මේ මොහොතේ ලද විරාමයේදී අප්‍රිකානු ලේඛක ජේ. එම් කොඑට්සිගේ විශ්ව ප්‍රසාදයට ලක්වූ “ම්ලේච්ඡයෝ එනතුරු” කෘතිය කියවමින් සිටිමි. එහි පලමු පරිච්ඡේදයේ දැක්වෙන පරිදි ශිෂ්ඨයැයි තමන්ම හඳුන්වාගන්නා සුදු පාලකයින් අශිෂ්ඨ යැයි සලකන කලු ජාතිකයන් කෙරෙහි ඉමහත් බියකින් පෙලෙයි. එනිසාම අහිංසක කල්ලන්ට පවා දරුණු වද හිංසන පමුනුවයි. ඒ තමන් ගෙවමින් සිටින සාපේක්ෂ වරප්‍රසාදිත ජීවිත කල්ලන් කැරලිගසා අර්බූදයට යවතැයි සිතන පෙලඹීම තුලය. එම පටු සිතීම තුල අශිෂ්ඨයන්ගේ ජීවිත මෙන්ම ඔවුන්ගේ නිදහස ශිෂ්ඨයන්ට අධාලම නැත.
ඇඳිරි නීතිය පවත්නා මොහොතේ පාරට පැමිණි ජනයාට ඉන්දීය පොලිසිය මනුෂ්‍යත්වයට නිගරු දෙන අයුරින් පහර දෙනු මේ දිනවල මෙරට රූපවාහිනී නාලිකා තුල නිතර පෙන්වයි. එම නාලිකා එලෙස පෙන්වා ආන්ඩුවට හඟවන්නේ මෙරටද එසේ කරන ලෙසය. මේ පිළිබඳව විවේචනයක් සහිතව දමූ පෝස්ටුවකට අදහස් දක්වමින් මා මිත්‍රයකු සඳහන්කර තිබුනේ මේහොතේ පාරට එනවුන්ට වෙඩි තැබිය යුතු බවයි.
ඊට දින කිහිපයකට පෙර ඇඳිරි නීතිය දැමවද එම නිසා එදාවේල සොයාගත නොහැකි අයට සහන සලසන වැඩපිළිවෙලක් ආණ්ඩුව සැලසිය යුතුබව තවත් පෝස්ට්ටුවකින් කියා සිටිද්දී පෙර සඳහන්කල මිත්‍රයා විමසා සිටියේ හැම එකක්ම ආණ්ඩුව නිකං දියයුත්තේ ඇයිද කියාය. මේ මිත්‍රයා මේවනවිට සාපේක්ෂ ඉහල වැටුපක් ලබන රැකියාවක නිරතවෙමින් සාපේක්ෂ පහසු ජීවිතයක් ගතකරන්නෙකි. එහෙත් ඔහු විශ්වවිද්‍යාලය තුල සිටින විටත් ඔහුගේ පියා ත්‍රීරෝද රථයක් හයර් කරමින් ජීවිකාවේ යෙදුණි. අප මිත්‍රයා එකල අපටත් වඩා අරපරෙස්සමින් මහපොළින් යැපුන බව මතකය.
ඉතින් ත්‍රී රෝද රථ හයර් කරන්නන් වැනි එදා වේල හොයාගන්නන්ගේ තත්වය තම ජීවිත අත්දැකීම් තුලින්ම දැනදැනත් මේ මොහොතේ එවැනි මිනිසුන්ට කුමක්වුවත්, මරාදැමුවත් කම් නැතැයි ඔහු සිතන්නේ ඇයි?
තත්වයන් විසින් ජීවිතය නැතිනම් අදහස් තීරණය කරන බව කාල් මාක්ස් සඳහන් කලේ මීට අවුරුදු 170වකටත් පෙරය. අප මිත්‍රයා පමනක් නොව එම මැද පංති කොටසේ බොහෝ දෙනෙකු මේ මොහොතේ සිතන්නේ එලෙසිනි. එම සිතීම මැද පංතියේ අසරණකම තුල පැනනගින ස්වාර්ථයට තල්ලුවූ සිතීමය. සමාජමය වශයෙන් පටු පෞද්ගලිකත්වයේ හුදකලාබාවයට වැඩියෙන්ම ගාල්කර ඇත්තේ මෙම පංති කොටසය. ධනපති පංතියේ පරමාදර්ශ වැඩිවැඩියෙන් හඹායන සිහින තුල ආතතියෙන් පෙලෙන්නන් බොහෝ සිටින්නේ මේ පංති කොටස තුලය.
