Breaking News

ඉබ්බෙක් පියාඹනවා පෙන්නුවත් රනිල් මැතිවරණයකින් දිනනවා පෙන්නන්න බැහැ.

අද පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියා රනිල් වික්‍රමසිංහ මැතිවරණ සදහා මුදල් වෙන්කර ඇති බව පැවසුවද මැතිවරණ පවත්වන බව පැවසුවද මැතිවරණයක් පවත්වන්නට තියෙන සම්භාවිතාව අඩු බව.

එහිදී ඒ පිළිබඳව පැහැදිලි කළ ඔහු කියා සිටියේ මැතිවරණ පවත්වනවා නම් ඊට අදාළ තොරතුරු රාජාසන කතාවට එකතු විය යුතුව තිබුණු බවයි. රනිල් වික්‍රමසිංහ රාජාසන කතාවේදී එවන් දෙයක් නොපවසන්නේ යම් ව්‍යවස්ථා ගැටයක් ගසා තවත් කාලයක් බලය රඳවා ගැනීමට උත්සාහ කරන නිසා දැයි යන සැකය මතුවන බවයි.

රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පුබුදු ජයගොඩ කියා සිටියේ රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ලෙස විශාල ප්‍රතිරූපයක් මවාගෙන සිටියාට මැතිවරණයක් හමුවේ ඉතා පුංචි මිනිහෙක් වන බවත් මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කරන්නට බැරි බවත් ඒ නිසා ඔහු මැතිවරණ පවත්වන බව ප්‍රකාශ කළද මැතිවරණ නොපවත්වා ව්‍යවස්ථා ගැට ගහලා ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය කරගන්නට සූදානම් වීමේ ඉඟියක් රාජාසන කතාවේ පැවති බවයි.

leave a reply