Day: March 27, 2021

  • ‘ලුසී‘ නැමති ඇතින්න සම්බන්ධ විරෝධතා උත්සන්න වෙමින් තිබේ

    ‘ලුසී‘ නැමති ඇතින්න සම්බන්ධ විරෝධතා උත්සන්න වෙමින් තිබේ

    ලංකාවෙන් ගෙන යනු ලැබ කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව රඳවා සිටින ‘ලුසී‘ නැමති ඇතින්න සම්බන්ධ විරෝධතා උත්සන්න වෙමින් තිබේ.

    1977දී පින්වල අලි අනාථාගාරයේ සිට කැනඩාවට යවන ලද මෙම ඇතින්න වසර 40ක් පමණ හුදකලාව ගතකර ඇති බවට චෝදනා එල්ල වී ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් සත්වෝද්‍යානය වසා දමා තිබුණු කාලයේ ඇය සිරගතකළ ආකාරයෙන් තැබීම නිසා නියමිත බරට වඩා රාත්තල් 1000ක් පමණ වැඩි බරකින් සිටීම නිසා ශාරීරික සෞඛ්‍ය ගැටලු මතුව ඇත. ඇතින්නගේ ශරීරයේ බර දරා සිටීමට නොහැකි වීම නිසා ඇතිවන තත්වය ඇගේ මරණයට හේතු විය හැකි බව පශු වෛදවරු පෙන්වා දී ඇත.

    මේ හේතුව නිසා ඇය ඇවිද්දවීමේ කටයුතු ආරම්භ කර ඇතත්, හුදකලාව තැබීඹට එරෙහිව සත්ව අයිතින් සම්බන්ධ කණ්ඩායම් ලොව පුරා විරෝධතා ආරම්භ කර ඇත.

    එඩ්මන්ටන් වැලි සත්වොද්‍යානයේ සීමිත පහසුකම්වලින් පීඩා විඳිනවාට වඩා ඇය ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා තරුණ තරුණියෝ පිරිසක් අද(26) කොළඹ පිහිටි කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත් වූහ. එම අවස්ථාවේදී ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන ලෙස ඉල්ලීමක් කැනඩාවේ අගමැතිවරයාට යැවීම සඳහා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයට භාර දී ඇත.

  • ‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ ජනගත කෙරේ

    ‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ ජනගත කෙරේ

    එළඹෙන අප්‍රියල් 05වන දිනයේ දී මෙරට ප්‍රථම තරුණ පිබිදීම වූ 71 අරගලයට වසර 50ක් සපිරේ. එම අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රංජිත් දිසානායක හෙවත් ‘‘කළු රංජිත්’’ගේ ජීවන අත්දැකීම් අළලා ජයසිරි අලවත්ත විසින් රචිත ‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ කෘතිය අප්‍රියල් පස්වන දින සවස 03.00ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවගේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

    මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ 71 තවත් ක්‍රියාකාරී සාමාජිකයකු වූ පියසිරි කුලරත්න විසිනි. නිදහස් අදහස් දැක්වීම් මහින්ද දේශප්‍රිය සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් පවත්වනු ලබන අතර ‘සත්සර ඇමතුම’ අජිත් කුමාරසිරිගෙනි.

    ‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ කවිවර ප්‍රකාශනයකි.
    මේ විවෘත ආරාධනය ‘‘කළු රංජිත්’’ට ආදරය කරන සියලු දෙනාට ම එම අවස්ථාවට සහභාගි වන ලෙසයි.

  • බස්නාහිර හරිත පෙනහල්ල, මුතුරාජවෙල වැනසීමට එරෙහි වෙමු! Youth for Chenge විරෝධතා බැනරයක් අත්සන් කරයි

    බස්නාහිර හරිත පෙනහල්ල, මුතුරාජවෙල වැනසීමට එරෙහි වෙමු! Youth for Chenge විරෝධතා බැනරයක් අත්සන් කරයි

    බස්නාහිර හරිත පෙනහල්ල, මුතුරාජවෙල වැනසීමට එරෙහි වෙමු! යන සටන් පාඨය යටතේ මුතුරාජවෙල තෙත්බිම් අභය භූමියේ සිදුවන පරිසර විනාශයට එරෙව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ (Youth for chenge) මූලිකත්වයෙන් අද(27) ඇලකන්ද ප්‍රදේශයේදී වි⁣රෝධතා බැනරය අත්සන් ලබාගැනීමක් සහ ජනතාව දැනුවත් කිරීමක් සිදුව තිබේ.

