Breaking News

විනාශකාරී ගමන නවත්වන්න, මහජන බලයක් ගොඩනගන්න, ඉදිරියට එන්න !

‘ජනතාවගේ සතුරන් කවුද? මිතුරන් කවුද?’ යන තේමාවෙන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සැප්තැම්බර් 12 වැනිදා මහවැලි කේන්ද්‍රයේ පැවැත්වූ සම්මන්ත්‍රණයේදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්  කළ කතාවේ සංක්ෂිප්ත වාර්තාව.

“රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පහුගිය දවසක පෞද්ගලික රෝහලක උත්සවයකදි කිව්වා ලංකාවේ වෛද්‍යවරු හිගයක් තියෙන නිසා පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතන පිහිටුවන්න අවසර දෙන්න තීරණය කළ බව. ඔහු මේක කියන කොට අපට මතකයි, මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය එක්ක එකතු වුණු මහජන විරෝධතාවක් නිසා ‘සයිටම්’ උපාධි කඩය වහලා දාන්න සිදුවුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත යටතේ පෞද්ගලික උපාධි ආයතන පිහිටුවන උථ්සාහයත් ඒ ආකාරයෙන්ම විරෝධය නිසා අකුලා ගත්තා.

ඊළඟට මේ රටේ සෞඛ්‍ය සේවය යටතේ බාල ඖෂධ ලබා දීමෙන් මරණ හා වෙනත් ගැටලු මතුවන අවස්ථා මෑතක තිබුණා. රෝහල් පද්ධතිය ගැන විශ්වාසය බිඳ දැමීමේ උත්සාහයක් තිබෙද කියන ප්‍රශ්නය මතු වුණා. ඒ අතරම ආණ්ඩුව වෘත්තිකයන්ට බදු ගැසීම නිසා වෛද්‍යවරු වගේම විශ්ව විද්‍යාල ආචාර්යවරු, ඉංජිනේරුවො ආදි පුහුණු ශ්‍රම බලකාය විදේශයන් කරා සංක්‍රමණය වෙනවා. මේවයින් අපට පෙනෙන්නෙ ආර්ථික සැලැසුම් හරහා මේ රටේ මහජන සේවා, සමාජ සුබසාධන පෟද්ගලික ප්‍රාග්ධනයට පවරා දීමේ දිශාවට යන තත්වයක්.

2019 පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ මලමිනි මතින් බලය ගත්ත ගෝඨාභයගේ ප්‍රශ්නය තියෙද්දිම ආපහු වැනිම බල ක්‍රීඩාවක් එනවද කියන ප්‍රශ්නය අප තියෙනවා. ඒ අතර මෑතකදි ‘වැඩිය කෑ ගැහුවෙත් මම සේරම එළි කරනවා’ කියලා මෛත්‍රිපාල කියනවා. මේ රටේ හිටප ජනාධිපතිවරයෙක් එයා දන්නවා කියන්නෙ නෑ කියලයි කියන්නෙ. ඒ විදියට මිනිසුන් බිලිගත් ප්‍රහාරය මේ රටේ ඔත්තු සේවා දැන ගෙන හිටිය බවත් දන්නවා. පාලකයන් දැන ගෙන හිටියත් වළක්වන්න කටයුතු කළේ නෑ. මේ සියල්ල තුළ නැවත පාස්කු ප්‍රහාරයක්ද එන්න යන්නෙ කියන සැකය තියෙනවා

නැවත අපිට මතකයි, රනිල් වික්‍රමසිංහ අර රෝහලක කළ කතාවෙදි කියනවා එයාටත් ලෙඩෙක් ඉන්නවා කියලා. අපි දන්නවා රනිල් අනුප්‍රාප්තික ජනාධිපති වුණාට පසසේ රට කොයි පැත්තටද ගමන් කළේ කියලා. සමහර දේශපාලන අභිප්‍රායන් මුල්කරගෙන රනිල්ගෙ දේශපාලනයට ආවඩන අය සහනයක් ආවා කියලා කියන්න පටන් ගත්තා. ස්ථාවරත්වයක් ඇතිව තිබෙන බව ඔවුන් කියනවා. මේ කියන ඊනියා ස්ථාවරත්වය කියලා අපි වටහා ගන්න ඕන. ඒ අය ස්ථාවරත්වය ලෙස නිර්වචනය කරන්නෙ කොහොමද?

අපේ දෛනික ජීවිතයේ ගැටලු ගැන අපි දන්නවා. 2019 පාස්කු ප්‍රහාරය එන කොටත් ආර්ථිකය දුර්වලයි. ආර්ථිකය ඒ ප්‍රහාරයෙනුත් බිඳ වැටුණා. කොවිඩ් නිසාත් දුර්වල වුණා තමයි. නමුත් අපි දන්නවා අපේ ආර්ථිකය ඊට පෙර සිටම දුර්වල වෙලා බිඳ වැටෙමින්, ණය අර්බුදය හා විනිමය හිගය තුළ තිබුණෙ. 2022 වෙද්දි පාර්භෝගික භාණ්ඩ මිල ඉහළටම ගිහින් ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් ආවා. ජනතාව වීදි බැස්සෙ ඒ නිසා. දැන් මොකද වෙලා තියෙන්දෙැන් මේ රටේ ජනතාවගේ ආදායම්වල කිසිදු වෙනසක් වෙලා නැති තත්වයක් තුළ රුපියලේ අගය ශක්තිමත් වෙලා කියනවා. රනිල් වික්‍රමසිංහ ආවයි කියලා රටේ ජනතාවගේ ජීවන තත්වය යහපත් වෙලා නෑ. පුංචි වෙනස්කම් ලොකු කරලා පෙන්වන නමුත් අපට කිසිම සහනයක් වෙලා නෑ. අපි කොහෙද හිටියෙ දැන් කොහෙද ඉන්නෙ කියන එක අපි දන්නවා.

