Breaking News

සමාජ යථාර්ථයෙන් තත්කාර්යවාදයට – “අයිය මළෝ”

දශක ගණනාවක් පුරා ගොඩනැගුනු සමාජ ආතතියේ පුපුරා යාම පසුගිය අප්‍රේල් මාසයේ සිදු විය. ඒ ගෝල්ෆේස් අරගලය හරහාය. අරගලය හමුවේ විවිධ උපාමාරු දමමින් සිටි ලංකාවේ රාජ්‍ය තන්ත්‍රය හිටපු ජනාධිපති හා අගමැති වෙනුවට වෙනත් ජනාධිපති කෙනෙකු හා අගමැතිවරයකු ලත් කරගැනීමෙන් අවසානයේ කෙසේ හෝ ක්‍රමය ආරක්ෂා කරගැනීමට සමත් විය. මෙසේ අලුතින් ජනාධිපතිධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දැන් අර්බුදය සමනය කරගත නොහී තව තවත් ජනතාව මත ආර්ථික දේශපාලන හා සමාජයීය පීඩනය තීව්‍ර කරමින් සිටී. රටේ මුල්‍ය උත්පාදන මාර්ග බහුජාතික සමාගම්වලට විකිණීමට කැසකවමින් සිටී. රාජ්‍ය අංශයේ මහජන සේවා පෞද්ගලිකකරණයට උත්සාහ දරමින් සිටී. එළඹීය හැකි ඊළඟ මහජන අරගලය හමුවේ සන්නද්ධ හමුදා ශක්තිමත් කරමින් සිටී. පසුගිය මාසයේ එළිදැක්වූ අසංක සායක්කාර නාට්‍යවේදියාගේ ‘අයියා මළෝ’ නාට්‍යය ලංකාවේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණියේද ඒ පිළිබඳ ‘රළ’හි මෙම කතාබහ සිදුවන්නේද උක්ත සමාජ දේශපාලන පසුබිමෙහිය. කෘතිය, අරගලය හා අරගලය පැන නැගුණු අප ජීවත්වන වත්මන් මොහොත පිළිබඳ යම් අදහසක් ලිපිය අවසානයේ ගොනුකර ගැනීමට අපේක්ෂා කරමින් අපි නාට්‍ය පිළිබඳ සාකච්ඡාවකට එළඹෙමු.

‘සායා’ දීර්ඝ කාලයක් පුරා ලංකාවේ වේදිකාව මත සිය කලාත්මක ශ්‍රමය වැගිරූ නාට්‍ය කලාකරුවෙකි. එපමණක් ද නොව, ඔහුගේ සෑම නාට්‍යයක්ම සමකාලීන සමාජ දේශපාලන පසුබිම පිළිබඳ ‘උණුඋණුවේ’ ප්‍රතිචාර දැක්වූ රංග කාර්යයන් විය. ‘ඊඩිපස් නොමළේය’, ‘ශ්‍රීමත් සූමන’, ‘සංඝදාසගේ චූටි කලිසම’, ‘මම කෙළින් මිනිහෙක්’ සහ ‘ඌරො අතර පෝක්’ ඒ අතුරින් අපට මතක විවාදාත්මක නාට්‍ය කිහිපයකි. මෙවර ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘අයිය මළෝ’ නාට්‍යයද සමකාලීන සමාජ දේශපාලන පසුබිමට දක්වන ඓන්ද්‍රීය සම්බන්ධතාව නිසාම එය අපේ මේ කතාබහට පාදක කරගැනීමට කල්පනා කළෙමු.

කෘතියේ නමින්ම ඇඟවෙන පරිදි එය රාජපක්ෂ පාලනය, රාජපක්ෂ රෙජීමය ලෙස වර නැගෙන මහින්ද රාජපක්ෂ-ගෝඨාභය රාජපක්ෂ ‘අයිය මළෝ’ දෙබෑයන්ගේ පාලන තන්ත්‍ර පිළිබඳ සෝපාහාස නාට්‍යයකි. කෘතියේදී නළු නිළියන්ගෙන් ප්‍රකටවන රංග ඉංගිත (gesture) මාර්ගයෙන් ‘අයියා කව්ද – මල්ලි කවුද?’ යන්න පිළිබඳ ඒකරේඛීය සරල රසාස්වාදයකට නොයා එය ලංකාවේදී අප අත්දුටු ආසන්න ඉතිහාසයේ නිශ්චිත යථාර්ථය සමග ගලපා කෘතියට ප්‍රවේශ වන්නේ නම්, කෘතියේ ‘කලාත්මක හා දේශපාලන සමර්ථතා’ මෙන්ම ‘සීමාකම්’ද අපට අවබෝධ කරගත හැකි බව අපගේ විශ්වාසයයි.

