Breaking News

ගුරු – විදුහල්පති අරගලයේ පියවරක් ඉදිරියට – තුනෙන් එකක කොටස එකවර දෙන්න එකඟ වෙයි

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අද (10) අගමැතිවරයාගේ සහ මුදල් ඇමතිවරයාගේ සහභාගීත්වයන් පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ජාවේදී වැටුප් විෂමතාවයෙන් තුනෙන් එකක කොටස එකවර ගෙවීමට එකඟ වී තිබේ.

මෙවර අයවැය මගින් මෙම තුනෙන් එකක කොටස ලබාදීමට ආණ්ඩුව පොරොන්දු වී ඇත.

එම සාකච්ජාව සඳහා අගමැතිවරයා, මුදල් ඇමතිවරයා සහ තවත් ඇමතිවරු කිහිප දෙනෙක් මෙන්ම ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින්ද සහභාගී වී ඇත.

ගුරු – විදුහල්පති සංගම් පවසන ආකාරයට මෙම එකඟවීම හරහා දින 120කට වැඩි කාලයක් ගෙනගිය අරගලයේ ආරම්භක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වී තිබේ.

ගුරු – විදුහල්පති අරගලය ආරම්භ වීමත් සමඟ ආණ්ඩුව විවිධ අභූත චෝදනා නගමින් අපහාස කරමින් එය මර්දනය කිරීමට උත්සාහ ගනු දක්නට ලැබුණි. එයින් අරගලය මැඩපැවැත්වීමට නොහැකිවූ තැන ආණ්ඩුවේ ඊළඟ පියවර වූවේ ඍජු මර්දනයක් කැඳවීමයි. එහිදී වසංගතය දඩමීමා කරගනිමින් අරගල සඳහා සම්බන්ධ ගුරුවරු අත්අඩංගුවට ගැනීම, ගුරුවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීම, ගුරුවරුන්ට එරෙහි ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කිරීම වැනි පියවර දැකිය හැකිවිය.

ආණ්ඩුව පාර්ශවයෙන් ගුරු සංගම් වෙත සාකච්ඡා ලබාදීමට සිදුවූවේ මෙම අඛණ්ඩ අරගලයේ ප්‍රථිපලයක් ලෙසයි. එසේ නොමැතිව ආණ්ඩුවට මේ ඉල්ලීම් ලබාදීමට කිසිදු වුවමනාවක් තිබුණේ නැත.

කෙසේවෙතත් දැනට ආණ්ඩුව ලබාදීමට එකඟ වී ඇත්තේ වැටුප් විෂමතාවයෙන් 1/3ක් පමණි. ගුරු සංගම් පවසන ආකාරයට වැටුප් විෂමතාවය අවසන් කිරීම වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබේ.

දැනට ආණ්ඩුව ලබාදී ඇති පොරොන්දුව අයවැයේදී නිල වශයෙන් ප්‍රකාශ කරන්නේද යන්න ගැන අවධානයෙන් සිටින බව ගුරු – විදුහල්පති සංගම් පවසයි.

ඒ අනුව ගුරු – විදුහල්පති සන්ධානය ලෙස ලබන 12 වෙනිදා විහාරමහා දේවි උද්‍යානයට විරෝධතා රැළියක් පැවැත්වීමටද නියමිතව ඇති බව වාර්තා වේ.

leave a reply