තමන් මේවන විට ගෙවන සාපේක්ෂ පහසු ජීවිත මෙන්ම අධික බරකින් යුත් තම සිහින අභියෝගයට ලක්වී තනි තනිව අර්බූදයට ලක්වී සිටින මොහොතක ඔවුන්ට අනුව අශිෂ්ඨ පහල පාංතික ජනතාවගේ ක්‍රියාකලාපයන් නිසා අර්බූදය වැඩිවන බව ඔවුන් සිතමින් භීතියට පත්වෙති. ඵම භීතිය සමග එන අසරණකම තුල වැඩි වැඩියෙන් මිත්‍යාවන්ගේ සරණ සොයති. තම පවුල හැර අන් සියලු දෙනාම ආසාදිතයන් යැයි සිතති. ආසාදිතයන්, විදොශිකයන් සහ විදෙස්හි සිට පැමිණි සියල්ලන් මෙන්ම ආසිදිත අන්යාගමිකයන් සතුරන් ලෙස දකිති. අනිත් අතට මෙවන් අශිෂ්ඨයන් මරා දමා හෝ තම පැවැත්ම රැකේනම් කම් නැතැයි සිතති. පරිස්සම මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයකි. මාධ්‍ය දේශනා කරන්නේද තනිව පරස්සම් වීමකි. එහෙත් පරිස්සම වඩාත් අර්ථවත් කලහැක්කේ සාමූහික අවබෝධයක් මතවන බැඳීම් තුල සතුරු නොවන ආකාරයකටය.
පලමු මොහොතේම මාසයකට සරිලන ආහාර ද්‍රව්‍ය තම නිවෙස්හි ගොඩගසා ගත්තද ස්වාර්ථයේ ගිලී සිටින මැදපංතියද වසංගතය තවදුරටත් පැවතියහොත් වඩාත් අර්බූදයට යාමට නියමිතය. මුදල් තිබුනද මිලදී ගැනීමට බඩු තිබිය යුතුය. සුලු ව්‍යාපාරයක් කරන අප නිවසට යාබද නිවසේ අය අද අපෙන් පොල් බෑයක් ඉල්ලා ගත්හ. තවත් අසල්වැසියෙක් අද පැවසුවේ පොඩි එකාට කිරි පැකට් එකක් ඔන්ලයින් කප්රුකෙන් ඇනවුම් කලත් ප්‍රවාහන ගාස්තු රු1500ක් අයකරන බැවින් ඇනවුම නතර කල බවයි. මෙවන් සමයක රැකියා සුරක්ෂිතබාවයද අර්බූදයට යමින් තිබේ. ලොව පුරා රැකියා මිලියන 25ක් මේවනවිටත් අහිමිව ඇතැයි ඊයේ ලෝක කම්කරු සංවිධානය පැවසීය. එබැවින් තනිව රැකෙන්නට කිසිවෙකුට නොහැකිය. රොබින්සන් කෲසෝලා පවතින්නේ ප්‍රබන්ද සාහිත්‍යයේ පමණි. අවම වශයෙන් තම අසල්වැසියාගේ කුසගින්න දැනෙන මිනිසුන් මේ තත්වය තුල අවශ්‍යව ඇත.
ඉතින් මැද පංතික මිත්‍රයිනි, ඔබ සුරක්ෂිත නැත. ඇතැම් විට අර්බූදය පහල පංතීන්ටත් වඩා ඔබට අමිහිරි විය හැක. ඒ ඔබ පහල පංතීන් තරම්වත් සාමූහික නොවන නිසාවෙනි.
ඔබට අප්‍රසන්න වූ අශිෂ්ඨයන්ගේ පොදු රෝහල්, සමූපකාර වැනිදේ හෙට ඔබට අවශ්‍ය විය හැක. පහලම පංතිකයන් සමග එකම පෝලිම්වල ලැගීමටද සිදුවිය හැක.
පටු උද්දච්ච මායාවේ සිට සාමූහිකත්වයේ යථාර්තය අප සැවොම එක්ව ශක්තිමත් කලයුතුය. පෞද්ගලික ව්‍යාසායන් පිළිබඳ මනබඳන වර්ණනා නවතා පොදු දේපල සහ පොදු සේවා ශක්තිමත් කිරීමට පෙලගැසිය යුතුය. ශිෂ්ඨ අශිෂ්ඨ බෙදීම් නොසලකන ශිෂ්ඨාචාරයම අර්බූදයට ලක්කර ඇති අපේ කාලයේ මහා අභයෝගය ඉදිරිපිට අපි සිටිමු. එයද තම ලාභ වර්ධනය කිරීමට යොදාගැනීමට දඟලන ධනපති පංතිය හැර අන් සියලු පංති කොටස් ජාති, ආගම්, වර්ණ බේද නොතකා සාමූහිකත්වය තුල පෙලගැසිය යුතුය. මීටරයක් දුරින් වුවද සාමූහිකත්වය තුල ශක්තිමත්ව පෙලගැසිය යුතුය.