අර්බුදය නිසා තමයි මහජන අරගලයක් පැන නැගුනෙ. ඒ නිසා අපි ඒකට කිව්වා මහජන නැගිටීමක් කියලා. මේ රට් සාමාන්‍ය ජනතාව, වැඩකරන ජනතාව, සුලු ව්‍යාපාරිකයන්, මධ්‍යම පන්තිකයන් වගේම ව්‍යාපාරකි ප්‍රජාවත් සම්බන්ධ වුණා. මේ සියලු ස්ථරවලට මේ ආර්ථක අර්බුදය බලපෑව නිසා ඒ අරගලය ශක්තිමත් කරන්න ඔවුන් එකතු වුණා. ඩොලර් ප්‍රශ්නය නිසා සුපිරි ව්‍යාපාරික පැලැන්තියත් ගෝඨාභය පාලනය අවසන් කරන්න ඉදිරියට ආවා.

සමහර බාහිර බලපෑම නැතිවා නෙවෙයි, අසල්වැසි රටවල ඔත්තු සේවා මේකට සම්බන්ධ වුණා. නමුත් මහජනයාට මේ පාලනය පළවා හැරීමට තිබුණ උවමනාව එහි මූලික කාරණය බව අමතක කරන්න බෑ. ඒ නිසාම මේ අරගලය කාගෙවත් කුමන්ත්‍රණයක් ලෙස පටු කරන්න බෑ. නමුත් රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවෙ බලයට පත් වෙන්නෙ රාජපක්ෂලාගෙ අරමුණ මත. ඒ වගේම ව්‍යාපාරික පැලැන්තිය සමග සම්මුතියකට ඇවිත් යම් එකඟතා හදා ගත්තා. කලාපීය භූ දේශපාලන ගැටුම තුළ රාජපක්ෂ පාලනය තුළ චීනයට වාසිදායක තත්වයක් ආවා.

දැන් රනිල් රාජපක්ෂ පාලනය තුළ තමන්ගෙ පැවැත්ම ආරක්ෂා කරගත් පිරිස ඒක ආරක්ෂා කරන්න උත්සාහ ගන්නවා. මේ වනවිට මේ අර්බුදය නිසා වැඩියෙන්ම බැට කාලා තියෙන්නෙ සාමාන්‍ය ජනතාව. රජයේ සේවකයන්, සුලු ව්‍යාපාරිකයන්, දෛනික රැකියා කරන අය. ඉතිහාසයේ මුහුණ දුන් අර්බුදයෙන් වැඩිම පීඩාව ලැබූ අය පැත්තක ඉඳිද්දි මේ වනවිට බදු සහන දීලා තියෙන්නෙ කාටද? සුපිරි ව්‍යාපාරික පැලැන්තියට සහ දැවැන්ත ලාභ උපයන ඔවුන්ගේ සමාගම්වලට. නොගෙවූ බදු බිලියන 1000ක් වෙලා තියෙද්දි එයින් බිලියන 700ක් පමණ කපා හැරියා ආණ්ඩුව තීරණයක් අරගෙන. සුපිරි වෙළඳ පැලැන්තියට බදු සහන දීලා සාමාන්‍ය ජනතාවගේ බදු වැඩි කළා. සාමාන්‍ය යුක්තියට අනුව වැඩියෙන් සහන දෙන්න ඕන වැඩියෙන් පීඩා විඳින අයට.

මේ වනවිට වැට් බදු 15% කරලා, සමාජ ආරක්ෂෙණ බදු 2.5%ක් අලුතින් හඳුන්වලා දීලා, මේවා ඔක්කොම පහළ පන්තියට. විදුලි බිල වැඩි කළේ සාමාන්‍ය විදුලි පරිභෝජනයක් කරන ජනතාවගෙන් වැඩියෙන් අය කරගන්න. ඒ නිසා දැන් ජල බිල වැඩි කළා. ඒ විතරක් නෙවෙයි. මේ වනවිට ආණ්ඩුව විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය නමින් කළ සංශෝධන නිසා රටේ වැඩකරන ජනතාව මහන්සියේ ඉතුරු කරන ජීවිතයේ අවසානය රැකවරණයක් කියලා හිතාගෙන ඉන්න, සේවක අරමුදල්වලට අසාධාරණ ප්‍රතිඵලයක් එන්නෙ. බදු වංචා කළ ව්‍යාපාරිකයන්ට නැති ආකාරයෙන් සේවකයන්ගෙ ඊපීඑෆ්. ඊටීඑෆ් අරමුදල්වලට බදු ගහන්න ආණ්ඩුව හදන්නෙ.

ලෝකයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මැදිහත් වන තැන හැමවිටම කරන්නෙ මේක. ආර්ජනිටිනාවෙ ග්‍රීසියෙ වැගමේ වෙනත් ආර්ථික ගැටලුවලට මුහුණ දුන් රටවල වෙන්නෙ ඒක. සහන ලැබිය යුතු පිරිස තවත් ආර්ථික ප්‍රහාර එල්ල කරන එක. ඊළඟට විරෝධය දක්වන විට මර්දන නීති මගින් ජනතාව පාලනය කරන එක,

ත්‍රස්ත මර්දන පනතක් ගෙන එද්දි එහි කොටස් ව්‍යවස්ථා විරෝධී බව පවසමින් ප්‍රශ්න කෙරුණා. නමුත් දැන් ඒක වෙනත් ආකාරයකින් සම්මත කරන්න කටයුතු කරනවා. ආර්ථික පීඩාවට ඇද වැටී ඇති ජනයා මත තවත් ප්‍රතිපත්තිමය තීරණ යොදා බර පටවමින් සහන දෙන්නෙ දැවැන්ත සමාගම්වලට. මේවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුගමනය කරන්න කියන ක්‍රමය නිසා සිදුවන දේවල්. මේක තමයි සිස්ටම් එක කියන්නෙ. තියෙන එකාගෙ පිගානට ගොඩක් බෙදන්න ඕන එතකොට වැඩියෙන් වැටෙන කොට වැඩියෙන් අහකට යනවා. ඒ නිසා අහුලගෙන කන්න සිදුවෙන්නෙ අනෙක් අයට.

