Breaking News

වසීලිස්සා – තක්ෂිලා වීරසේකර

වසීලිස්සා
පුංචි ගෙදරට මූණලා හිට ගත්තා…
යකඩ සපත්තු සීයක්,
යකඩ හැරමිටි සීයක්,
යකඩ තොප්පි සීයක්,
ඒ වෙද්දිත්
ගෙවිලා ගිහින් තිබුණා…

(කළුපාට අසරුවා ඈ අසලින්
වේගයෙන් දිව ගියා…)

ඇය,
බීරියෝසා ගස් ටික
රතු පාට පීත්ත පටියකින් බැන්ඳා…
මිනී ඔළු වැටටයි,
ගේට්ටුවේ අගුලටයි
පොල්තෙල් ටික ටික වත් කළා…
නපුරු බල්ලට මස් කටුවකුයි,
සැර පූසිට පාන් කෑල්ලකුයි දුන්නා…

වසීලිස්සලා කොහොමත් කරුණාවන්තයි..

(කොළපාට අසරුවා ඈ අසලින් හැල්මේ දිව ගියා…)

කැළේට පිටුපා,
කුකුළු කකුල උඩ හිටගත්තු පුංචි ගෙදරට,

පරෙස්සමින් ඇතුළු වුණා…
ලුචීන කෝටුවක් පත්තු කරලා,
අඳුරු ගෙදර
ආලෝකවත් කළෙත් ඈමයි…

(කහපාට අසරුවා දිව ගියේ නම් බොහොම හෙමින්…)

රතුපාට අසරුවා දිව යන වෙලාවෙම,
වංගෙඩියේ නැගලා,
මෝල්ගහෙන් වී කොට කොටා,
අහස කොස්සකින් අතුගාමින්
බබායිගා යකින්න
දර්ශනතලයට ආවා….

“ආපෝ…. මිනිස් ගඳයි,
මිනිස් ගඳයි,”
නහය හකුලාගත් බබයිගා යකින්න කීවා….

“ඔව් ඉතිං ආත්තම්මේ…
ඔයාට තමන්ගේ ගඳ
දැනෙන්නෙ නෑනෙ…”
වසීලිස්සා හෙමිහිට මිමිණුවා…
.
.
.
“එහෙම උත්තරයක් ස්ක්‍රිප්ට් එකේ තියනවද?”
(කවුරුත් බබායිගාට උත්තර දුන්නේ නෑ…)

“ස්ක්‍රිප්ට් එක හරියට පාඩම් කරගෙන එනවා… මොනවද මේ සපුරා වෙනස් දේවල් කියවන්නේ ?”

(රතු පාට අසරුවා ආයෙමත්
එතැනින් දිව ගියා…)

බබායිගා පුදුම වෙලා, වටපිට බැලුවා….

“ඒක,
වසීලිස්සාට දෙන වෝනින්ග් සයින් එකක් ආච්චි අම්මේ… ඔයා කලබල වෙන්න එපා… කරගෙන යන්න.”
වේදිකා පරිපාලක කිව්වා.

“ඉතිං මගේ ආදරණීය
ගෑණු ළමයෝ…… ඔහ්! ”
(රතුපාට අසරුවා ආයෙමත් එතැනින් හැල්මේ දිව්වා…)

“ඉතිං මගේ ආදරණීය
ගෑණු ළමයෝ….
යකඩ සපත්තු සීයක්,
යකඩ හැරමිටි සීයක්,
යකඩ තොප්පි සීයක්,
ගෙවිලා ගියාද?
මෙච්චර මහන්සියෙන්
ඔයා මෙහාට ආවෙ,
නොදන්නා රටට යන පාර
මගෙන් අහගන්න නේද?”
බබායිගා
දිලිසෙන ඇස් වලින් බලලා,
කපටි හිනාවකින් දත් විලිස්සුවා…

“නෑ….. නෑ…. බබායිගා ආත්තම්මේ… මම ආවේ, කොහෙත්ම එහෙම දේකට නම් නෙවෙයි. මං මේ මගේ නැති වෙච්ච සෙවනැල්ල සොයන ගමන්.”
වසීලිස්සා වහාම කිව්වා….
.
.
.
“මේ මොකද මේ ?
වැරදිම වැරදි දෙබස් කියන්නේ ?
මට ස්ක්‍රිප්ට් එක කටපාඩම්. ඔය ළමයට දැන් කියන්න තියෙන්නේ,
“අනේ ඔව් කරුණාවන්ත ආත්තම්මේ, මට පාර පෙන්වන්නකෝ…” කියන එකයි.
එතකොට මම කියනවා,
අපොයි, මගේ හොඳ ළමයෝ… ඒක බෝම සුළු දෙයක්නේ…
මං මීට ඉස්සර මෙහේ ආපු වසීලිස්සලා හැමෝටම,
හරි පාර පෙන්නලා දීලා තියනවා කියලා…
එතකොට,
ඔය ළමයා කියනවා……ආත්තම්…”

