Breaking News

බල්සාක් කැෆේ : ගින්දර වළඳන කන්දක, අන්ධ යාචකයා – (මංජුල වෙඩිවර්ධන)

මංජුල වෙඩිවර්ධන

මුතු ඇටය බංකොලොත් ම වී, රටවැසියා පීඩිතභාවයේ කරවටක් ගිලී සිටි සමය අවසන් වී ඇතුවා මෙන් පෙනේ.

මෙය ලියන්නට වාඩිවුණු මොහොතේ වට්සැප් පණිවිඩයක, මධුපැන් සාදයක පින්තූරයක අමුණා එවූ පන්තියේ මිතුරෙක් එහි කැප්ෂනය ලෙස ලියා එවා තිබුණේ ‘’මචං, දැන් අපායට ඉන්ටවල්. අපි බොනවා’’යනුවෙනි. මෙකී පන්තියේ මිත්‍රයා ධර්මසිරි බණ්ඩාරනායක හෙවත් ‘ධර්මසිරි අයියා’ පන්නයේ උත්ප්‍රාසය වර නඟන්නෙකි.

ධර්මසිරි අයියාට ඉතා මෑතක රනිල් වික්‍රමසිංහ අතින් සම්මානයක් ලැබුණු පින්තූරයක් ‘වට්සැප් මිතුරු ගොනු’ අතර එහෙ මෙහෙ සැරිසරමින් තිබියදී අපගේ ‘ස්මාර්ට් පඩංගුව’ මතට ද ඇද වැටිණ. ඒ විසල් කලාකරුවාට කෙරුණු උපහාස මෙන්ම අපහාස ද ඒ අතර දක්නට විය. එවන් විශාල මිනිසෙකුට අපහාස උපහාස කරන්නන් එසේ කරන්නේ තම තම නැණ පමණනි; තම තම අත්දැකීම් පමණිනි. මහා අරගලකරුවන් සාටක පල්ලේ වැටී කුප්‍රකට ප්‍රභූන්ගේ දෙපා ලෙවකන මහා භීෂණ වකවානුවල බරපතල මෙන්ම අභියෝගාත්මක නිර්මාණ කළ, එනිසාවෙන් ම මරණීය තර්ජන අඛන්ඩව අත්පත් කරගත්, එනමුත් පීඩිතයා වෙනුවෙන් කතා කිරීම නතර නොකළ ඔහු ගැන හොඳන් ම දන්නා අය, මෙකී සම්මාන පින්තූරයට ගැන කිසිඳු විවේචනයක් කර තිබෙනු දක්නට ලැබුණෙ නැත. හේතුව, ඔහු ගැන දන්නා බව ම විය හැකි ය.

ඔහුගේ ශාරීරික සහ මානසික ‘යථාව’ දන්නා අපට දැනුණේ මෙකී සම්මානය අතට ගෙන පානා හිනාවේ ළෙලදෙන්නේ ද සදය නොව නිර්දය උපහාසයක් ම බව ය.

කිරිබත් ‘රතුපාට’ කරගත් ජාතියක කොයියම්ම හෝ පාටක සිරගතවුණු නියෝජිතයන්ට එවන් සිනහවක ගැඹුරක් තේරුම් කරගන්නට තරම් විවේක බුද්ධියක් ඉතිරිව තිබෙන්නට විදිහක් නැත.

කිරිබත් මෙතනට සම්බන්ද වූයේ ‘ණය සතුට’ හින්දා ය. අන්ත හිඟමනට පත්ව සිටි මොහොතක ණයක් ලැබීම ප්‍රමෝධයට හේතුවක් නොවේ ද? ප්‍රමෝධය උස්මුරුත්තාවට ආ විට රතිඤ්ඤා පත්තු කරන, කිරිබත් කන සාඩම්බර ජාතියක කොටස්කරුවකු වීම ඒ ප්‍රමෝධය තීව්‍ර කරවන්නේ වෙයි. කිරිබත් සේ ම ධර්මසිරි අයියාද සිහිපත් වූයේ මෙකී ජාතික සාඩම්බරභාවය ගැන ඔහු කියූ කතාවක් සිහිපත් වීම හින්දා ය.

