චීන පොහොර නැවෙන් සිදුවූ පාඩුව රුපියල් මිලියන 1,382 ක්

Date:

චීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

සිය වාර්තාව මගින් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් එම පාඩුව අයකර ගන්නා ලෙසයි.

පසුගිය අගෝස්තු 6 වනදා විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම විගණන වාර්තාවකට අනුව චීන කාබනික පොහොර ගෙන්වීමේදී රජයට සිදුකර ඇති පාඩුව පිළිබඳව අනාවරණය කර තිබෙනවා.

රසායනික පොහොර ආනයනය 2021 වසරේදී තහනම් කිරීමෙන් අනතුරුව එවකට රජය 100%ක් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට නොහැකිවීමෙන්, සීමාසහිත චීනයේ කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම වෙතට කාබනික පොහොර ආනයනය සඳහා අනුමැතිය ලබාදී තිබේ.

එම කාබනික පොහොර සාම්පල පරීක්ෂාවේදී ඒවා ජීවානුහරණය කර නොමැති බවත් එහි “අර්වීනියා” හා “බැසිලස්” නමැති අහිතකර බැක්ටීරියා ඇති බවත් ජාතික ශාක නිරෝධායතනය නිරීක්ෂණය කර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එවැනි වාර්තාවක් නිකුත් කර තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සාමාජිකයන්ගෙන් යුතු විශේෂ කාර්ය කමිටුවක් හරහා ලබාදුන් නිර්දේශ මත අදාළ කාබනික පොහොර තොගය ආනයන කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට රජයේ පොහොර සමාගම් දෙක වන සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම කටයුතු කර ඇති බව එම විගණන වාර්තාව පෙන්වා දෙනවා.

ටොන් 20,550කින් යුත් චීන කාබනික පොහොර කොළඹ වරායට ගොඩබෑමට උත්සාහ කළ ද එය ශාක නිරෝධායන නීතියට පටහැනි බැවින් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ අතර ඒ ගනුදෙනුව මුල්කරගෙන කොළඹ වාණිජ මහාධිකරණයේ ගෙන ගිය නඩුකරය සමථයකට පත්වී ඇත්තේ සමස්ත නැවේ පිරිවැයෙන් සියයට 75ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට රජය කටයුතු කිරීම හේතුවෙනි.

ඒ අනුව, රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුකර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වාදෙන අතර අත්තිකාරම් ගෙවීම සිදුකර ඇත්තේ කිසිදු සුරක්ෂිතයකින් තොරව බව එහි සඳහන් වෙයි.

ඒ අනුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් මුදල් අයකරගන්නා ලෙස නිර්දේශ කරන විගණකාධිපතිවරයා යෝජනා කර සිටින්නේ සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුව සහ ගිවිසුමට අනුව ක්‍රියා නොකිරීම නිසා සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙසයි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...