Breaking News

කවි යනු පරිවර්තනය කළ හැකි නිර්මාණ වෙසෙසක් ද?

ජාන්නි රොදාරි නමැති කවියෙකු ඉතාලියේ විසූ වග අප දැන ගත්තේ හිල්මි-තරූෂ පිය පුතු දෙපලගෙනි.ෂෙලීලා එලියට්ලා පුෂ්කින්ලා නෙරූඩලා බැෂෝලා කමලාදාස්ලා පිළිබදව එහෙන් මෙහෙන් හෝ අසා දැන සිටියද ඉතාලිකරයේ උපන් කවියෙකු පිළිබදව,විශේෂයෙන්ම ඉතාලිය වන් ධනේෂ්වර රාජ්‍යයක සිට සමාජවාදය අරභයා භක්තියකින් ලියූ කවියෙකු පිළිබදව අප ආරංචි මාත්‍රයකින්වත් දැන සිටියේ නැත.

කොහොමටත් විදෙස් පරිවර්තන සම්බන්ධයෙන් විශේෂිත ආලයක් සිංහල පාඨක සමූහයා තුළ වෙතත් ඒ ගද්‍ය සාහිත්‍යය කෙරෙහිය.පද්‍ය පරිවර්තන හෝ විදෙස් කවි කිවිඳියන් පිළිබදව අපේ රසිකත්වය සහ රුචිකත්වය තාගෝර්ලාගෙන්,සරෝජිනී නායිදුගෙන් එපිටට වර්ධනය වී ඇත්තේ මඳ වශයෙනි.තාගෝර්තුමා හෝ සරෝජිනී නායිඳු වුව අපට වඩාත් සමීප යැයි හැඟෙන්නේ අප ඒ විශිෂ්ඨයන් ගේ කවි සයුර පරතෙර තෙක් තරණය කොට ඇති නිසා නොව මහගම සේකරයන් වැන්නන් අතින් අනුවර්තිත “එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන” හෝ “සන්නාලියනේ” වැනි ගීත නිසාය.

පරාක්‍රම කොඩිතුවක්කු වැනි කවියෙක් විදෙස් කවි කිවිඳියන් අප ගේ කොදෙව්වට ගොඩ බැස්ස වීමේ දූත මෙහෙවරෙහි දීර්ඝ කාලයක් තිස්සේ අනලස්ව නිරතව ඇතත් සිංහල පාඨකයන් ඔවුන් මොන විදියේ උද්යෝගයකින් පිලිගෙන තිබේදැයි යන්න විවාදයට කරුණකි.වඩා ප්‍රගතිශීලී සහ කලාත්මක වශයෙන් අනූන විදෙස් කවියක් වුවද අපගේ කොදෙව්ව තුළ එබඳු ඉරණමකට ගොදුරු වී ඇති බවට සාධක සහ සාක්ෂි සුප්‍රකටව පෙනෙන්නට වීම නව කාව්‍ය පරිවර්තකයෙක් දුර්මුඛ කරන්නට ද හේතුවක් විය හැකිය.ඒ සන්දර්භය තුළ තබා විග්‍රහ කර ගනිද්දී විදෙස් කාව්‍ය පරිවර්තනයකට කෙනෙකු අත ගැසීම වනාහී ජනප්‍රිය කටයුත්තක් නොවේ.ඉනුත් මෙවන් යුගයකදී සමාජවාදී අභිලාෂ සහ ප්‍රාර්ථනා දරාගත් කවියක් පරිවර්තනය කිරීම රසික බලමුළු පිරිවරන්නට හේතුවක් නොවේ.ඒ ජනප්‍රිය නොවන වෑයම වෙනුවෙන් හිල්මිටත්-තරූෂටත් අප පළමුව කෘතඥ විය යුතුය.

සමාජ සත්තා යථාර්තවාදය.

මජිකාමේන්තේ සමාජ සත්තා යථාර්තවාදයේ නිසැක දිගුවකි.ලංකාවේ දී නම් එය ප්‍රකටවම ජනතාවාදයට නෑකම් කියන්නකි.මේ සාහිත්‍යය ෂානරය පිළිබදව නිරන්තරයෙන්ම පැන නැගුණු විවේචනය නම් එය හුදු ප්‍රචාරකවාදයම අරමුණු කොට ගත්තක් බවය.මිනිස් ජීවිතය සහ ලෝකය ගැඹුරු විමසුමකට හසු කරගන්නවාට වඩා එය යුතෝපියානු පරමාදර්ශ නිමැ වූ බව ද කියැවේ.

