ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කළ IMF කොන්දේසිවලට, ඉන්දියාව සමග අත්සන් කර තිබෙන හොර ගිවිසුම්වලට විරුද්ධව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට ඊයේ පොලිස් මැර ප්‍රහාරයක් එල්ල වී තිබුණි. එහිදී පොලීසිය මැදිහත්වී විරෝධතාවය සඳහා ගෙන එන ලද කටවුට් ඉරා දමමින් හැසිරෙන ආකාරය දැකිය හැකිවිය.
විශේෂත්වය වන්නේ මෙය සිදුවුවේ අභිනවයෙන් පත්වූ පොලිස්පතිවරයා අට ලෝ දහම හොඳින් හුරු පුරුදු බවත්, පොලීසියේ ගෞරවය හා ප්‍රෞඩත්වය රැකගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවට පොරොන්දු වීමෙන් දිනකට පසු වීම නිසයි.
නව පොලිස්පතිවරයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ඒ අනුව නව ආණ්ඩුවේ පොලීසිය වෙනස් වෙතැයි ජනතාව වෙත තිබූ බලාපොරොත්තුව පුස්සක් බවට පත්ව තිබේ.
පොලීසියේ ගෞවරය රැකීම කෙසේවෙතත් ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවට හිමි රැස්වීමේ නිදහස විරෝධය දැක්වීමේ නිදහස ගැනවත් ඔවුන්ට අදහසක් නැති බව පැහැදිලිය.
එසේම මෙම විරෝධතාවය අවස්ථාවේ අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික නුවන් බෝපගේ පැවසුවේ අප්‍රේල් 5 අත්සන් කළ ගිවිසුම් හොර ගිවිසුම් නෙවෙයි නම් ඇයි ආණ්ඩුව මෙහෙම කලබල වන්නේ ඇයිද යන්නයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,
” අපි ජන අරගල ව්‍යාපාරය විදිහට මේ උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහය පවත්වන්නේ කාරණා දෙකක් මූලික කරගෙන. එකක් තමයි රටේ ජනතාවට හොරෙන් පසුගිය අප්‍රේල් 5 වෙනිදා අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති මෝදි අතර අත්සන් කළ ජනතාද්‍රෝහී ගිවිසුම් වහාම අහෝසි කළ යුතුයි. අනිත් කාරණය තමයි රට ණය උගුලක හිර කරන IMF මර උගුලෙන් ඉවත් විය යුතුයි. නමුත් ආණ්ඩුව මැර පොලිස් කණ්ඩායමක් එවලා මේ සාමකාමී උද්ඝෝෂණයට මෙලෙච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. මේක ඉතාම පිළිකුල්සහගත තත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන පුරසාරම් කියවගෙන බලයට ආව ආණ්ඩුවක් අද විරෝධතාකරුවන්ට පිළිතුරු දෙන්නේ මැර බලයෙන්.
මේ විරෝධය දක්වන්නේ අනුර මෝදි හොර ගිවිසුම් ඉරා දමනු කියලා. අප්‍රේල් 5 අත්සන් කළ ගිවිසුම් හොර ගිවිසුම් නෙවෙයි නම් ඇයි ආණ්ඩුව මෙහෙම කලබල වෙන්නේ ? ආණ්ඩුවේ මේ ක්‍රියාකාලාපයෙන්ම පැහැදිලියි ආණ්ඩුව මේ ගමන් කරමින් ඉන්නේ රට මර උගුලා හිර කරන වැඩපිළිවෙළක කියලා. ඒ නිසා තමයි ආණ්ඩුවට අද බැරි වෙලා තියෙන්නේ තමන්ට විරුද්ධව එන බලවේගවලට දේශපාලනිකව උත්තරයක් දෙන්න. ඒ බැරි වීමත් එක්ක ආණ්ඩුව අර පරණ ආණ්ඩු තෝරපු මැර ක්‍රියාමාර්ගවලින්ම විරුද්ධ බලවේග මර්දනය කරන්න සූදානම් වෙනවා.
අපි දන්නවා බලයට එන්න කලින් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු හිටියේ අපි එක්ක අරගල බිම්වල. එදා IMF මර උගුලට එරෙහිව ඉන්දියානු බලහත්කාරයට එරෙහිව ඔවුන් සඨන් කළා. නමුත් බලයට ආවට පස්සේ ඒ අරගල සියල්ලම අමතක කරළා දැන් ඉතාමත් වේගයෙන් නවලිබර් වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියවා. ආණ්ඩුව මේ කරට අරගෙන තියෙන්නේ එදා රාජපක්ෂලාට රනිල්ලට ක්‍රියාත්මක කරගන්න බැරි වුණු ජනතාද්‍රෝහී වැඩපිළිවෙළේ ඉතිරි ටික සම්පූර්ණ කරන වැඩේ. විදුලිබල මණ්ඩලය කෑලි කරලා විකුණන වැඩේ, ගමේ පාසල් ටික වහලා දාන වැඩේ, මුත්තු නගර්, මන්නාරම වගේ ප්‍රදේශවල ගොවි ඉඩම් ඉන්දියාවට විකුණන වැඩේ ආණ්ඩුව කිසි හිරිකතයක් නැතුව දැන් කරගෙන යනවා.
අපි දන්නවා පහුගිය කාලෙම රැකියා විරහිත තරුණ තරුණියෝ, ශිෂ්‍යයෝ, ඒ වගේම මුත්තු නගර් ජනතාව ඇතුළු තමන්ගේ ප්‍රශ්නය අරගෙන මහපාරට ආව සියලු දෙනාට පොලිස් පහරදීම් බාධාකිරීම් ගණනාවක් සිදු වුණා. ආණ්ඩුවට බැහැ මේක පොලිසියේ පිටින් දාලා අත පිහදගන්න. මොකද දැන් මේ ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ පොලීසිය නෙවෙයි. දැන් පොලීසියට අණ දෙන්නේ වර්තමාන ආණ්ඩුව. ඒ නිසා මේ පොලිස් පහරදීම් පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවම තමයි. අපි මේ රටේ ජනතාවට කියන්න ඕන ඔබට ප්‍රජාතන්ත්‍රවාදය දෙනවා සියල්ල විනිවිද භාවයකින් කරනවා කියලා බලයට ආව ආණ්ඩුවේ මේ ජනතාද්‍රෝහී හැසීරීම දිහා නිහඬව බලාගෙන ඉන්න එපා. අද පාර්ලිමේන්තු විපක්ෂය මේවා දිහා බලාගෙන ඉන්නේ නිහඬව. මොකද ඔවුන්ට ඕන ආණ්ඩුව වැඩ වරද්දගන්නකල් ඉඳලා ඊටපස්සෙ බලය ඩැහැගන්න. ජනතාවත් අද නිහඬව හිටියොත් වෙන්නේ මේ නවලිබර් වැඩපිළිවෙළ වේගයෙන් ඉදිරියට ගිහිල්ලා මුළු රටම මර උගුලක හිර වෙන එක. ඒ නිසා IMF මර උගුලටත් ඉන්දියානු හොර ගිවිසුම්වලටත් එරෙහිව එළියේ ජනතා බලයක් ගොඩ නගන්න එකතුවෙන්න කියලා අපි රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. “