Breaking News

21 කට හැම තැනින්ම කදිම යෝජනා

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ගරු ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

21 වන සංශෝධනයේ අරමුණ යථාර්ථයක් කරමු

21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවතත් රාජ්‍ය පාලනයේ යහපත් මූලධර්ම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට එකඟතාවය පලකිරීම පිළිබඳව අපගේ ප්‍රසාදය පලකරන අතර එකී සංශෝධනයේදී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමුකරන ලෙස ඔබතුමන්ගෙන් සහ සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

1. ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරීමට ඇති අයිතිය සීමා වියයුතු අතර එය 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුරූපව වෙනස්විය යුතුය.
2. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදනයට අනුකූලව වෙනස්විය යුතුය.
3. කැබිනට් මණ්ඩලය 20 දෙනෙකුට සීමා විය යුතු අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාවද 20 කට සීමා කල යුතුය.
4. අමාත්‍යාංශ ලේකම්වරුන්, ව්‍යවස්ථාදායක සභාවේ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට අනුකූලව ජනාධිපතිවරයා විසින් පත්කල යුතුය.
5. තානාපතිවරුන් හා දූත මණ්ඩල ප්‍රධානීන් තේරීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු අතර පත්කිරීම් සිදුකිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ හා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශයන්ට යටත්ව සිදුකල යුතුය.
6. මහජන දේපළ සම්බන්ධ ගිවිසුම් සහ විදේශ ණය ලබාගැනීමට අදාල ගිවිසුම් අත්සන් කිරීම වෙනුවෙන් විනිවිදභාවයක් සහිත ක්‍රමවේදයක් සැකසිය යුතු අතර එය පාර්ලිමේන්තුවේ දැනුවත්භාවයක් සහිතව සිදුවිය යුතුය.
7. රාජ්‍ය මූල්‍ය ස්වාධීනතාවය, විනිවිදභාව හා වගවීම ආරක්ෂා වන ක්‍රමවේදයක් සැකසිය යුතුය.
8. ජනාධිපතිවරයාට ඇති සමාව දීමේ බලය කිසියම් නීතිමය රාමුවක් හා සීමාවක් තුළ සිදුකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කල යුතුය.

එමෙන්ම මේ වන විට නැවතත් සමහර දේශපාලනඥයන් 21 වන ව්‍යවස්ථා සංශෝධනය සිය බල ව්‍යප්තියේ කොටසක් බවට පත්කරගැනීමට කටයුතු කරන බවක් පෙනීයන බැවින් පහත සඳහන් කරුණු කෙරෙහිද ඔබතුමන්ගේ අවධානයට යොමුකිරීමට කැමැත්තෙමු.

  1. 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ඝතයට ඇතුළත් කරුණු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ 4 වතාවක් දේශපාලන බලහුවමාරුව සමග සංශෝධනය කර ඇති අතර 21 වන සංශෝධනය එහි පස්වන අවස්ථාවයි.

එකම කරුණ අරභයා පුද්ගල හා පක්ෂ දේශපාලන අභිලාශයන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ කාලය හා මහජන මුදල් නාස්ති කිරීම පිළිබඳව මහජන නියෝජිතයින් ලැජ්ජා විය යුතුය. එමෙන්ම එකිනෙකට විරුද්ධ 17-18-19 හා 20 සංශෝධන 4 ටම කැමැත්ත පලකල හැකිවීම විශ්මයජනකය. එවැනි මහජන නියෝජිතයින් 23 ක් වර්තමාන පාර්ලිමේන්තුවද නියෝජනය කරයි.. ඒ අතර නීතීඥයින් හා මහාචාර්යවරුන්ද සිටිති.

  1. 5 වන වතාවටද මෙම සංශෝධනය සිදුකිරීමට සිදුව ඇත්තේ එය එතරම්ම ජනතාවට වැදගත් වන හෙයිනි. එමෙන්ම ඒ සඳහා මේ වන විට මිනිස් ජීවිත, රාජ්‍ය දේපළ හා මහජන නියෝජිතයින්ගේ දේපළද විනාශයට පත්ව ඇත. 21 වන සංශෝධනය අරගල භූමියේ සිටින පිරිස් මෙන්ම රටේ බහුතරය අපේක්ෂා කරන ඉල්ලීමක් වන අතර එය රටේ යහපැවැත්මට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රසාදය දිනාගැනීමටද හේතුවනු ඇත. එබැවින් මෙම සංශෝධනය දේශපාලන බල ව්‍යප්තිය සඳහා භාවිත කිරීමට ඉඩ නොතබා එහි මුඛ්‍ය අරමුණු ඉටුවන ආකාරයට කඩිනමින් පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමු.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

පිටපත් – සියලුම දේශපාලන පක්ෂ නායකයින් වෙත

 

leave a reply