    වෙනසක තාරුණ්‍ය සංවිධානය පවසන පරිදි මුතුරාජවෙල තෙත් බිම හරහා භූගත ජලය පිරිසිඳු කිරීම, ගංවතුර පාලනය කිරීම යන කරුණුවලට අමතරව මෙම භූමිය තුළ වටිනා ශාක සහ සතුන් විශාල ප්‍රමාණයක් පවතියි. එසේ තිබියදී මෙම තෙත් බිම තුළට කසළ බැහැර කිරීම, බිම් කොටස් වාණිජ කටයුතු සඳහා විවිධ සමාගම්වලට ලබාදීම සිදුවෙමින් පවතින බව එම සංවිධානය පවසයි. දැනට මෙම පරිසර පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇති බවත් එය වහාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගනිමින් සංරක්ෂණය කරන ලෙස ද වෙනසක තාරුණ්‍ය සංවිධානය අවධාරණය කරයි.

  • යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් දේශපාලන බලපෑම්වලට නතු වෙලාද? –  පරිසරවේදීන් සැක මතු කරයි

    යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් දේශපාලන බලපෑම්වලට නතු වෙලාද? – පරිසරවේදීන් සැක මතු කරයි

    ලෝක උරුම සිංහරාජ රක්ෂිතය ආශ්‍රිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූයේ නම් ඒ බව සඳහන් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන මෙන් පරිසරවේදීන් සහ පරිසර සංවිධාන යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටිති.

    ඔවුන් එසේ ඉල්ලා සිටින්නේ, වාරිමාර්ග ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසී සිංහල සේවය වෙත බ්‍රහස්පතින්දා (මාර්තු 25) කළ ප්‍රකාශයත් සමගය.

    “අපි යුනෙස්කෝ ආයතනය, ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමා එක්ක සාකච්ඡාවක් කර පැහැදිලි කලා, ඒක කරන එක සුදුසු නැහැ කියලා. ඇමතිතුමා ඒක පිළිගත්තා. ඒ අනුව සිංහරාජයේ කිසිම ජලාශයක් හදන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සිංහරාජ ලෝක උරුමයට කිසිම අනතුරක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. රජයත් එහෙමයි, ඇමැතිතුමාත් ඒ දේ පිළිගත්තා. අපිත් ඒ පිළිබඳ විමර්ශනයෙන් ඉන්නේ,” යනුවෙන් ආචාර්ය මීගස්වත්ත එහිදී සඳහන් කළේය.

    ගිං ගඟ හරස් කර, ඉදිකිරීමට නියමිත මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය වෙනුවට, වෙනත් විකල්ප මාර්ගයක් සෙවීමට ඇමතිවරයා එහිදී වාරිමාර්ග ඉංජිනේරුවන්ට උපදෙස් ලබා දුන් බවත් ඔහු පැවසීය.

    චීන සමාගමක සැලසුම් මත ක්‍රියාත්මක වීමට නියමිත අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට අයත් හෙක්ටයාර 5 ක භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වෙතැයි ඇස්තමේන්තු කෙරේ.

    එම ව්‍යාපෘතිය නවතා දමන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස ශ්‍රී ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ගණනාවක් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

    ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ඇතුළු යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් සහ වාරිමාර්ග ඇමතිවරයා අතර ඉහත කී සාකච්ඡාව සිදු වූයේ යෝජිත ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යුනෙස්කෝ මූලස්ථානය වෙත ඉල්ලීම් සහ පෙත්සම් ඉදිරිපත් වෙමින් පවතින අතරතුරදීය.

    පසුගිය වසරේ, මතභේදයට තුඩු දුන් සිංහරාජය ආශ්‍රිත ලංකාගම මාර්ගය සංවර්ධනය කිරීමේ දී ද යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් නිසි මැදිහත්වීමක් නොකළ බවට චෝදනා කරන පරිසරවේදීහු මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම නියෝජිතයන් සිදු කරන ප්‍රකාශයන්හි විශ්වසනීයත්වය ප්‍රශ්න කරති.