ඔහු කීවේ, අප නියෝජනය කරන්නේ, ජාතික ගීතයේ නිර්මාතෘවරයා, එකී ගීතය හින්දාම සියදිවි නසාගන්නට සැලැස්සූ තරම් සාඩම්බර ජාතියක් බව ය. වාග්ගේයක්කාර ආනන්ද සමරකෝන් සූරීන් පද ලියා සංගීතවත් කළ ‘නමෝ නමෝ මාතා’ ගීතය ඇරඹෙන ‘න’යන්න අපායක්ෂරයක් බවත්, එහි ආරම්භක ගණය අනිටු ගණයක් බවත් තර්ක කෙරුණේ එකල රාජ්‍ය නායකයන්ට උපදේශකත්වය සැපයූ මහ මොළකරුවන් විසිනි. නිර්මාතෘවරයාට සියදිවි නසාගන්නට සැලැස්සූ මෙකී ‘උත්තම ගීතය’ යළි මෙනෙහි වූයේ ‘නාටකීය ණය ප්‍රමෝධය’ මත යළි වරනඟා සමාජ මාධ්‍යයේ සංසරණය වූ පුනර්රචනා කැබැල්ලක් වට්සැප් මඟින් ම අපට ද ලැබුණ හින්දා ය. එය ශීර්ෂගත කර තිබුණේ ‘’කවුද අසමජ්ජාති පරයෙක් මුහුණු පොතේ මෙහෙමත් ලියලා තිබුණා’’ යනුවෙනි. රචනා කැබැල්ල මෙබඳු ය.

“ණය වේ අප විද්‍යා
ණයමය අප සත්‍යා

ණය වේ අප ශක්තී
ණය තුළ අප භක්තී

ණය අප ආලෝකේ
ණය වේ අනුප්‍රාණේ

ණය අප ජීවය වේ
අප මුක්තිය ණය වේ’’

කොලමකට තරමක් දීර්ඝ විය හැකි ඉහත හැඳින්වීම ලියැවුණේ නීච හා නින්දිත අයි.එම්.එෆ්. රතිඤ්ඤා නාදය ගිගුම් නැඟෙන අතරතුර ම, මහැඟි කාව්‍ය ග්‍රන්ථයක ‘කවි මුතු ඇටයක්’ ක්ලේමෝ බෝම්බයක් මෙන් හදවත තුළ පුපුරා යාම නිසා ය. කෘතිය ‘ගින්දර වළඳන කන්දක’ නම් වෙයි. නිර්මාපකයා, දේශපාලනිකව හිතන-පතන ලියන-කියන නලීන් එන් කාරියවසම් නම් තරුණ්‍යයෙන් ආඪ්‍ය කවියා ය.

මෙකී ‘මුතු ඇටය’ විසින් පුපුරා හළ හතවතේ කැබැලි බැබැලි පෙන්වාලන්නට පෙර කෘතිය නාමකරණයට ප්‍රස්තුත කරගත් කවිය කුමක් අරභයාදැයි සඳහන් කිරීම යුක්ති යුක්ත ය. කෘතියේ අවසන් කවිය ලෙස තබා ඇති ‘ෆූජියාමා ඔබ’ ලෙස ශීර්ෂ ගැන්වූ කවියේදී කවියා ජපානයේ ‘ජූජියාමා’ කන්ද සමඟ සංලාප සෙයියාවෙන් අන්තර්භාෂණයේ යෙදෙයි. එහි පපුතුරේ වන්නේ ගින්දර ය. කවියා ෆූජීයාමාවට අභිමුඛ කරන්නේ, සාධු නාදෙන් ගිගුම් ගැන්වෙනා, දනන් සිත් අලවනා – සනහනා, උතුම්වූත්, අසිරිමත්වූත් පින් පොදින් නැහැවෙනා තමන්ගේ රටතුළ ‘උතුම්’ වන කන්දකි. ‘ගිනි කන්දේ පිළිතුර’ තුළ කවියා උත්ප්‍රාසයට නඟමින් පිළිබිඹු කරන්නේ සමකාලීන ශ්‍රී ලංකාවයි.