කෘතිය ආරම්භ වනුයේ නාට්‍යකරුවා ‘යුතෝපියාව’ යැයි නම් කළ රාජ්‍යයේ ජනාධිපතිවරයා මිය යාමෙනි. ජනාධිපතිවරයාගේ මරණය මැතිවරණ වාසි ගැනීමේ අරමුණින් මීළඟ ඡන්ද ව්‍යාපාරය ආරම්භ වන තෙක් සමාජයෙන් වසන් කිරීමට සහෝදර දෙබෑයන් ගන්නා උත්සාහය තුළින් නාට්‍යයේ උත්ප්‍රාසය හා නාට්‍යමය කාර්යය ගොඩනැගේ.

“ඉස්සර වගේ මිනිස්සු අපිත් ඒක්ක නෑ. හිටියත් අයියා මළා කියලා දැනගත්තොත් අපිට ලේසියෙන් මේ පුටුව දෙන්නෙ නෑ. දැන් කරන්න තියෙන හොඳම දේ ඉලෙක්ෂන් එක එනකං අයියා මළා කියන එක එළියට නොදී තියාගෙන ඉලෙක්ෂන් ඒක ළංවෙලා අයියගෙ මරණය එළියට දාලා, ලොකු සද්දයක් දාලා ඒ සද්දෙන්ම අපි ඉලෙක්ෂන් එක දිනන එක.”

‘අයිය මළෝ’ නාට්‍ය සම්බන්ධය අපගේ මූලික විවේචනයද මෙතැනදීම සටහන් කළ හැක. කෘතිය තුළ එන මේ දේවල් ලංකාවේ දේශපාලනයේ අයන්න ආයන්න පමණක් දන්නවුන් පවා පැහැදිලිවම දන්නා කරුණුය. මැතිවරණ ආසන්නයේ චන්ද්‍රිකා බන්ඩාරණායක ජනාධිපතිවරාය ඉලක්ක කොට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් ඇය ලැබූ මැතිවරණ වාසිවල සිට පාස්කු ප්‍රහාරය දක්වා අනුකම්පාවේ දේශපාලනය හා භීතියේ දේශපාලනය ලංකාවේ ක්‍රියාකළ ආකාරය, මේ නාට්‍ය නරඹන ලංකාවේ වැඩිහිටි ප්‍රේක්ෂාගාරයට අලුත් දේවල් විය නොහැක. ‘සායා’ගේ නාට්‍යයේ ඇති මූලික දුර්වලතාව වනුයේ උපහාසය හරහා ප්‍රේක්ෂකයා යළි යළිත් ‘සාමාන්‍ය දැනුමේ’ ගිල්වා දැමීමය.

බලය සඳහා සහෝදර දෙබෑයන් අතරවන කුලල් කාගැනීම්, තම තමන්ගේ දූදරුවන් දේශපාලන අනුප්‍රාප්තිකයන් ගොඩනැගෙන ගුරු බලය අල්ලා ගෙන සිටීම වැනි නාට්‍ය තුළ උපමා කතාවක් මෙන් ප්‍රතිනිර්මාණය කිරීමට නාට්‍යකරුවා උත්සාහ කරන සියල්ල ‌මෙරට ජන සමාජය ඕනෑවටත් වඩා දන්නා දේවල්, මිස අලුත් දෙයක් නම් නොවේ. තරමක අලංකාරෝක්තියකින් අපට පැවසිය හැක්කේ අප ජීවත්වන යුගයේ යථාර්ථයමත් මෙයට වඩා නාට්‍යමය වී ඇති බවය.

