Breaking News

ඉතිහාසයට ටොකු අණින ගාමිණීගේ මතක ගිණි පුපුරු

සරද සමරසිංහ

ජවිපෙ සන්නද්ධ අරගල ඉතිහාසයට සම්බන්ධ වුවන් සහ ඒ ඉතිහාසයේ අත්දැකීම් ලැබුවන් තම මතක ඇසුරෙන් පොත් කිහිපයක්ම ලියා ඇත. අද වගේ දියුණු ජාලගත සමාජ සන්නිවේදන මාදිලියක් නොතිබූ ඒ අවදියේ සිදුවූ සන්නද්ධ අරගලයේ ඉතිහාසය ගවේෂණය කරමින් පොත් ලියපු අය බොහෝ අනන්‍යතා අර්බුද වලට මුහුණ පෑ අයුරු දක්නට ලැබේ. ඊජිප්තු පිරමිඩ වල රහස ඊජිප්තු ජාතිකයන්ටත් රහසක් වනවා සේ අරගලයට සම්බන්ධ වුවන්ටද සමස්ථ අරගලය පිළිබධ ඩ්‍රෝන්මය අදහසක් ලබාගැනීම පිරමිඩ ඊජිප්තු ආකාරයේ කුතුහලයකි. අරගල ඉතිහාසයේ  කුතුහලය පොත් වල අහුරා ජනගත කරපු කතෘවරුන්ගේ නවතම කෘතිය වන්නේ ගාමිණි මුතුකුමාරණ මහතාගේ මතක ගිණි පුපුරු කෘතියයි. මෙහි විශේෂත්වය වන්නේ ගාමිණි ජවිපෙ සන්නද්ධ අරගල ඉතිහාසයට ටොකු ඇනිමයි.

ඉතාමත්ම සරල ලගන්නාසුළු භාෂා උපක්‍රමයකින් රචනා කොට ඇති මත ගිනි පුපුරු හැත්තෑව දශකයේ සහ අසු, අණු දශකයේ ජවිපෙ සන්නද්ධ අරගලයේ ඔහු මුහුණ දුන් අත්දැකීම් ඇසුරෙන් සහ ‘සොයාගත්’ තොරතුරු ඇසුරෙන් සමස්ථ අරගල ඉතිහාසයම පොතකට කැටි කරයි.

ජීවන අත්දැකීම් ඇසුරෙන් ස්වයන් චරිතාප්‍රධන පොත් ලිවීම ලෙහෙසි  කටයුත්තක් නෙමේ. ඒ සදහා ලොකු නිර්භිතකමක් සහ සත්‍යවාදී දැක්මක් තිබිය යුතුය. මෑතකදී සිංහල බසට පවා පරිවර්ථනය කෙරුනු ගාර්ෂියා මාර්කොවෙස්ගේ ස්වයන් චරිතාප්‍රධනය එවන් අවංක කෘතියකි. එහිදී ඔහු ඇසුරු කල ගැහැනුන් ගැන මෙන්ම ඔහු ප්‍රසිද්දියට පත්වී ඇති ඔහුගේ සාහිත්‍ය ජෝන්රය වන මැජිකල් රියලිසම් ගැන පවා අවංක අදහස් ඔහු කියයි. ගාෂියා කියා සිටින්නේ මැජිකල් රියලිසම් යනු ඔහු විසින් බිහිකරන ලද සාහිත්‍ය ජොන්රයක් නොව ඒ අවධියේ බොහෝ කොලොම්බියා ජාතික සාහිත්‍යකරුවන් භාවිතා කරන ලද ජෝන්රයක් වූ බවත් ගාෂියා ජනප්‍රිය වීම නිසා මාධ්‍ය විසින් එය ගාෂියාගේ භාෂා විලාසය ලෙස ප්‍රකාශයට පත්කළ බවයි.

ගාමිණීගේ මතක ගිණි පුපුරු තුල සන්නද්ධ අරගලයේදී හදුනාගත් ද්‍රෝහීන් පිලිබදව සදහන් කිරීමට සැලකියයුතු පිටු කිහිපයක් වෙන්කරයි. සන්නද්ධ ව්‍යාපාරය හැරගිය වුන් සහ ඉන් ඔබ්බට ගොස් සන්නද්ධ ව්‍යාපාරයේ සතුරා වූ රාජ්‍ය සමග එක්වූ මිනිසුන්ගේ ජිවිත වලට කිදා බැස ඔවුන් පිලිබදව ක්ෂුද්‍ර නිරීක්ෂණයක් කිරීමට ගාමිණි පෙලෙබවී ඇත. සතුරා සමග එක්වූ සන්නද්ධ ව්‍යාපාරයේ සාමාජිකයන් විප්ලවයේ හැරවුම් ලක්ෂයක් වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. මේ කාරණය ලංකාවේ ඉතිහාසයේ සන්නද්ධ අරගල වලටද පොදු කාරණයකි. ජවිපෙ සන්නද්ධ අරගලයෙන් අතරමැද දමාගිය නායකයන්ගේ ලිංගික ප්‍රශ්න, සමලිංගික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න සමග  නායකත්වය හරිහැටි ගනුදෙනු නොකිරීම නිසා ඔවුන් සතුරා සමග එක්වීමට හේතු වුවා යැයි ගාමිණි මතක ගිනි පුපුරු තුලින් අවධාරණය කරයි. එහෙත් අනෙකා වෙත කෙරෙන මේ ක්ෂුද්‍ර නිරීක්ෂණය විප්ලවයේ ගාමිණි මුතුකුමාරණ භූමිකාව වෙත සිදු නොකරයි. ලංකාවේ සන්නද්ධ අරගල දෙකකට සම්බන්ධ වී තවමත් ඉතිරිව සිටින අතලොස්සක් වූ පිරිස අතරින් කෙනෙකු වන ගාමිණි ගේ මෙම නිරීක්ෂණය පට්ට ආදේශපාලනිකය. නැතිනම් ගාමිණීට සත්‍යවාදී සාහිත්‍යකරුවෙකු වීමේ golden club එක අහිමි වී ඇත. මතක ගිනි පුපුරු තුලින් ගාමිණීගේ අවධාරණයෙන් බැහැර යන කරුණ නම් කුමන නිෂේධන සමාජ සාධක මධ්‍යයේ වුවද එදා සමාජයේ මිනිසුන් සහ ගැහැණුන් පිරිසක් රාජ්‍යට එරෙහිව තීරණාත්මක අරගලයක් කල බවයි.