අප ප්‍රකටවම දන්නා මේ වර්ගයේ කෘති අයත් වනුයේ සෝවියට් සාහිත්‍යය ට ය.ඉනුත් වැඩිපුරම ජනප්‍රිය වී ඇත්තේ ගෝර්කිගෙන් ඇරඹී අයිත්මාතව් දක්වා වූ පරපුරය.නමුත් අයිත්මාතව්ලා ගේ යුගයෙන් පසුවද සෝවියට් සාහිත්‍යකරුවන් සමාජවාදයේ චිර උන්නතිය පිණිස ලියූ කියූ බව මෑතකදී අප දැනගත්තේ මහින්ද සෙනරත් ගමගේ වැනි පරිවර්තකයෙකු ගෙනි.අයිත්මාතව්ලා ට විෂය වූයේ පූර්ව දෙවන ලෝක සංග්‍රාමය සහ ඒ ආසන්න දවස් නම් මහින්ද සෙනරත් සොයුරා විසින් අපට හදුන්වා දෙමින් සිටින සාහිත්‍යය නියෝජනය කරන්නේ හැටේ දශකයේ සහ හැත්තෑව දශකයේ සෝවියට් රුච්කත්වයයි.

මේ පරපුර නියෝජනය කළෝහු නම් ලසාර් ලගීන්,නිකෝලා නෝසොව්,රසුල් ගම්සොටොව්,නෝඩාර් දුම්බාඩ්සේ,ඇල්බට් ලිහනෝව් වැන්නන්ය.(මේ ලැයිස්තුව තවත් දිගු ය.)

මේ සාහිත්‍යය ෂානරය අරභයා කෙනෙකු ගේ විවේචනය කවරක් වුවත් එහි ලා කැපී පෙනෙන වෙනත් කරුණක් තිබේ.වඩා යහපත් සමාජයක් උදෙසා වූ අප ගේ අනවරත ආශාව කිසිදා නොසන්සිදෙන්නකි.ජීවිතය සහ ලෝකය පිළිබදව ආන්න ඒ සර්ව සුබ වාදය සෝවියට් සාහිත්‍යයෙහි අනන්‍ය හැඩයකි.එය විසින් නිෂ්ක්‍රීය බවේ නරුමවාදය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවට වැඩ කිරීමේ උදාරත්වයත්,,සාමුහිකත්වයේ අනුරාගයත් උත්කර්ෂයට නංවනු ලබයි.එය වඩාත් කැපී පෙනෙන්නේ අයිත්මාතව්ලා ගෙන් පසු පරපුර සෝවියට් සමූහාණ්ඩුවේ සිට එබදු සාහිත්‍යමය වීරත්වයන් ගොඩ නංවද්දී අප විසින් වීරත්වයට පත් කරමින් තිබුනේ “විරාගයේ අරවින්ද ලා “සහ “සෙවණැල්ලේ ජිනදාස ලා”වැන්නන්ය.සෝවියට් සාහිත්‍යය උද්යෝගීමත් සහ අධිෂ්ඨානපූර්වක වීරවරයෙකු අපට සම්මුඛ කළා වුව ද සාහිත්‍යයෙහි අනිවාර්යතාවයක් වන මිනිස් ජීවිතය සහ ලෝකය ගැඹුරින් විවරණය කිරීමේ අභිලාෂය මග නොහරී.සත්තකින්ම අයිත්මාතව් ගේ ගුරු ගීතයේ පටන් හැත්තෑව දශකය දක්වා දිග ඇදුණු සෝවියට් සාහිත්‍යය එහි විවේචකයන්ට එදිරිව යමින් සෝවියට් සමාජවාදයේම අඩුපාඩුවලට අත දිග හැර කම්මුලට ගසන වාර බොහෝය.ඇතැම් විට ඇණුම් පද කියමින් ද ඇතැම් විට කොලොප්පන් කරම්න් ද ළග ළග ම එළඹීමට නියමිත විනාශය පිළිබදව අනතුරු අඟවයි.ස්ටැලින්වාදයේ කණ මිරිකා ටොකු අනී.සෝවියට් සාහිත්‍යයේ මේ කොටස කෙනෙකුට හසු වන්නේ ඉසියුම් කියවීම් ඇසුරක දී මිස පිටකවරය පමණක් බැලීමෙන් නොවේ.

