Breaking News

ළමා පෞර්ෂය බිඳ වැටීමට දෙමාපිය අඬදබර බලපායි.

දුල්මිනි එස් සෙනවිරත්න

ළමයාගේ කායික, බුද්ධිමය හා මානසික වර්ධනය වගේම පෞර්ෂයද ක්‍රමයෙන් වර්ධනය වේ. පෞර්ෂ වර්ධනයේදී පුද්ගලගත අන්තර් සාධක මෙන්ම බාහිර සාධක ද බලපායි. බාහිර සාධක යටතේ කුස තුළ කාලය සහ මෙලොව උපත ලැබූ පසු අවධීන් තුළ පුද්ගලයා පෞර්ෂයෙන් ගොඩනැගෙන බව මනෝවිද්‍යාඥයින් විසින් කළ පර්යේෂන මඟින් සනාථ වේ. එම නිසා දෙමව්පියන්ගේ අඬදබර කුඩා දරුවන්ට මෙන්ම නව යොවුන් වියේ පසුවන්නන්ට ද බෙහෙවින් බලපායි.
පවුල් ආරවුල් හා දෙමව්පිය ගැටුම් දරුවාගේ මනසට බෙහෙවින් බලපානවා. සාමාන්‍යෙයන් දරුවකු ලෙස සලකනුයේ වයස අවුරුදු 18 දක්වා කාල සීමාවයි. නමුත් මනෝවිද්‍යාවට අනුව යොවුන් විය දක්වා කාලය තුලද පුද්ගල පෞර්ෂයන් වර්ධනය වේ. මනෝවිද්‍යාඥයින්ගේ පර්යේෂන තුළින් ඒ බව සනාථ වෙනවා. ̏සිග්මන් ෆ්‍රොයිඩ්” විසින් ඉදිරිපත් කළ මනෝ-ලිංගික සංවර්ධන පිලිබඳ අවධි හා ̏එරික් එරික්සන්” විසින් ඉදිරිපත් කළ මනෝ- සමාජ සංවර්ධන අවධි පිලිබඳව න්‍යාය මේ අනුව පෙන්වා දෙන්න පුළුවන්.

පවුලේ මාපිය ආරවුල් නිසා දරුවන් ගේ පෞර්ෂ දුබලතා සම්බන්ධ රෝග නිර්මාණය වෙනවා. වැඩිහිටියන්ගේ මානසික රෝග බොහෝමයකට මූලික හේතුව කුඩා කාලයේදී ඒ පුද්ගලයන්ගේ ගොඩනැගුන පෞර්ෂ දුබලතා නිසාය.

උදාහරණ- වැඩිහිටි වියේ ප්‍රචන්ඩකාරී අයෙකු බිහි වන්නේ කුඩා කාලයේ ප්‍රචන්ඩකාරී පරිසරයක ජීවත්වීම නිසා ලද අත්දැකීමය(පෞර්ෂය)
මාපිය අඬදබර නිසා දරුවන් ඔවුන්ගේ අවවාද නොපිලි ගනී. මෙවැනි තත්වයක සිටින දරුවන් යොවුන් වියේදී දඩබ්බර, හිතුවක්කාර පුද්ගලයන් වේ.

මෙම අඬදබර නිසා දෙමව්පියන් පිලිබඳව ඇති සෙනෙහස, විශ්වාසය බිඳ වැටේ. එම නිසා දරුවන්ගෙන් ඈත් වී තනිව සිටීමට තැත් කරයි. එසේත් නැතිනම් තමාට ඇලුම් කරන පිටස්තර සෙනෙහසක් සොයා යයි. මෙමපිටස්තර අය හොඳ නරක දෙපාර්ශවයම විය හැකිය. එම අවස්ථාවෙන් ප්‍රෙයා්ජන ගන්නා අය හමුවූයේ නම් දරුවන් අපයෝජනයට ලක් වේ. මෙම තත්වය නිසා දරුවන්ගේ මානසික අවපීඩනය තවත් වැඩි වෙයි. අනාගතයේ දී පලි ගන්න පුද්ගලයා බවට පත්වන්නේ ද මෙවැනි පෞර්ෂ දුබලතා ඇති දරුවන්ය. මෙවැනි තත්වයට මුහුණ දුන් දරුවන්ගේ දෙමව්පියන් දරුවාගේ වැරැද්දක් ඇති බව පවසනවා විනා ඔවුන් නිසා දරුවන් එම තත්වයට පත්වූ බව පිලිනොගනී.

මෙසේ පෞර්ෂ දුබලතා නැතිනම් මානසික අවපීඩනයට ලක්වූ දරුවන් තුළ ඇති ලක්ෂණයන් ලෙස
 නින්ද නොයෑම
 තනිව සිටීමට ප්‍රිය කිරීම
 ඉගෙනීමට තිබූ උනන්දුව අඩුවීම
 පාසැල් නොයෑම
 පිරිසිදුකම අඩු වීම
 ස්නානය නොකිරීම
 කෑම අරුචිය
 තරහා ගැනීම
 දෙමව්පියන් නොරුස්සීම
 ක්‍රීඩා/ සෙල්ලම් වැනි ක්‍රියාවලින් මඟහැරීම
 වැරදි ඇසුරට පෙලඹීම
 මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවිම
යනාදිය පෙන්වා දීමට පුළුවන.

දරුවාගේ පෞර්ෂ දුබලතා ඇති වීමට පෙර දෙමව්පියන් විසින් ඔවුන්ව සංවර්ධනය කළ යුතුය. මන්ද, පෞර්ෂ වර්ධනයේ ඇතිවන පළමු භූමිකාව පවුල වන නිසාය. පවුල් පරිසරයෙන් පසු සමාජ පරිසරයට පිවිසෙන දරුවා සදාචාරත්මක පුද්ගලයකු ලෙස දැකීමට දෙමව්පියන් වග බලා ගත යුතුය.

මෝහන චිකිත්සිකා /මනෝ චිකිත්සිකා හා මනෝ උපදේශිකා මනෝවිද්‍යාව/බෞද්ධ මනෝවිද්‍යාව හා ජනසන්නිවේදනය ප්‍රවීණ දේශිකා

leave a reply