Breaking News

දීපචෙල්වන්, අතරමං පරපුරක අවසාන කවියා කිරීමේ වගකීම සිංහල ජන සමාජය සතු යුතුකමකි.

පළමුවන ලෝක යුද්ධය අවසාන වන විට ඇමරිකාව මුල්කරගෙන The Lost Generation නම් “අහිමි පරපුර” ගැන කතා බහක් බිහි විය. යුද්ධය නිසා තම සතු තමන් ඇදහූ, තමන් ආදර කළ විශ්වාස කළ, බලාපොරොත්තු වූ ආදී හැම දේ ම අහිමි වූ පරපුර එම නමින් හඳුන්වන්නට යෙදුනා. ඔවුන් විසින් ජීවිතයේ තමන්ට අහිමි වී ගිය දේ සොයන්නට ගත්තා, භෞතිකවාදයට එරෙහිව අධ්‍යාත්මිකව අහිමි වූ දේ පිළිබඳව වැඩි වැඩියෙන් හෙව්වා. එම හෙවීමට පහන් ආලෝකය දෙන සාහිත්‍ය පරපුරක් ඇතිවන්නේ එතැනින්. එම සාහිත පරපුරේ නම් ලැයිස්තුව හරි දිගයි. අරනස්ට් හෙමිං වේ ඒ ලැයිස්තුවේ ප්‍රධාන කෙනෙක්. ඔහු අල්පෝක්තියෙන් කතා ලිවීමේ කලාවක් ගෙනාවා. සිද්ධි ටිකක් ඒකරාශි කරලා තියලා පැත්තකට වුණා. ඒ සිද්ධි රසිකයාව තුවාල කළා. රසිකයා ඒ තුවාල වේදනාවෙන් කෑ මොර දෙද්දී තමයි රසිකයාට තේරෙන්න ගන්නේ ලේඛකයා මොනතරම් වේදනවකින් මේවා ලියන්න ඇති ද කියලා.

බුදුන්වහන්සේ උපදින්නටත් පෙර සිට ම මළවුන් භූමිදානය කළ චාරිත්‍ර‍යක් ලංකා සමාජයේ පැවති බවට අනුමාන කරන ඓතිහාසික සාක්ෂි තිබෙනවා.
රට පුරා ගලන ගංගා ඇල දොල දිගේ මල මිනි පාවුන අතීතයක් වගේ ම හන්දියක් හන්දියක් ගානේ ටයර් මත මළමිනි දැනුන අතීතයකුත් ඔබ සමහරකුට මතක ඇති. එමෙන් ම සිය මවගේ මළගමට සහභාගි වීමට ආ කවියකු ගුවන් තොටුපොළෙන් ම හරවා යැවූ මතකයකුත්, වෙඩිවැදී මියගිය කෙනෙකුගේ මල සිරුර වටේ විහිලු කරමින් ෆොටෝ ගැසූ අය ගැන මතකයකුත් අපෙන් කෙනෙකුට තිබෙන්නට පුළුවන්.
කෙසේවෙතත් පළමු ලෝක යුද්ධයේ වින්දිතයකු වූ Thomas Hardy කවියා, The man he killed කවියේ කථකයාගේ වෙඩි පහරින් මිය ගිය සතුරු සොල්දාදුවා ගැන හිතන්නේ “මට ඒකාව තැබැරුමක හමබ වෙලා තිබුණානම් එකට අඩියක් ගහන්න තිබුණා, අතට කීයක් හරි දීලා යවන්නත් තිබුණා වැනි සානුකම්පිත අදහසකිනි.

“Had he and I but met
By some old ancient inn,
We should have sat us down to wet
Right many a nipperkin!