සෝවියට් සාහිත්‍යය පිළිබදව කලකට පසු ආවර්ජනය කරන්නට සිදු වූයේ හිල්මිත් තරූෂත් විසින් අප ගේ පුස්තකාල කාමරයට ජාන් රොදාරි කැඳවා ගෙන ඇවිත් ඇති බැවිනි.

සමාජ සත්තා යථාර්තවාදය විසින් ප්‍රචලිත කෘතීන් තුළ පරමත්වයට ඔසවා ඇත්තේ සකලාකාරයේ අයහපතට සහ නපුරට එරෙහි ප්‍රතිවිරෝධයේ පරමාදර්ශයයි.එය අසාධාරණයට එරෙහිව සාධාරණත්වයත්,අයුක්තියට එරෙහිව යුක්තියත්,පීඩාව ට එරෙහිව විමුක්තියත් යෝජනා කරන්නකි.සාහිත්‍යය ට අදාළව අප ගේ මිනුම් දඬු කවරාකාරයෙන් විෂම වුවත් මනුෂ්‍ය ජීවිතය හා එය දරා සිටින ශිෂ්ඨාචාරය පිළිබදව වූ සුබවාදී ප්‍රාර්ථනාව අප කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කරන්නට නොහැකිය.නමුත් නව ලිබරල් ධනවාදය ලෝක පරිමාණයෙන් ගත් කල වුව ද මොනතරම් සැහැසි ද යත් අප ගේ සියලු උස් ප්‍රාර්ථනාවන් හුදු ෆැන්ටසීන් බවට පිරි හෙලා තිබේ.එය වඩාත් පැහැදිලි කරන්නේ නම් අප වෙසෙන ධනවාදී ලෝකය සියලු දුෂ්ටත්වයන් සාමාන්‍යකරණය ⁣කොට තිබේ.ඊට අනුව අයුක්තිය සහ අසාධාරණය යථාර්තය වන විට සාධාරණය සහ යුක්තිය හුදු ෆැන්ටසියකි.එනම් එය කවර කලෙකවත් (ලෝක විනාශය දක්වා වුව ද) අත් කර ගත නොහැකි තත්වයකි.ඒ වෙනුවෙන් සටන් වැදීම නිරර්ථක ක්‍රියාවක් වන විට එවැන්නක් පිළිබදව ප්‍රාර්ථනා දරා සිටීම මනෝ විකාරයකි.ධනවාදය එහි සියලු සූක්ෂ්ම මෙවලම් භාවිතා කරමින් ඒත්තු ගන්වමින් ඇත්තේ පවත්නා මොහොත මොනතරම් ව්‍යසනකාරී වුවත් එය ජීවිතය ලෙස බාරගන්නා ලෙස ය.

හිල්මිත් තරූෂත් ජාන් රොදාරි අප හමුවට පමුණුවන විට ඉහත කී සන්දර්භය අත්‍යවශ්‍යය පූර්විකාවක් වන්නේ රොදාරි විසින් ලෝකය පිළිබදව ෆැන්ටසියක් අපට යෝජනා කරන නිසා ය.ෆැන්ටසියම යථාර්තයක් බවට පත් කර ගැනීමේ මුරණ්ඩු ආශාව විසින් රොදාරි විප්ලවීය කවියෙකු බවට පත් කරන අයුරු සිත්කළු ය.කළ නොහැකි දේ කළ හැකි යැයි සිතන මොහොතේම කෙනෙකු ගේ විප්ලවීය භාවිතය අවදිවන බව අප දැනටමත් දන්නා සත්‍යයකි.

ලෝකය තනි යායක් විය යුතු යැයි පතන කොමියුනිස්ට් චින්තනයෙන් ඔහුගේ කවිය ප්‍රභාමත් වේ.පර්චස් කීපයකට වුව ද යුධ වැදී ගන්නා යුගයක අහස සේ නොබෙදුණු විශ්වයක් පිළිබදව පරිකල්පනය කළ හැක්කේ ධනවාදය ට අනුව නම් උන්මත්තකයෙකු ට ය.නැත්නම් කවියෙකු ට ය.

