ සාමාන්‍ය ජනතාවගේ මුදලින් යැපෙන්නේ නැති මැතිවරණ ව්‍යාපාර සාමන්‍ය ජනතාව නියෝජනය කරයිද යන සැකයයි.

leave a reply