මේ කතාව තමයි සාමාන්‍ය ජනතාවට බදු සහන දෙනවට වඩා ව්‍යාපාරිකයන්ට වැඩියෙන් බෙදන්න හදන තර්කය. අමෙරිකාවේ 2007-2008 වෝල් වීදියේ අර්බුදය ආවම ඩොලර් බිලියන 700ක සහනයක් සුපිරි ව්‍යාපාරිකයන්ට දුන්නා. ඔවුන් ශක්තිමත් කරන්න ඕන කියන එකයි අමෙරිකානු පාලනයේ ප්‍රතිපත්තිය. ඔවුන්ගෙ පිඟානෙන් වැටෙන දේ තමයි සාමාන්‍ය ජනතාවට සහනයක් වෙන්නෙ.

පහුගිය බලශක්ති අර්බුදය වෙලාවෙ විදුලි බල මණ්ඩලයට දීල තිබුණ සහනාධාරය නවත්වන්න මුල්‍ය අරමුදල ආණ්ඩුවට උපදෙස් දුන්නා. ජනතාවට විදුලිය මිලදී ගන්න තිබුණ සහන මිල අවසන් කළා. විදුලි මිල වැඩි කළා. තෙල් මිල වැඩි කරන්නත් කටයුතු කළේ මේ අකාරයට. මේ තත්වය තුළ තමයි තාවකාලික ස්ථාවරත්වයක් ගැන කතා කරන්නෙ. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ ජනතාවගේ උරමත බර පටවන පිළිවෙත් අරන් ඇවිත් තියෙන්නෙ. ප්‍රශ්නයට පිළිතුර නෙවෙයි ඔවුන් තමයි හේතුව.

පහුගිය කාලෙ ආජන්ටිනාවෙදි ඔවුන් කළෙත් ඒක. ඩොලර් බිලියන 57ක් ආර්ජන්ටිනාවට ණය දුන්නා. නමුත් තවමත් ඒ රටේ උද්ධමනය 100%ට වැඩි ගණනින් පවතින්නෙ. සාමාන්‍ය ජනතාවට සහන නෑ. ලංකාවෙ මොකද වුණේ? අවුරුදු 40ක් තිස්සෙ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් 16 වතාවක්ම මේ තිත්ත බෙහෙත් අපි අරගෙන තියෙනවා. අපි මේ රට ආර්ථික සංවර්ධනය කරා ගෙන යනවා කියලා අනුප්‍රාප්තික ජනාධිපති රනිල් කියනකොට අපිට තේරුම් ගන්න තියෙන්නෙ මොකක්ද? 2048 ඉලක්ක කරගෙන තවදුරටත් විනාශකාරි ගමන් මගේම අපේ ආර්ථිකය ගෙන යන්නෙ මුල්‍ය අරමුදලේ උපදේශකත්වය යටතේ. මේ ආර්ථිකය අර්බුදයට ගියේ ඒ පාරෙ ගිය නිසා. මෙතෙක් මේ විනාශකාරි ආර්ථික ක්‍රමයේ අවසන් නොකළ ඉලක්ක සම්පූර්ණ කරගන්න තමයි රනිල් වික්‍රමසිංහ හදන්නෙ. අවුරුද්දකින් පස්සෙ ඡන්දයක් දෙන්නම් කියලා රනිල් කියන්නෙ අනියමින් අවුරුද්දක් මේ ගමන යන්න. දැන්ම මාව එළවන්න එන්න එපා. මේ අවුරුද්දෙ මේ ගමන යන්න ඉඩ දෙන්න කියලා කියන්නෙ. ගෙවුණු අවුරුද්දෙ කරපු දේවල් අනුව තව අවුරුද්දක් ගියාම වෙන දේවල් හිතා ගන්න පුලුවන්. අධ්‍යාපනය පෞද්ගලිකකරණය, ඉහුජාතික සමාගම්වලට අවශ ලෙස ජනතාවගෙ ඉඩම් වෙළඳපොළට ගෙන ඒම, තනි කම්කරු නීතියක් ගෙනත් වෘත්තිය සමිතියකට බැඳෙන්න ඇති අයිතියත් වහලා සේවකයන් මර්දනය කිරීමට අවස්ථාව හදන එක හරහා ශ්‍රම වෙළඳපොළ හාම්පුතුන්ට අවශ්‍ය ලෙස ලිහිල් කිරීම වගේ මේවනෙ කළේ. දැන් ගෙනත් තියෙන නීති ප්‍රතිසංස්කරණ බැලුවම පාලනය ඉදිරියට සැලසුම් කරන විදිය හිතාගන්න පුලුවන්. ඉතින් අවුරුද්දක් කල් ගන්න එක ‘එයාගෙ භාෂාව’ අපේ දේශපාලන කියැවීමකට ගත්තොත් මොකක්ද එයා කියන්නෙ? එයාට ඕන විදියට පිටිය සකස් කරගෙන එයා සෙල්ලම් කරන්න හදාගෙන තියෙන දේශපාලනය මොකක්ද? අවුරුද්දකින් සෙල්ලම් කරන්න ජනාධිපතිවරණයක් දෙන්නම් නැත්නම් මහමැතිවරණයක් දෙන්නම් කියලා කියන්නෙ. එයා හදපු පිටියෙ සෙල්ලම් කරන්නලු. ලබන නොවැම්බර් ජනාධිපතිවරණයක් කොහොමටත් එනවා. ඊට කලින් ඕන නම් මහමැතිවරණයක් කැඳවන්න රනිල්ට පුලුවන්. පළාත්පාලන මැතිවරණයක් වළක්වපු කෙනා මහමැතිවරණයක් දෙයි කියලා හිතන්න පුලුවන්ද? ඡන්දයක් තියන්න සල්ලි නෑ, සල්ලි තිබ්බත් තියන්න ඡන්දයක් නෑ කියලා ජනතාවගේ අයිතියට අපහාස කරපු රනිල් ඒකෙන් වෙනම ධෛර්යයක් පෙන්වලා තියෙන්නෙ.

