‘රට කාපු’ රනිල්ට වෙඩි තියන්න ස්නයිපරයක් ඉල්ලු තරුණයා අත්අඩංගුවට

එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිපර් වර්ගයේ ගිණි අවියක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයක්.

බේකරිය නිෂ්පාදන ජංගම අලෙවිකරුවකු ලෙස සේවය කරනු ලබන මෙම තරුණයා, ඊයේ (03) දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවලදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන ගොස් තිබෙනවා.

උතුරු මැද පළාතේ පැරණිතම පාසල වන එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් එළැඹෙන 07 වන දින පස්වරු 03.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිත අතර, එහිදී එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිතයි.

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ සංවත්සරයට සමගාමීව සැප්තැම්බර් මස 05 හා 06 දෙදින විද්‍යාල පරිශ්‍රයේදී සැමරුම් උත්සව මාලාවක් සංවිධානය කර තිබෙනවා.

එම උත්සවය වෙනුවෙන් එළැඹෙන 07 වැනි දින ජනාධිපතිතුමන් සහභාගී වීමට සිටින පසුබිමක අදාළ තරුණයා විසින් ඊයේ දින පෙරවරුවේ තම ෆේස් බුක් පිටුවේ “මේ කවුරු හරි ලඟ තියෙනවාද ස්නයිපර් එකක් සැප්තැම්බර් 07 වැනිදාට ගන්න එප්පාවලට රට කාපු ලොකුම කාලකන්නි හොරා එනවා ඌට වෙඩි තියන්න” යනුවෙන් සටහනක් තබා තිබෙනවා.

එම සටහන සම්බන්ධයෙන් බුද්ධි අංශ නිළධාරීන්ට තොරතුරු ලැබීමෙන් අනතුරුව පරීක්ෂණ සිදු කිරීම සඳහා ඔහු එප්පාවල පොලීසියට කැඳවා කරුණු විමසා තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා අදාළ තරුණයා ඊයේ රාත්‍රියේම කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙන අතර මේ වන විට අදාළ සටහනද එම තරුණයා විසින් සිය ෆේස්බුක් ගිණුමෙන් ඉවත් කර තිබෙනවා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලසුමක් හෝ අවශ්‍යතාවක් ඔහුට නොතිබූ බවට තොරතුරු අනාවරණය වු බව සඳහන්.

අදාළ තරුණයාගේ පියා කුලී රථ රියදුරකු ලෙස සේවය කරන බවත්, ඔවුන් අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් නොවන බවත් අනාවරණය වී තිබෙනවා.

අදාළ තරුණයා ස්නයිපර් ගැන දන්නේ කෙසේදැයි විමසා ඇති අතර, තමන් PubG වැනි පරිඝණක හා ජංගම දුරකථන ක්‍රීඩා සිදු කරන බවත්, ඒවායේ දුර සිටින පුද්ගලයින් ඝාතනය කිරීම සඳහා ස්නයිපර් යොදා ගන්නා බවත් පවසා තිබෙන අතර තමන් මෙම ෆේස්බුක් සටහන දුරදිග නොසිතා දැමුවක් බවට පරීක්ෂණ නිළධාරීන් හමුවේ පවසා තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...