එහෙත් මලමිනියකට තම මරණය ගැන මොනවගේ මතකයක් තියේවිද? කෙනෙක් සිය මල සිරුර දෙස බලාගෙන කුමක් හිතන්වා ඇද්ද? ඒ මල සිරුර හිමි පුද්ගලයා අපි කලින් සඳහන් කළ අහිමි පරපුරේ නූතන නියෝජනයක් නම් තමන් සතු විය යුතු සියල්ල අහිමිකරගත් සමාජයකින් ඔහු කුමක් බලාපොරොත්තු වෙන්න ද? Lost Generation ගැන කතා බහ ඇති වුනේ පලමු ලෝක යුද්ධයෙන් පසුව වූවත්, අපි කතා කරන නූතනයා යුද්ධයක් පවතින නගරයක යුද්ධයක් පවතින වෙලාවක හදිසියේම මල මිනියක් බවට පත් වූ විට, ඔහු එතෙක් රැක ගෙන ආ ජීව්තයේ අති වැදගත්කම කුමක් ද? සමාජය ඔහුව නියම ආකාරයෙන් හඳුනා ගනී ද?

“ඌ මොකක් කළා වෙන්න පුළුවන්ද”
එකී ප්‍රශ්නය,
ජලය අවසන්ව සුළං පමණක්ම එන
කරාමය ඇරියාම දැනෙන
වෙහෙසක් වෙන්නත් ඇති.”

පාන් බාගයක් කෙසෙල් ගෙඩියක් දවල් කෑමට ගැනීමට සූදානම් වූ තරුණයකුට සිවිල් ඇඳුමින් සැරසී ආ කෙනෙකු වෙඩි තබා මරා යාම නිහඬ යාපනයේ තනි පිටුවේ පත්තරයටවත් වැදගත් නොවන තරමට මරණය සුළභ වීම ඇදහීමට හැකි ද? කොළඹ සමාජයට පවා එම මරනය පිළිබඳ කිසිදු හැඟීමක් ඇති නොවන්නේ, කොළඹ සමාජයෙත් කඳු ගනන් මල මිනී දැක පදම් වී සිටී නිසාද?

විදුලිය කපා ඇති හෙයින්
අඳුරු හතට පමණ
ඇස් වසාගන්නා කල
රැයේ දිගු දුරක් යන
ඔබේ මතකයට
මොනවත් නොඑනවත් ඇති.

ජීවත්ව සිටියදී කිසිම දෙයක් නො ලැබූ කෙනෙකුට මරණයෙන් පසුව කුමක් හිමි වෙයි ද? එහෙම ලැබුනත් එයින් ඇති ඵළය කුමක් ද?

පණ නැති මා නිහඬය
පණ ඇති ඔබත් නිහඬය
තව සැණෙකින්
ඇඳිරි නිතිය
පොදු සිරිත බිඳ දැමූ
යාළ් නගරය
දැන් කුමක් සිදුවේද

තව සැනෙකින් ඇඳිරි නීතිය පටන් ගත් විට, කුමක් සිදු වෙයි ද? මළ සිරුර අතුරුදන් වෙයිද, පණ ඇතිව ජීවත් වෙන සිරුරක් මළ සිරුරක් බවට පත් වෙයිද?

අනූෂා ෂිවලිංගම්, දීපචෙල්වන්, “රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන” මම කියවන්නේ, ඔබෙත් මගෙත් මවුබිමට සැතපුම් දහස් ගණනක් ඈතක සිට ඔබට ඉර පායා ඇති දහවලක මට අඳුරු සීතල රාත්‍රියක දී ය. කාමරයේ හීටරය නිවා ඇති නිසා සීතල විසින් මගෙ කොඳු ඇට පෙල හිරි වට්ටා වේදනා ගෙන දෙයි. එහෙත් ඔබේ කවි පොතේ පළමු කවිය පමණක් කියවීමෙන් මා ලද වේදනාවට එම සීතල වේදනාව කිසි සේත් ම සමාන නැත. මේ පළමු කවිය කියවීමෙන් පසුව ඒ ගැන මගේ වේදනව තුනී කර නොගෙන අනෙක් කවි කියවන්නට මට ශක්තියක් ලැබුණේ නැත. අද රාත්‍රියෙන් පසුව, මට ඉතිරි කවි කියවන්නට හිත හදා ගන්නට පුළුවන. එසේ කියවා මගේ අදහස නැවත ඔබට කියන්නට පුළුවන.

දීපචෙල්වන් සහෝදරයා, උබේ භාෂාවෙන් මේ කවි කියවන්නට මම නොදන්න නිසා අනූෂාට අපි දෙදෙනාම ස්තූතිවන්ත වෙමු.

නිරෝෂ ප්‍රනාන්දු

leave a reply