මෙසේ ජනාධිපතිවරයාගේ මිනිය ඊළඟ මැතිවරණය තෙක් තබා ගැනීමට සහෝදරයන් ගන්නා උත්සාහය තුළ, නාට්‍ය පෙළට කැඳවනු ලබන මිනී එම්බාම්කරුගේ චරිතය යම් පමණකට පසුගිය දේශපාලන අර්බුදය සමයේ රනිල් වික්‍රමසිංහගේ පැමිණීමට සමාන්තර ලෙස වටහා ගත හැකිය. නාට්‍ය රචකයාට උපරිම සාධාරණයක් ඉටු කරමින් පවස්නේ නම්, එම්බාම්කරු යනු මිය ඇදී කුණුවන රාජ්‍ය යන්ත්‍රය ඉදිරියට රැගෙන වාමට පැමිණි ගැලවුම්කරුවා යැයි කිව හැක. ඒබැවින් ඒය, සමකාලීන යතාර්ථය හා ගලපන කල්හි පසුගිය දේශපාලන අර්බුදයේදී රනිල් වික්‍රමසිංහගේ දේශපාලන භූමිකාවට සමපාත වේ. නාට්‍ය අවසානයේ රඟහලෙන් පිටත රඟදැක්වෙන කොටසේ මළමිනිය අසළ රනිල් වික්‍රමසිංහගේ ඡායාරූපයක් තබා තිබීම මේ අනුව, තාර්කික වේ. නමුත් ගැටලුව වනුයේ මේ සියල්ල, අප කලින්ම සඳහන් කළ පරිදි ලංකාවේ සමාජයේ දේශපාලන අයන්න ආයන්න දන්නවුන් පවා හොඳින්ම දන්නා කාරණාවන්ය. එසේ නම්, නාට්‍යයේදී ප්‍රේක්ෂාගාරය සිනාසෙමින් සිටින්නේ තමන් කලින් සිය දහස්වාරයක් සිනාසුණු දේටමය. මෙය නාට්‍යකරුවා පසෙක තබා ප්‍රේක්ෂකයා දෙස විචාරාත්මකව බලනා විට පවා පෙනී යන අන්දමට ‘ලිබරල් නරුමවාදයක්’ හැර වෙන කුමක්ද?

ලිපිය ආරම්භයේදී ‘අයියා මළෝ’ නාට්‍ය එළිදැක්වීමට ආසන්න ලංකාවේ සමාජ දේශපාලන අර්බුදය ගැන, ගෝල්ෆේස් අරගලය ගැන සඳහන් කරමින් අප ජීවත්වන වර්තමාන මොහෙත ගැන අප අවධාරණය කළේ එබැවිනි. ගෝඨාභය රාජපක්ෂ ජනාිපතිවරයා ඇතුළු මුලුමහත් ආණ්ඩුවම ගෙදර යැවු අරගලය පිළිබඳ ඊට නිසි ගෞරවය දෙමින් අප වටහා ගත යුත්තේ එහි සීමා මායිම් ගැනය. එනම්, ආර්ථික අර්බුදය මිනිස් අරගලයේ පැන නැගුණු ස්වයංසිද්ධික ස්වභාවයත් ස්වයංසිද්ධික අරගලයකත් සංවිධානාත්මක ජනතා ව්‍යාපාරය වෙනසක් පිළිබඳවත්ය. ජනතා ජයග්‍රහණ දිනාගැනීමට අවශ්‍යවනුයේ සවයංසිද්ධතාව ඉක්මවා ගිය සංවිධානාත්මක අරගලයකි. එවන් සංවිධානාත්මක ජනතා ව්‍යාපාරයක් යනු අරගලයේ මනෝමූල සාධකයේ වර්ධනීය අවස්ථාවකි. එය අරගලයට බලෙන් පැටවිය නොහැක්කක් මෙන්ම ස්වයංසිද්ධව වර්ධනයේ වේ යැයි උපකල්පනය කිරීමද සාවද්‍ය වේ. ‘අයිය මළෝ’ නාට්‍යයේ සීමාව සටහන් වනුයේද හරියටම මෙන්න මේ ලක්ෂ්‍යයේදීය. ‘අයිය මළෝ’ නාට්‍යයේ කලාත්මක හා දෘෂ්ටිමය පාර්ශවයේද සමාජයේ ස්වයංසිද්ධ විඥානයේ, විරෝධයේ හා උපහාසයේ මට්ටම දක්වා පිරිහෙලී ඇත. අප කලින්ම සඳහන් කළ පරිදි සිය දහස්වරක් සිනාසුණු දේකටම, සිට දහස්වරක් සිදු වූ දෙයටම අලුතින් සිනාසෙනු හැර ප්‍රේක්ෂාගාරයට පහළවන වෙනත් විඥානයක් නැත. දේශපාලනයේ ස්වයංසිද්ධතාවේ උත්කර්ෂණය විසින් න්‍යායික විවේචනය හා විප්ලවීය ව්‍යවහාරය අවප්‍රමාණවන්නා සේම නාට්‍යයේද න්‍යායික විවේචනය හා කලාත්මක ප්‍රතිනිෂ්පාදනය අවප්‍රමාණ කෙරී ඇත. මේ ස්වයංසිද්ධිකභාවය ඉක්මවීම ඇතැම්විට අපගේ යුගයේ පවතින බරපතළම අභියෝගය විය හැකි අර එම අභියෝගය මගහැර යාම දේශපාලනයේදීවත් කලාවේදීවත් සාධාරණිකකරණය කළ නොහැක. ‘අයිය මළෝ’ නාට්‍යයේ ඇති සියලු දෘෂ්ටිවාදාත්මක හා සෞන්දර්යාත්මක සීමා පැන නැගෙනුයේ මෙම ස්වයංසිද්ධික විඥානයෙනි.