ඒ නිසා මේ එයාගෙ වැඩ ටික කරන්න නම්, විරෝධතා නවත්වන්න ඕන. කාර්මික සාමයක් ඕන. ඒ නිසා තමයි විරුද්ධවන අයට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කරන්නෙ. දේශපාලන වශයෙන් නිවටයෙක්ද අසමත් පුද්ගලයෙක්ද කියන කාරණය වෙනම තියෙනවා. නමුත් ජනාධිපති පුටුවෙ ඉඳගත්තම විධායක බලය, රාජ්‍ය නායක, සේනාධිනායක වගේ බලයක්, හමුදාව, පොලිසිය, ඔත්තු සේවා යටතේ තබා ගෙන ඔබන්න බොත්තම් එයාට තියෙනවා. මහජන බලයක්, කැමැත්තක් නැති වුණාට නිල බලයක්, හමුදා බලය, පොලිසිය මෙහෙයවන්න බලයක් තියෙනවා.‍ ධනකුවේරයන් සමග සම්මුති හදාගෙන, ජාත්‍යන්තර ප්‍රාග්ධනය නියෝජනය කරන මුල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස නොනිමි ප්‍රතිසංස්කරණ කරමින් ඉන්දිය භූ දේශපාලන මැදිහත්වීමට පසුබිම සකස් කරගෙන තිබෙනවා.

දැන් මේ මුල්‍ය අරමුදල උදව් කරගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිව්වම ජනතාව හිතන්නෙ ණය ටිකට මොනවා හරි කරයි කියලා. රටේ ණයවලට සහනයක් දෙයි කියලා මනෝභාවයකුත් ආවා. මේ වනවිට චීනයෙන් ජපානයෙන් ගත්ත ණය තියෙනවා වෙනත් අමෙරිකාව වැනි රාජ්‍යයන්ගෙන් ගත්ත ණය තියෙනවා. ඒගේම විවෘත වෙළඳපොළෙන් ගත්ත ණය තියෙනවා. ඒ ආකාරයට වැඩි පොලියට ආණ්ඩුව වැඩි පුර ණය අරගෙන තියෙනවා. නමුත් මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නත් එකඟ වෙන්න සිදු වුණා. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්න නම් සමානව සළකන පදනමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා ඔවුන් කොන්දේසි ගෙනාවා. දැන් මොනවද මේ දෞශීය ණය? ව්‍යාපාරිකයන් ගත්ත බැඳුම්කර ඒ අතර තියෙනවා. සේවක අරමුදල්වලින් බැඳුම්කරවල ආයෝජනය කරලා ණය අරගෙන තිබෙනවා. මේ අරමුදල් පෞද්ගලික අංශයේ සේවකයන් ඉතිරි කරපු තමන්ගෙ විශ්‍රාම කාලෙ පාවිච්චි කරන්න තියෙන ඉපයීමක්. නමුත් දැන් අර බැඳුම්කර ගත්ත ව්‍යාපාරිකයන්ට කිසිම හානියක් නොකර, සේවක අරමුදල්වලට අත තියන්න තීන්දුව අරන්. ඒ නිසා මේ අරමුදල් දුර්වල වෙන විදියෙ ණය ප්‍රතිව්‍යුහගකරණය කිරීමෙන් සිදු වෙන්නෙ ඔවුන්ට අසාධාරණයක් වෙනවා. ඒ නිසා ඊපීඑෆ්, ඊටීඑෆ් අරමුදල් වෙත කරන මේ හානිය මුල්‍ය අරමුදල දැනුවත්ව කරන්නෙ.

මේ වන විට වැඩකරන ජනතාවට බලපාන ප්‍රතිසංස්කරණ කීපයක්ම සිදුකරන්න යනවා. අපි කලින් කීවා වගේම කම්කරු අයිතිවාසිකම් රකින නීති ගණනාවක් තනි කම්කරු නීතියකට ගෙන එන්න, කම්කරුවන්ට සංවිධානය වීමේ අයිතිය අහිමි කරන නීතියක් ගෙන එන්න සූදානමක් තියෙනවා. මේ සියල්ල කිරීමෙදි හාම්පුතුන් සුපිරි ධනවතුන්ගෙ අනුමැතිය රනිල් රාජපක්ෂ පාලනයට තියෙනවා. දැන් මේ වෙලාවෙ වෙනත් රාජ්‍යයන්ට වඩා ඉන්දියාවේ ආර්ථික අරමුණු ලංකාව සමග සම්බන්ධ වෙමින් තිබෙනවා. අසල්වැසි රට සමග සබඳතා තියාගන්න ඕන. ලෝකය එක්ක වෙළඳාම් කරන්න ඕන කියලා කෙනෙක් කියන්න පුලුවන්. නමුත් ඉන්දියාවේ බල දේශපාලනය එක්ක අපේ අත්දැකීම් රාශියක් තියෙනවා. ඉන්දිය තෙල් නලයක්, විදුලි කේබලයක් වගේ දේවල් එක්ක විශේෂ තත්වයක් එනවා. මොකද ඉන්දියාවට ලංකාවෙ බලශක්ති සැලයුම් තීරණාත්මක ලෙස පාලනය කිරීමේ අවස්ථාව දෙන්න ගියාම අපේ බලශක්ති ස්වාධිපත්‍ය අහිමි වෙනවා. ඒ තත්වය රනිල් රාජපක්ෂ යටතේ සිදු වෙමින් තිබෙනවා. ලෝකය නිදහස් වෙළඳාමක් ගැන කිව්වට බලය ඇති රාජ්‍ය, බලය ඇති ප්‍රාග්ධන හිමිකාරයා තමයි වානිජ කටයුතුවල අධික ප්‍රතිලාභ ලබන්නෙ.