    “මහ ඈතකට යන්නේ නැතුව 2020 අවුරුද්දේ, ලංකාගම මාර්ගය හදන විටත් යුනෙස්කෝ ලංකාවේ කාර්යාලය එවැනි ප්‍රකාශ සිදු කළා,” යනුවෙන් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

    එබැවින්, මාදුගැටේ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට, වාරිමාර්ග අමාත්‍යවරයා එකඟතාවකට පැමිණ ඇත්නම් ඒ බව ලිඛිතව ප්‍රකාශයට පත් කරන ලෙස සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය, යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටී.

    “වන සත්ත්ව සහ වෘක්ෂලතා අඥා පනතට අනුව රක්ෂිතයක, අභය භූමියක කිලෝමීටරයක් යන තුරු කිසිම ඉදිකිරීමක් කරන්න හැකියාවක් නැහැ. ඒ නීතිය පදනම් කරගෙන යුනෙස්කෝ ශ්‍රී ලංකා කාර්යාලයට පුළුවන් ලෝක උරුම රක්ෂිතයේ මායිමට හෝ අභ්‍යන්තරයට යම් හානියක් වෙන්නේ නම්, එවැනි ව්‍යාපෘතියක් සිදු නොවන බව ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලිඛිතව ප්‍රකාශයට පත් කරන්න,”

    “ඒ ලියුම අරගෙන, ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයේ එකඟතාව මෙය බව පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයට දැනුම් දී, සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කිරීමේ කාර්යයට එකතු වෙන්න, එවිට අපි සියලු දෙනාටම හැකි වෙනවා,” යනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.

    යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් දේශපාලන බලපෑම්වලට ලක්ව ක්‍රියා කරන බවට පසුගිය කාලය පුරා, පරිසරවේදීන් සහ පරිසර සංවිධාන වෙතින් චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා නියෝජිතයින් නිසි මැදිහත්වීමක් සිදු නොකරන බැවින් තමන්ට පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට සිදුව ඇති බව ද ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

    BBC ඇසුරිණි

  • විශ්වවිද්‍යාල වසා දමා වසරක්, වහාම විශ්වවිද්‍යාල විවෘත කර ගැටලුවලට විසඳුම් දෙන්න – අන්තරෙන් අගමැතිට ලිපියක්

    විශ්වවිද්‍යාල වසා දමා වසරක්, වහාම විශ්වවිද්‍යාල විවෘත කර ගැටලුවලට විසඳුම් දෙන්න – අන්තරෙන් අගමැතිට ලිපියක්

    විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උද්ගතව ඇති මූලික ගැටලු කිහිපයක් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරමින් අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද(26) දින අගමැති කාර්යාලයට ලිපියක් භාරදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

    විශ්වවිද්‍යාලවල පැවති අධ්‍යයන සුබසාධන ගැටලු, ප්‍රතිපාදන කප්පාදුව, මහපොල හා ශිෂ්‍යාධාර ගැටලු, සිසු ජීවිත විනාශ කරන මර්දනය ඇතුළු සියලු ගැටලු වසංගතයේ කඩතුරාවට මුවා වී යටපත් කිරීමට උත්සාහ දරමින් සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අගමැති කාර්යාලයට භාර දුන් ලිපියේ සඳහන් වේ. වසංගත තත්ත්වය තිබියදීම සමාජයේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර විශ්වවිද්‍යාල වසරක කාලයක් වසා තබා ගනිමින් පවතින ගැටලු වසන් කිරීමේ උත්සාහයක ආණ්ඩුව තවදුරටත් නිරත වෙමින් සිටින බව එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

    එහෙයින් විශ්වවිද්‍යාල සිසුන්ට පවතින ඉතා ඉක්මනින් විසඳුම් අවශ්‍ය පහත ගැටලු කෙරෙහි ඉතා ඉක්මනින් විසඳුම් ලබාදෙන ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඉල්ලා ඇත.

    • විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම හා සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම.
    •මහපොල හා ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් පවතින ගැටලු
    • උපාධි ප්‍රධානෝත්සව සම්බන්ධ ගැටලු
    •අධ්‍යයන සුබසාධන ගැටලු
    •රුහුණ, කැලණිය හා අනෙකුත් සරසවිවල සිසුන් මත හෙළා ඇති මර්දනය

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අග්‍රාමාත්‍ය කර්යාලයට යොමුකළ ලිපිය පහත දැක්වේ.