නලීන් එන් කාරයවසම්ගේ කාව්‍ය ව්‍යාපාරය, සමාජයේ අධිනිෂ්චය වී ඇති දෘෂ්ටිවාද, විසංයෝජනය කර, අලුත් දෘෂ්ටිවාදි ප්‍රවේශ සංයෝජනය කර පෙන්වයි. ස්ත්‍රීය, පරිසරය, ජීවිතය, අධ්‍යාත්මය ගැන තමන්ට අනන්‍ය වූ යෝජනාවලියක් ඔහු සතුව තිබේ. ඔහුගෙ කවිය බහුෂාබ්දික ය; බහුභාෂික ය; සංදිග්තාවෙන් යුක්ත ය. ව්‍යුහ සංචරයේ පවා ඔහු අතිශය සවිඥානික ය.

බරපතල නිර්මාණයක් විඳීම නම් ක්‍රියාවලියෙදී, අප තුළ පහළ වන අන්තර්ඥානය අප තුළම පරිසමාප්තියට පත්වන්නට එකී නිර්මාණය අපට ඉඩ දෙන්නෙ නැත. එහි නිර්මාණාත්ම ගුණය වන්නේ ම මෙකී ස්භාවය ම ය.

ඉතා රමනීය මෙන් ම බරපතල දේශපාලන අධ්‍යාශයක් සහිතව ලියැවුණු අප කැමති කවි රැසකින් සමන්විත ‘ගින්දර වළඳන කන්දක’ කෘතියේ අප පෙර කී කවි ‘මුතු ඇටය’ ඔහු නම් කර ඇත්තේ ‘අන්ධ යාචකයා’ නමිනි. කවිය මෙපමණකි.

‘’මම සිනාසුණා
ඔහු සිනාසුණා’’

මේ නම් අනාගත වක්තෘවරයකු මෙන් ‘පෙර දුටු’, කියවන්නා ‘අන්ධභූත’ කරවන කවියකි. අපට අනුව නම්, අන්ධ යාචකයා යනු කවි තිහකින් සමන්විත ‘ගින්දර වළඳන කන්දක’ කෘතියේ සමස්ථය කේන්ද්‍රගත වන තැන ය. සමස්ථය යන්න, සැබැවින් ම නම්, කෘතියේ කවි ඉක්මවා ධ්වනි නැංවෙන ඔහුගේ දෘෂ්ටිවාදයයි; ඔහු වර නඟන ඔහුගේ මතවාද පද්ධතිය යි.

මෙහි අන්ධයා යනු කවරෙක් ද? ජාත්‍යන්තරයට ඔසවා තැබිය යුතු කවියන්, ප්‍රාදේශිය සභා මැතිවරණ ලැයිස්තු නියෝජනය කරන තරමට ‘ඔසවා’ තබන කලෙක ලියැවෙන ‘සමස්ථ කවිය’ වෙන්නට බැරිද?

නලීන් මෙම ‘මුතු ඇටය’ ස්ථානගත කරනුයේ අතිශය විශාල පරාසයක ය. අන්ධභාවය යනු අන්ධ නැති කමම යැයි වරනඟා ගන්නට ද බැරි කමක් නැත. නො පෙනීම යනු ම පෙනීම ම ය. පෙනීම යනු ම නො පෙනීම ම ය. මෙවන් ව්‍යුක්ත දාර්ශනික විකාරවලින් මිදී ප්‍රවනතාමය කවියක් ලෙස ගෙන ‘අන්ධ යාචකයා’ කියවා ගැනීම යෙහෙකි වන්නේ, සමකාලීන දේශපාලන සන්දර්භය තුළ සංයුක්තව තබා, රතිඤ්ඤා හඬ විඳිමින්, කිරිබත් රස බලන අතරේ කියවා ගැනීම හරහා එය වඩාලාත් ගැඹුරින් විඳගත හැකි බැවිනි.