මෙය ‘සායා’ගේ මෑතකාලීන බොහෝ නාට්‍යවල (‘ශ්‍රීමත් සූමන’ හා ‘සංඝදාසගේ චූටි කලිසම’ හැර) යළි යළිත් සිදු වූ කලාත්මක අව-භාවිතාවකි. වෛෂයික යථාර්ථය වෙත මැදිහත්වීමට සායාගේ නාට්‍යකලාවේ ඇති ඉමහත් පෙළඹුම අගය කළ යුතු අතරම එහිදී ඔහු විසින් සිදුකරන න්‍යායික පර්යාලෝකය නොසළකා හැරීම, ඒ මගින්ම පැන නගින දෘෂ්ටිමය සීමා ඒ තරමින්ම විවේචනයට ලක් විය යුතු බව අපගේ විශ්වාසයයි. ‘අයිය මළෝ’ නාට්‍යයේ සකලවිධ කලාත්මක සීමාකම් පැනනගිනුයේ මෙම දෘෂ්ටිමය සීමාවෙනි. එබැවින් ප්‍රගල්භ දේශපාලන උපහාස නාට්‍ය කලාවක අවශ්‍යතාව ඇති සමාජ මොහොතක ‘අයිය මළෝ’ නාට්‍ය පිළිබඳ මේ විවේචනය එල්ල නොකරම බැරිය. ඒ කලින්ද සඳහන් කළ පරිදි ‘සායා’ දිගුකාලයක් පුරා ලංකාවේ වේදිකාව මත කලාත්මක ශ්‍රමය වැගිරූ නාට්‍යකරුවෙක් පමණක්ම නොවන නිසාය. ඔහුගේ නාට්‍යමය ප්‍රස්තුත සලකා බලන විට දේශපාලනමය නාට්‍ය කලාවක්, දේශපාලන සෞන්දර්යවේදයක් පිළිබඳ ඔහුගේ ඇති විශ්වාසය නිසාය. එබැවින් වඩා පරිණත කලාත්මක ප්‍රකාශනයක් දේශපාලන සෞන්දර්යවේදයක් අවශ්‍යව ඇති සමාජ මොහොතක අප මේ විවේචනය සටහන් නොකර සිටින්නේ නම් එය නාට්‍යකරුවාට පමණක් නොව, මුලුමහත් සමාජයට කරන වංචාවක් යැයි අප විශ්වාස කරමු.

එබැවින් ‘අයිය මළෝ’ නාට්‍ය පිළිබඳ වන අපේ මේ විවේචනය, නාට්‍යකරුවකු ලෙස ඔහුව බැහැරින් තබා සිදුකරන විවේචනයක් නොව, විපර්යාසකාරී කලාවක හා විපර්යාසකාරී දේශපාලනයක ඓන්ද්‍රීය ‌කොටස්කරුවන් ලෙස අප පඅගේම භාවිතාවන් පිළිබඳ යළි සිතා බැලීමකි. එනම්, තත්කාලීන දේශපාලන හා සමාජ සිදුවීම්වලට ප්‍රතිචාර දක්වන අතරේම දේශපාලනය තත්කාර්යවාදයෙන් ගලවා ගනුයේ කෙසේද? ලංකාවේ රැඩිකල් කලාව හා දේශපාලනය විප්ලවීය භාවිතයක් දක්වා ඔසවා ලන්නේ කෙසේද? යන බරපතළ ගැටලුව මේ හා බැඳී පවතී.

උපුටා ගැනීම රළ අතිරේකය 

leave a reply