ඉතින් මට කියා දෙන්න
ගද්‍යයෙන් හෝ පද්‍යයෙන්
අහස තනි යායක් ව පවතිද්දි
මහපොළොව කැබලි වූයේ මන්ද?

ලංකාවේ දී නම් මහගම සේකර පරිකල්පනය කළ එවන් උදාර සිහිනාශාවක් උත්තරාර්ධ ගෝලයේ සීතල දේශය ක දී රොදාරි ද පරිකල්පනය කිරීම මොනතරම් අපූර්ව ද?

රොදාරි දුටුවේ ලෝකය තනි යායක් වීම පිළිබදව සිහිනය පමණක් ම නොවේ.ඊටත් එහා ගිය සිහින ඔහු දුටුවේය.එවන් සිහින ඔහු ළමුන් උදෙසා කවියට නැගූ බැවින් චමත්කාරයෙන් පිරී ගොසිනි.බඩගින්නෙන් තොර ලෝකයක් පිළිබදව සිහිනයක් රොදාරි ට විය.එවන් සිහින දුටු එකම කවියා ද රොදාරි නොවන වග ඇත්ත ය.ලෝකයේ කොහේ හෝ තැනක දරුවෙකු කුසගින්නේ මිය යා නම් මුළු ලෝකයම අසුරු සැණෙකින් විනාශ කළ යුතු යැයි ඉතා ආවේගශීලී ලෙස පැවසූ කවියන් ද විය.ගම් නියම් ගම් සිසාරා බඩගින්න බෝ වූ යුගයක් ඉතාලිය සිය ඉතිහාසයේ දී පසු කොට පැමිණියේය.ඒ දෙවන ලෝක යුද්ධ කා⁣ලයේ දී ය.එවන් යුගයක ඉන්ද්‍රජාලික පාන් ගෙඩියක් පිළිබදව පොඩි උන් තුළ මෙවන් සිහින කොතෙකුත් තිබෙන්නට ඇත.

මං බේකරි කරුවෙකු නමි
කැමතියි පුළුස්සන්න පාන් ගෙඩියක්
කුසගිනි නිවන්න
කුසට අහරක් නැති
සියලු මිනිසුන් වෙනුවෙන්

එය පාන් ගෙඩියකි ඉරටත් වඩා සුවිසල්
දිදුලමින් එය සුවද පතුරයි සේම වයලට් මල්…

එවන් බඩගින්නකින් තොර දිනයක් ඉතිහාසයේ සුන්දරම දිනය වනු ඇතැයි රොදාරි ලියන විට එය අතිශයෝක්තියක් නොවන්නේ බඩගින්නෙන් නිති දැවෙන ලෝකයක් ඔහු නිති අත් දුටු නිසා ය.

ලෝකයට අවශ්‍ය සන්තුෂ්ටිය ය.ආදරය ය.ආතතිය හෝ පීඩාව නොවේ.කවියෙකු සඳ මතට යැව්ය යුතු යැයි රොදාරි යෝජනා කරන විට ඉන් ධ්වනිත වන්නේ ආදරයම මිස අන්කවරක් ද?

කරුණාකර සද මතට
ජනරාල්වරයෙකු යැවීමෙන් වළකින්න
ඔහු සද මත බැරැක්ක ඉදි කරාවි
හොරණෑ ද කෝප්‍රල්වරුන් ද කැඳවාවි

රොදාරි ගේ කවිවල එන යුධ විරෝධය වනාහී යුද්ධයේ ආදීනව සියැසින් දැක ගැනීම නිසාම උපන්නකි.එය ඔහු පිළිබදව මජිකාමේන්තේ කෘතිය තුළ අඩංගු ජීවන තොරතුරු ඇසුරින් ද සනාථ වේ.දෙවන ලෝක යුද්ධය අළළා ලියැවී ඇති නවකතා,නිම වී ඇති චිත්‍රපට කියවා නරඹා ඇති කෙනෙකුට වුව ද යුද්ධයේ ජයග්‍රහණයක් නොමැති බව පැහැදිලි වෙද්දී ඊට සජීවී ව සම්බන්ධ වූ රොදාරි වන් හදැත්තෙකුට කෙසේ දැනෙන්නට ඇත් ද?