මේ වනවිට රටේ දේශපාලනයේ තීරණාත්මක ප්‍රශ්න ලෙස මේවා මතුවෙද්දි, අනෙක් පැත්තෙන් වංචා දූෂණ විරෝධී දේශපාලනයක් බොහෝ දෙනා කතා කරනවා. ජනතාව වංචා දූෂණවලට විරුද්ධවීම ගැන අපි කිසිදු දෙගිඩියාවකින් තොරව එකඟයි. අපට ඒ ගැන විවාද නෑ. අපි දන්නවා මේ රටේ දේශපාලන බල ක්ෂේත්‍රයේ, සුපිරි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරින් අතර වංචා දූෂණ පවත්වාගෙන යන ඉතිහාසයක් තියෙනවා. මේක සමාජය පුරා උඩු දුවපු ගැටලුවක් ලෙස පවතිනවා. ඒ සම්බන්ධ ජනතාවගේ විරෝධයක් තියෙනවා. ඒ සම්බන්ධ ජනතාව සමග සටන් කරන්න ඕන. නමුත්, අපි අර කලින් සාකච්ඡා කළ මේ රටේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන ප්‍රශ්න මගහැරලා එහි එක් පැත්තක් වන වංචා දූෂණ පමණක් කතා කරන එකේ තේරුමක් නෑ. තෙල් මිල, බඩු මිල ඉහළ යන්නෙ වංචා දූෂණ නිසාද? ආර්ථික ප්‍රතිපත්තියේ අවුල නිසාද? සාමාන්‍ය ජනයා මත බදු වැඩි වෙන්නෙ වංචා දූෂණ නිසාද ආර්ථික ප්‍රතිපත්තියේ අවුල නිසාද? ඉතින් මේක හරියට හඳුනාගත යුතුයි. මේ ක්‍රමය වෙනස් නොකර එහි එක් පැත්තක් පමණක් අල්ලගෙන දේශපාලනය කිරීමට අපි එකඟ නෑ. වංචා දූෂණ නැති කරන්න ඕන, නමුත් ඒ වංචාවලට විතරක් විරුද්ධ දේශපාලනයෙන් පමණක් මේ අර්බුදය විසඳන්න බෑ. ඉතින් ආර්ථික සැලසුම්, ප්‍රතිපත්ති නිසා ඇතිවන මේ තත්වය තුළ අරගලයේ අවශ්‍යතාව තේරුම් ගන්න ඕන.

අපි මේ ආණ්ඩු පෙරළන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවුරුදු 76ක් පාඩම් ඉගෙන ගෙන තියෙනවා. මේ රටේ සමාජ ආර්ථික දේශපාලන සමාජ හා සංස්කෘතික ගැටලුවලට කිසිම උත්තරයක් ලැබුනු නැති මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ. ඒක අත්දැකපු යථාර්ථයක්. මැතිවරණ කාලෙට සියලු අගතීන් හරහා ඡන්දය කොල්ල කන තත්වයක් තියෙන්නෙ. ඒ නිසානෙ මේ ක්‍රම වෙනසක් ගැන, 225ම එපා කියලා සමාජයෙන් සටන් පාඨ මතු වුණේ. අලුත් ක්‍රමයක් ඕන කියලා කියද්දි මේ ක්‍රමයේ අසාර්ථක බවයි නිරූපණය වෙන්නෙ. අරගලය ඇතුළෙ ඉතිහාසය තුළ අත්දැකපු නැති සුවිශාල සංසිද්ධියක් අපි අත්දැක්කා. ඒ මහජන නැගිටීම පාලකයන්ගෙ බලය අභිබවා ජනතාවගේ අරමුණු වෙනුවෙන් ඇති වූ දෙයක් බව අපි කාටත් පිලිගන්න පුළුවන්. මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තියෙද්දි, පාර්ලිමේන්තුව තියෙද්දි ඊට පිටින් මහජන බලය ස්ථාවර බලයක් ලෙස එය පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවක් තියෙනවා. මේ වනවිට ජනතාවට එරෙහි ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නගද්දි ඒ ජනතා බලය සක්‍රිය කරන්න අරමුණු අපට තියෙනවා. අවශ්‍ය වෙලාවට අරගලයක් කරන්න නොහැකි නම් දේශපාලන ව්‍යාපාරයකින් ජනතාවට කිසිම වැඩක් නෑ.