වසීලිස්සා බබායිගාට බාධා කරමින් වහා පිළිවදන් දුන්නා…
“ආත්තම්මට වැරදිලා… මං මගේ පිරිසිදු සෙවනැල්ල රෙදි වැලේ වනලයි තිබ්බේ… ආත්තම්මා ඒක හොරකම් කළා. වංගෙඩියේ දාගෙන අරන් යන ගමන්, මග දිගට ඒක තුවාල කළා, එහේ මෙහේ පටලවලා හොඳටම දුර්වර්ණ කළා… ඒක හොඳින් හෝ නරකින්, ආපහු ඉල්ලන් යන්නයි මම ආවේ…”

” මොකක් ? රිහසල් එකේදි යස අපූරුවට හිටි ඔය ළමයට දැන් මේ මොකෙක් වැහිලද ? ”
.
.
.
අළුත් අනුවාදයේ, ස්ක්‍රිප්ට් එක වෙනස් කරලද තියෙන්නේ?”
(බබායිගා, වේදිකා පරිපාලකට කඩන් පැන්නා…)

“ඔහොම යං, ඔහොම යං,
ආච්චි අම්මේ….
කලබල වෙන්න එපා!
ඔයාට තියෙන්නේ,
පරණ පුරුදු ස්ක්‍රිප්ට් එකම
කරන් යන්න… අපි ඔයාට ගෙවන්නෙ ඒකට.”
————————————–☘
මේ මොන විකාර අදහසක්ද කියලා ඔබට හිතේවි.
නමුත්,
මම මේ ලියූ සරල වේදිකා නාට්‍යයේ
යටි පෙළක් තියනවා.

සමාජය කියන්නේ, එක අතකින් ලස්සන දෙයක්. අනෙක් අතට, හලාහල විස ගුලාවක්. එහි අතරින් පතර සිටිය හැකියි, ඔබේ පිරිසිදු ජීවිතය අපිරිසිදු කරන “විස මිනිස්සු.”

ඔවුන් තමන් විසින්ම හෝ අනුන් ලවා හෝ ඔබට බරපතල ලෙස හානි කරන්න පුළුවන්.. ඇතැම්විට, ඔබට උදව් අවශ්‍ය අවස්ථාවක, විශාල උදව්වක් කරන බව හඟවමින්… තවත් විටෙක, සැබෑවටම කුඩා උදව්වකුත් කරමින්… ඔබේ විශ්වාසයත් දිනා ගනිමින්…
ඒත්,
එතන තියෙන්නේ, ලොකූ රඟපෑමක් කියලා තේරුම් ගන්න තරම් ඔබ පරිණත නැත්නම්,
අවදානමේ රතු එළි සහ සංඥාවන් ඔබට කියවා ගන්න බැරි නම්, කවදාක හෝ ඔබට ඉතිරි වෙන්නේ, මානසික පීඩාවක් විතරයි.

ඇයි ඔවුන් එසේ කරන්නේ? ඔබ ඔවුන්ට වරදක් කළ නිසාද? නෑ… ඔබ ඔවුන්ට අංශුමාත්‍ර වරදක් කරලා නැතත්, ඔවුන් එසේ කරනවා. ඒ, ඔවුන්ගේ අප්‍රසන්න පුරුද්ද… ඊර්ෂ්‍යාවත් එක්ක කැළැතුණු ඔවුන්ගේ නරක විනෝදාංශය… ඒ නරක පුරුද්ද හෝ විනෝදාංශය කවදාක හෝ ඔවුන්ට පවා නොදැනී, ඔවුන්ගේ ඇඟේම කොටසක් නැත්නම් චාරිත්‍රයක් බවට පත් වෙනවා.

ඕනෑම මනුෂ්‍යයෙක්ගේ අභිමානය කියන්නේ, වැලක වනලා තියන පිරුවටයක් වගේ දෙයක්. හැබැයි, ඒක සෑමවිටම අනාරක්ෂිතයි. ඕනෑම විනයක් නැති සතුරෙකුට පුළුවනි, ඒ පිරුවටය ඇදලා අරන්, තමන් කැමැති කැමැති ආකාරයේ මඩ පැල්ලම් එහි තවරන්න.
නමුත්,
ඔබ අහලා ඇති,
සිංහයෙකුට ගලක් වීසි කළාම, සිංහයා ඒ ගල දෙස නොව,
ගල ආ දිශාව දෙස බලන බව. ඔබත් ඔබේ ජීවිතයට ගලපාගත යුතු වටිනාම පණිවුඩයක් එතැන තිබෙනවා.

පිරුවටයේ මඩ දෙස බලනවාට වඩා ඔබට පහසු වේවි, කියන්නාගේ දෑත් දෙස බලන එක. එතකොට, පිටුපසට කර සඟවාගෙන සිටින, ඔවුන්ගේ ගඳගහන මඩ පනිට්ටුවත්, බතික් වෙච්ච අත් දෙකත්, ඔබට නොපෙනී තියෙන්න විදිහක් නෑ…

කෙනෙක්ගේ එවන් නරක පුරුද්දක්, චාරිත්‍රයක් බවට පත් වෙද්දී,
අවදිමත්, බුද්ධිමත් මනුෂ්‍යයකු කළ යුත්තේ, ඊට අනුගත වී ප්‍රතිචාර දැක්වීම නොවෙයි,
ඒ චක්‍රය
වහා බිඳ හෙළීමයි.

ආදරෙන්

leave a reply