මෙම කෘතියේ විප්ලවයේ සිද්ධි පෙලගස්සවිම ඉතා අපුරුය. සිද්දි එකිනෙක අපුරුවට ගලපමින් කියවන්නා විප්ලව දෙකක අතීත මතක තුලට කිදා බැස තබයි. අනෙක් අතට මෙම කෘතිය විප්ලවයේ සිද්ධිමය හරබයකි. විප්ලවයේ ඉතා තීරණාත්මක අවස්ථා වලට ඔහු ඉතා සරලමතික ලෙස නිරීක්ෂණයන් එක්කරයි. එකල ජනප්‍රිය කලාකරුවෙකු සහ පාර්ලිමේන්තුවාදී වාම ප්‍රවාහයේ දේශපාලන තරුවක් වූ විජය කුමාරණතුංග ඝාතනය විප්ලවයේ තීරණයක් බව ඔහු කියයි. වර්ථමානයේ  පවා දේශපාලන ලෝකයේ විවාදාත්මක කාරණා වක් වන මෙම ඝාතනය පිලිබදව ගාමිණී කිසිම ගවේෂණයක් හෝ ගැබුරු නිරීක්ෂණයක් නොකරයි. ඒ වෙනුවට ඔහු විජය ඝාතනය සරලමතික අදහසක් සහ සිද්දියක්  ලෙස තම කෘතියේ අදහස් සැලඩ් එකට එක් කරයි.

කෙසේ වෙතත් කොලබ අගනගරයේ සංස්කෘතියේ ඉපිද ග්‍රාමීය තරුණ පිරිසකගේ විප්ලවයට දායක වූ සුනිලා අබේසේකර පිළිබද සිද්ධිමය කාරණා ඉතා සංවේදී වෙයි. ඇයට සංවිධානයෙන් නික්මීමට සිද්ධ වූ සංස්කෘතික කාරණා අදට පවා සංවාදයට බදුන් කලයුතු දේශපාලන වැඩකි. එහෙත් ගාමිණි මතක ගිනි පුපුරු වල සුනිලා පරිච්චේදය හුදු කුතුහලය ඇවිස්සිමකින් කෙලවර කර දමයි. ඇතම් සිද්ධිමය වාර්ථා ඇති සරලමතික කිරීම ඉතා භයානකය. කර්නල් මුතාලිෆ් වැන්නෙක් විප්ලවය මර්ධනය කිරීමට පෙරමුණ ගෙන ඇත්තේ ඔහුගේ පෙම්වතිය ඝාතනය කිරීමේ ලෙයට ලෙය පලිය ගැනීමේ හුදු මිනිස් සිතිවිල්ලක ප්‍රථිපලයක් ලෙස මිස බව ගාමිණී කියන්නේ මුතාලිෆ් රාජ්‍ය මර්ධන යාන්ත්‍රණයේ අතකොළුවක් වූ බව කියන දේශපාලන කාරනාව අමතක කරමිනි.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ අරගලය සිදුවී දැන් දශක තුනකුත් පසුවී ඇත. විජෙවීර ඝාතනය කෙරුවාට පසු ඉපදුනු මිනිසුන් සහ ගැහැනුන්ගේ පරම්පරාව දැන් රටේ ජනමත ප්‍රධානින් වී ඇති අතර ඔවුන් බොහෝ දෙනෙක් විප්ලවය දකින්නේ ත්‍රාසජනක සිද්දි මාලාවක් හැටියටය. අපේ ඊලග පරම්පරාව රෝහණ විජෙවීර නොහදුන පරම්පරාවකි. රාජ්‍යට එරෙහිව අරගල කිරීමේ ස්භාවය දැන් වෙනස්ව ඇත. එහෙත් රාජ්‍යට එරෙහි වීමේ තීරණාත්මක බව, ත්‍රාසජනක සිද්ධි වරගන්වන සිහිනයකට එහා ගිය දේශපාලන ගවේෂණයකි. ගාමිණි සහෝදරයාගේ මතක ගිනිපුපුරට සුබපැතුම්.



 

 

 

 

 

 

leave a reply