නමුත් දැන් රනිල් කියන්නෙ “එහෙම අරගල කරන්න දෙන්න බෑ. මහජන සුබසාධනය කපද්දි, අධ්‍යාපනය කප්පාදු කරද්දි විරෝධතා බෑ. රනිල් කියන්නෙ දැන් ඒවා බෑ, මේ පිට්ටනියෙ සෙල්ලම් කරන්නෙ මම, අවුරුද්දකට පස්සෙ ජනාධිපතිවරණයක් දෙනවා, ඒකෙදි ඔහෙලට පුලුවන් සෙල්ලම් කරන්න, ඕන නං ඡන්දයෙන් මාව පන්නන්න”. හැබැයි දැන් බෑ. දැන් පාරට ආවොත් ඔලු පළනවා. ශිෂ්‍යයෝ විරෝධය දක්වන්න ආවම ගහනවා. කාන්තාවන් දෙන්නෙක් පාරට ආවම විරෝධය පළ කරන්න ඇද ගෙන යනවා. දැන් රනිල්ගෙ භාෂාවෙන් එයාගෙ පිට්ටනියෙ සෙල්ලම් කරන්න හිතාගෙන ඉන්න අය, දැන් දේශපාලන පිටියෙ සෙල්ලම් කරන්න කැමති නෑ. අවුරුද්දකින්, ඊළඟ අවුරුද්දෙ ඔක්තෝබර් රනිල් පිට්ටනිය ඇරපුවම සෙල්ලම් කරන්න සූදානම් වෙනවා. මේ තියෙන පිට්ටනියෙ සෙල්ලමේ ඒ අය අල්ලනවා යනවා. සෙල්ලම් කරන්නෙත් නෑ, නොකරන්නෙත් නෑ. කවුරු හරි ඇහුවොත් “කෝ ඔයාලා මේ රනිල් රාජපක්ෂලගෙ වැඩපිළිවෙළට විරුද්ධව හඬක් නගන්නෙ නෑ නේද?” කියලා, “නෑ අපි අහවල් දා විරෝධතා පැවැත්වුවා. අහවල් අහවල් නගරවලත් පෙළපාලි ගියා” කියන්න පුලුවන්. නමුත් අරගලයක් ජයග්‍රහණය කරන ප්‍රතිපත්තිමය තීරණයකින් ඒ අය කටයුතු කරන්නෙ නැති බව පැහැදිලියි. ඒ නිසා අපි දන්නවා අරගලයට අපි තමයි සම්බන්ධ කියලා කියපු දේශපාලන ව්‍යාපාර පවා ඒ රනිල්ගෙ පිට්ටනියෙ සෙල්ලමට සූදානම් වෙනවා. එතනයි අප මේ ප්‍රශ්නය අහන්න තීරණය කළේ, “ජනතාවගේ මිතුරන් කවුද? සතුරන් කවුද?” කියලා අහන්න අපි තීරණය කළේ මේ නිසයි.

දැන් අපි තේරුම් ගන්න ඕන තැනින් තැන කඩින් කඩ කරන අරගලයකින් ජයග්‍රහණ ගෙන එන්න බෑ. අරමුණු සහගතව මැදිහත්වෙලා අඛණ්ඩව සටන් වදින අරගලයක් තමයි ජයග්‍රහණ කරන්නෙ. ඒ වගේම සංවිධානාත්මක වුණොත් තමයි අරගලයක් ජයග්‍රහණ ලබා ගන්නෙ. සමාජයක් අරගලයේ පණ්විඩය ගන්න සමත් වෙන්නෙම අරගලයක අඛණ්ඩතාව තුළයි. ජනතාව අරගලයක අත්දැකීම් මත තමයි තේරුම් ගන්නෙ මේහම දෙයක් තියෙනවා නේද? මේ පාරෙන් දේශපාලන ගමනක් තියෙනවා කියන කාරණය. සයිටම් අරගලයේ ජයග්‍රහණය, අවුරුදු ගණනක දීර්ඝ අරගලයක්, විවිධ පාර්ශ්ව ඒකාබද්ධ කළ අඛණ්ඩ අරගලයක්. දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, දෙමාපියන්, ශිෂ්‍යයන්, ආචාර්යවරු, වෛද්‍යවරු සහ සාමාන්‍ය ජනතාව සම්බන්ධ වූ අරගලයක් බවට පත් වුණා. ජයග්‍රහණය කළා. ගුරු අරගලය මාස ගණනක් තිබුණා. මේ රටේ වෘත්තිය සමිතිවල සංවිධානය වූ සහ නොවූ ගුරුවරු, විදුහල්පතිවරු, ශිෂ්‍යයෝ මව්පියන් එකතු වෙලා තමයි ඒ අරගලය ජයග්‍රහණය කරා ගෙන ගියේ අඛන්ඩතාව සහ සංවිධානාත්මකතාව නිසා. රට පුරා පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවන අදහසින් ගෙනාව කොතලාවල විශ්ව විද්‍යාල පනතතට එරෙහි අරගලයත් දීර්ඝ කාලයක් අඛන්ඩව ගෙන ගිය අරගලයක ජයග්‍රහණයක් පිළිබඳ අත්දැකීමක්.