අනෙක් අතට දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු අවදිය යනු ලෝකය කෙමෙන් සාන්දෲෂ්ටිකවාදයකට යට වෙමින් ගිය කාලයකි.එවන් යුගයක නරුම බවට අලස බවට සහ නිෂ්ක්‍රීය වීමට ඇත්තේ වැඩි ඉඩකි.ඊට එදිරිව ශ්‍රමශක්තිය උදාරත්වයට නැංවීම යුග අවශ්‍යතාවයක් වූ බව පැහැදිලිය.ඒ වගකීම රොදාරි අතින් මග නො හැරේ.

මං හදුනනවා කමිකරුවන් වෙතින්
හමනා ගද සුවද
කුළු බඩු වෙළෙදුන් වෙතින් එන්නේ
සාදික්කා සුවදයි
කාර්මිකයන් ගේ ඇදුම තෙල් ගදයි
බක්කරේ ලග පිටි සුවදයි.

ටිකක් අමුතුයි කම්මැලියන් ළග
කිසිවක් ම නොදැනුනත් පොඩි ගදක් එයි

අප නැවතත් අමතක නොකළ යුත්තේ රොදාරි මේ කවි ලියා ඇත්තේ දරුවන්ට බවය.එ නිසාම මේවායෙහි කාව්‍යමය චමත්කාරයට සමාන්තරව විහිදී ගිය ශිෂ්ටකරණ ව්‍යාපෘතියක් අඩංගු වීම අනිවාර්යතාවයකි.

එහෙත් පරිවර්තනයේ ලා ප්‍රවීනයෙකු ට වුවද මග හැර යා නොහැකි දූෂ්කර අභියෝගයකට මේ පිය පුතු ආධුනික දෙපල මුහුණ පා ඇති බව නොලියා නොහැකිය.රොදාරි ගේ විශිෂ්ඨ අදහස්,⁣රොදාරි ගේ දේශපාලනික රොමැන්තිකය අඩුවක් පාඩුවක් නැතුව පරිවර්තනය වී ඇත ද ඒ අදහස්මය වශයෙන් පමණි.කවියක් විසින් ඉල්ලා සිටින රමණීය රිද්ම අලංකාර දෙදෙනා අතින් ගිලිහී යෑම උෘණතාවයකි.මෙය පොත එළි දැක් වූ දා ද සාකච්ඡාවට ලක් වූ කරුණකි.අනෙක් අතට එය හිල්මිටත් තරුෂටත් ආවේණක දුබලකමක් නොව කාව්‍ය පරිවර්තනයේ ලා කිසි සේත් මග හැර යා නොහැකි අවාසනාවකි.

සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුල රිය සක යුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරගන
ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවඟන

මෙබද්‍ර කවියක් රස නොනසා වෙනත් භාෂාවකට පරිවර්තනය කළ හැකි ජගතා කවුද?ඇතැම් විට ගද්‍ය පරිවර්තන ජනප්‍රිය වෙද්දී පද්‍ය පරිවර්තන අඩු අවධානයකට ලක් වන්නේ මේ ඓන්ද්‍රීය දුබලකම නිසා විය හැකිය.මෑතකදී ලක්ෂාන්ත අතුකෝරළ විසින් පරිවර්තිත කමලා දාස් ගේ කවි එකතුව තුළ (සිපුම්,සීරුම්,කෙනිත්තුම්) මේ අභියෝගය නිර්මාණාත්මකව ජය ගෙන තිබුණි.

සිය අනාගත පරිවර්තන කාර්යයන් හි දී හිල්මිත් තරූෂත් මේ පිළිබදව අවධානය යොමු කිරීම මැනවැයි සිතේ.

මන්ද යත් සියලු ව්‍යසන යථාර්තයයි සිතමින් ලතැවෙන,ඊට එරෙහිව කෙඳිරිල්ලක් පවා නගන්නට මැලිවන නව ලිබරල් ධනේෂ්වර කොදෙව්වකට රොදාරි ලා ගේ ෆැන්ටසිය වඩ වඩාත් අභිමුඛ කළ යුතු බැවිනි.

 

leave a reply