මෙහි ‘ඔහු’ සහ ‘මම’ වන්නෝ කවරහු ද? ‘ඔහු’ යනු යාචකයා ද, නොඑසේ නම් යාචකයා අභියස සිටින්නා ද? ‘’මම’ යනු යාචකයා ද, නො එසේ නම් ඔහු අභියස සිටින්නා ද? දෙදෙනාගේ හිනාවන් වර නඟන්නේ කවර අරුතක් ද? හිනාවන් දෙකේ සහසම්බන්දය කුමක්ද? ප්‍රවනාතාමය ලෙස කෙතරම් සංයුක්ත සන්දර්භයකට අරගත්ත ද කවියක් ධ්වනි නැංවෙන පරිමාව සීමා කරලන්නට බැරි ය. නිතැතින් ම යළි දාර්ශනික සංදර්භයට අවතීර්ණ වෙයි. ප්‍රශ්න වර නැඟෙයි. හිනාවන් දෙකේ සම්බන්ධය සම්බන්ධයක් නැතිකම ද? සම්බන්ධයක් නැති කමම, පවතින සම්බන්දය ලෙස විග්‍රහ කර ගන්නට නොහැකි ද? එබැවින් යළි, සම්බන්ධයක් නැති කම සම්බන්ධයක් තිබීම හා පර්යාය වෙයි.

දෙපස සිටින්නා කවරෙක් වුව ‘මූ බොරුවක් කරන්නෙ’ කියා සිතෙන විට මතු වෙන හිනාවක් වන්නට ද පුළුවන. අන්ධබව මෙන් ම, අන්ධයාට කීයක් හරි දීම යන්න දෙකටම අදාල ය. කොහේ හෝ ගුබ්බෑයමක මීට කලින් දැක ඇතැයි සිතීම නිසා හිනාව මතුවන්ට ද ඉඩ ඇත. ඇත්තම අන්ධයෙක් නම් ටින් එකට කාසියක් වැටුණු හඬ ඇසීමෙන් ඇතිවුණු හිනාවක් වන්නට ද පිළිවන. කාසියකට කල හැකි මළඉලවව්ක් නැතියෙන් මතුවුණු හිනාවක් වන්නට ද පිළිවන.

අනෙකාගේ හිනාව යාචකයාගේ හිනාව වැරදියට තේරුම් ගත්තෙන් මතුවුණු කූඨක හිනාවක් වන්නට ද පිළිවන. අන්ධ යාචකයාගේ හිනාව, ඔහු අබියස සිටින්නාගේ කූඨක හිනාව නොදැක ම මතුවුණු අසරණ හිනාවක් වන්නට ද පිළිවන. ඇතැම්විට මේ හිනාවන් දෙකම මෙගා ටෙලියක රූපරාමුවක පෙනෙන කලින් සැළසුම් කළ, පෙර පුහුණුවීම පවා සිදුකළ සිනාවන් වීමට පවා නොහැකියාවක් නැත. හිනාවන් ගැන කෙළවරක් නැතිව අපට ද හිනා යන්නට පටන් ගෙන තිබේ. ඒවා තරමක් වියරු හිනාවන් බව හිඟන්නාට ද, ඔහු අබියස සිටින්නාටද පෙනී යන්නට ඉඩ තිබේ. ඊට කුමක් කරන්න ද?

මධු සාදය අවසන්වූ කල, පන්තියේ මිතුරා කිසියම් නුදුරු මොහොතක වට්සැප් හරහා ම හිස් බෝතල්, බිඳුණු වීදුරු, ෆිල්ටර පිටාර ගලන අළුබඳුන්, හිස් අවුළුපත් පළඟාන සහිත පින්තූරයක් එවන්නට බොහෝ සෙයින් ඉඩ ඇත.

එහි කැප්ෂනය කලින්ම ලියා තැබීම යෙහෙකි ය.

‘මචං, අපායෙ ඉන්ටවල් ඉවරයි’’

 

මංජුල වෙඩිවර්ධන

leave a reply