නමුත් දැන් මොකද මේ අය කරන්නෙ? අර්ථසාධක අරමුදලට හානි කරන්න ගත් තීන්දුවට එරෙහිව අරගලයෙදි බැලුවම ඒ අය නොහිටියෙත් නෑ. අපට කියන්න බෑ ඒ අය සටන් කරන්නෙ නෑ කියලා. අරගලයක් කරලා විරෝධය දක්වලා තියෙනවා. ඒ නිසා හිටියා තමයි නමුත් දිගට යන අරගලයක, ජයග්‍රහණ හිමිකරගන්නා අරගලයක් කරන්නෙ නෑ. දැන් අපි හරියට අඳුනගෙන කතා කරමු. පහුගිය 2022 අප්‍රේල් මාසෙ වෘත්තිය සමිති ඒකාබද්ධ අරගලය අවස්ථාවට විශාල වෘත්තිය සමිති පෙරමුණක් ඇතිවන තත්වයක් ආවා. ඔක්කොටම එන්න කිව්වා. අපිත් ගියා. දේශපාලන වෙනස්කම් ගොඩක් තියෙන අය එකතු වුණා. වැඩකරන ජනතාවගේ අවශයතාව මුලට දාලා අපි ඒ වෘත්තිය සමිති අරගලයට සම්බන්ධ වුණා. නමුත් පස්සෙ මොකද වුණේ? ආර්ථික අර්බුදයේ ඇත්ත හේතුවලට අදාළ ප්‍රතිපත්තිමය තීරණ මත අරගලයකට යමු කිව්වම සමහරු පස්ස ගැහුවා. ඒ සැබෑ දේශපාලන විසඳුම් ඉල්ලා සිටින අරගලයකට වඩා ආණ්ඩුව පෙරළන්න වෘත්තිය සමිති සූදානම් වුණා. ඒ නිසාම මොකුත් ප්‍රතිඵලයක් ගෙන එන්න ප්‍රතිපත්තිමය ස්ථාවරයකින් සම්බන්ධ වෙන්නෙ නෑ. අරගලයට එනවා, අල්ලනවා, පිළුනු කරනවා, දාලා යනවා. කරලත් තියෙනවා, කරපු දේකුත් නෑ. ප්‍රතිඵලයක්නෑ. මෙන්න මේ ප්‍රශ්නය තියෙනවා.

දැන් ප්‍රසිද්ධ කාරණයක්, ජාතික ජන බලවේගය පසුගිය දවස්වල කියමින් හිටියා කඳවුරු දෙකක් ගැන ඒ තමයි ජාතික ජන බලවේගය පැත්තෙ පිල අනෙක් අය ඊට එරෙහි පිල කියලා. නමුත් අපි කියන්නෙ මේ “ජනතාවගේ මිතුරන් කවුද? සතුරන් කවුද?” කියන ප්‍රශ්නය තමයි ප්‍රධාන වෙන්නෙ. ඒ නිසා මේ බෙදීම හරි හැටි සලකුණු කරන්න ඕන. ඒ කියන්නෙ වඩා විස්තර ඇතිව කියනවා නම්, රනිල් රාජපක්ෂ කල්ලිය, ඉන්දියානු ප්‍රාග්ධන අරමුනුවලට යටත් වෙලා, මේ කොල්ලකාරී ව්‍යාපාරික පැලැන්තිය සමග එක්ව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිළිවෙත් ක්‍රියාත්මක කරන කඳවුර සහ ඊට එරෙහිව ජනතාව සමග සටන කරන කඳවුර වශයෙන් බෙදීම සලකුණු වෙනවා. අපි අඳින බෙදුම් රේඛාව ඒකයි. මේ විනාශකාරී ගමනට පක්ෂ අය අපට වෙන් කර හඳුනාගන්න වෙනවා. අපි දන්නවා, රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ගෙන යන මේ ක්‍රියාදාමයට රාජපක්ෂ කල්ලිය පක්ෂයි. රාජපක්ෂ කලිලයේ ඉඳලා, රනිල් වික්‍රමසිංහ එක්ක එකතුව සිටින කණ්ඩායම් පක්ෂයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ වැඩපිළිවෙළේ යෝජකයා. රනිල් ඒකෙ මුලින්ම ඉන්නවා. රනිල් වික්‍රමසිංහගේ වරප්‍රසාද ලබන ගමන් විපක්ෂයේ ඉන්න කල්ලි කණ්ඩායම් පක්ෂයි. මේ මොහොතේ මේ ජනතාව පිට පටවන ප්‍රතිසංස්කරණ, ජනතා අයිතිවාසිකම් කප්පාදු කරන, ජනතාව මත මර්දනය කැඳවන දේශපාලනය හමුවේ නිහඬව තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ අරමුණු ගැන ප්‍රමුඛතාව තියාගෙන ඉන්න බලවේග අයිති වෙන්නෙත් ඒ පිළිවෙතට පක්ෂපාති පිළට. ජනතාවට සතුරු පිළ ශක්තිමත් කරන්න අනියමින් සහයෝගය දෙන පිරිසක් හැටියට සලකුණු වෙන්නෙ. ඒ නිසා මේ දේශපාලන පසුබිම තුළ කවුරුහරි මේ පිටියෙ අරගලය අත්හරිනවා නම් අපි ඒ අයට වගකීමෙන් කියනවා. මේ ජනතාවගේ කඳවුරට එකතු වෙන්න. දැනුත් අපි කියනවා මේ සටන වටා ඒකරාශි වෙන්න. අපි ඕනම වාමාංශික ප්‍රගතිශීලි පිරිසක් සමග එකතු වෙන්න සූදානම්. එහෙම නැත්නම් මේ යටත්වීම වෙනුවට යටත් නොවී සටන් කරන කඳවුරට එකතුව වෙන්න. නැත්නම් මේ විනාශකාරී කඳවුර හමුවේ නිහඬව සිටීමේ ප්‍රතිඵලය අනාගතයෙදි තීරණය වෙයි.

දැන් ලංකාවෙ පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ඉන්නවා. පහුගිය අරගලයෙදි විවිධ පාර්ශ්ව සමග ඔවුනුත් සහයෝගය දැක්වුවා. පහුගිය අරගලය කාලෙ ක්‍රියාකාරි වුනු බලවේග ගනනාවක් අතර සමගි ජන බලවේගයේ පිරිසකුත් හිටියා. ඒ අතරින් සමහර අය අරගලයේ ක්‍රියකාරින් සමග හිටගත්තා. ඔවුන් අත්අඩංගුවට පත්වන විට ඒ අය පහර කාලා සරෝහල්ගත වෙන කොට සුවදුක් බලන්නත් ගියා. නමුත් මේ අය දැන් කොහෙද? ඒ කාලෙ ඉඳලම අපට ප්‍රශ්නයක් තිබුණා. අපි ඒ සමහර අවස්ථාවල ඔවුන් හමු වුණාම අපේ අදහස් කිව්වා, ජනතාව මුහුණ දෙන තත්වයන් නිසා මේ යන ආර්ථික දේශපාලන ගමන වෙනස් කරන්න දේශපාලන අවශ්‍යතාව අවධාරණය කළාම ඒ වෙලාවෙ ඒක ගැන සද්ද නැතිව හිටියා. නමුත් දැන් දැන් සමගි ජන බලවේගයේ අය මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමග හිටගෙන ඉන්නෙ. මේ ක්‍රියාත්මකවන මුල්‍ය අරමුදලේ කොන්දේසි එක්ක ඒ අයට ලොකු ගැටුමකුත් නෑ. මේ ආර්ථික දේශපාලන ගමන ගැන ගැටුමක් නෑ. ඒ අය මේ ජනතා අරගලය ගෙනා විරෝධය, වැඩි අමාරුවකින් තොරව තමන්ගෙ දේශපාලන ජයග්‍රහණයකට පෙරලා ඡන්ද වැඩිකර ගන්න. ඒ අයට ගැටුම තියෙන්නෙ රනිල් මෙතන නායකත්වයෙ ඉන්න එක ගැන. රටේ ජනතාවට එරෙහි බරපතළ ක්‍රියාමාර්ග ගනිද්දි කිසි ගානක් නෑ. රනිල් වික්‍රමසිංහගේ පිට්ටනියෙ එයා දෙන දවසක සෙල්ලම් කරන්න ඔවුන් බලා ගෙන ඉන්නවා. මේ අතර රනිල්ට එකතු වෙන්න යන කතාවකුත් තියෙනවා. සමහර අය දැනටම රනිල් ළඟ. තවත් අය යන්න බලාගෙන ඉන්නවා. කකුල් දෙක දෙපැත්ත‍ට තියාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. දැන් කතාවක් තියෙනවා සජිත් පවා රනිල් ළඟට යයිද කියලා. මොකද දුර්වල වෙච්ච සමගි ජන බලවේගය වෙනුවට බලය තියෙන ආණ්ඩුවකට යන එක ඔවුන්ගෙ දේශපාලනයට වාසියක්. රනිල් යෝජනා කරනවා කියලා කතාවකුත් තියෙනවා මේ වෙලාවෙ ජනාධිපතිවරණයෙදි සහයෝගය දෙන්න පක්ෂයේ නායකත්වය අරගෙන ඊළඟට ඔයා මේක කරගෙන යන්න කියලා. ඒ නිසා සමගි ජන බලවේගයේ දේශපාලන තත්වය මේකයි. අපට තියෙන්නෙ මේ තත්වය තේරුම් ගන්න. ඔවුන්ට තියෙන දේශපාලන අපේක්ෂා ගැන අපට විවාදයක් නෑ. නමුත් මේ රටේ ජනතාව මේ තරම් ව්‍යසනයකට ඇද ගෙන යද්දි විරෝධයක් දක්වන්නවත්, අඩු ගානෙ ඡන්ද පදනම රැක ගන්නවත් ක්‍රියා මාර්ග ගන්නෙ නැති තත්වයක්.

අපට මතකයි, 2015දි රනිල් වික්‍රමසිංහ අයවැය ඉදිරිපත් කළාම ඒකට විරුද්ධව ඡන්දය දුන්නෙ, අපි ජනතා විමුක්ති පෙරමුණෙන් ඛන්ඩනය වෙලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩ නගද්දි අප සමග ආව එකම පාර්ලිමේන්තු නියෝජිතයා විතරයි. රනිල්ට ඕන වුණේ මුලු පාර්ලිමේන්තුවම එක වැඩපිළිවෙළකට සූදානම් බව ප්‍රකාශ කරන්න. දැන් ඔක්කාමලා එකයි, මේ මුලු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් වෙලා. විරුද්ධව එක් කෙනෙක් හිටිය එකත් ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි, විරෝධයක් තියෙන කොට ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියලා කියන්නත් පුලුවන්. අන්න ඒ වගේ අනුප්‍රාප්තික ජනාධිපති හැටියට රනිල් කියන්නෙ පොඩි පොඩි විරෝධතා තිබ්බට මේ ගමන නවත්වන විරෝධතා තියෙන්න බෑ. ඒකට සූදානම් වෙන්න එපා කියලා. ඒ නිසාම දැන් මේ වැඩේ යන අතරෙ පොඩි විරෝධයක් කරගෙන යන්න විපක්ෂයට අවස්ථාව දීලා. ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා කියලා ලෝකෙට පෙනෙන්න විරුද්ධ පක්ෂ පවත්වාගෙන යනවා. නමුත් තීරණාත්මක ලෙස මේකට විරුද්ධ නෑ. අනාගතයෙ පක්ෂය රැක ගන්න, රනිල්ගෙන් ගන්න වරප්‍රසාද පාවිච්චි කරන අය එක්ක විපක්ෂයේ එකට ඉන්නෙත් එ් නිසයි.

දැන් සමහර අවස්ථාවල අරගලයෙදි අපට සුමන්දිරන්ලා, රාසමානික්කම්ලා හමු වුණා. ඒ අය අරගලයට සුභපැතුවා. ප්‍රසිද්දියේ ප්‍රකාශ නිකුත් කළා. ජනතාව වෙනුවෙන් හිටියා කියපු දෙමළ ජාතික සන්ධානයෙ මන්ත්‍රිවරු, රනිල් 13 වැනි සංශෝධනය ගැන කියපු ගමන් එතනට දුවගෙන ගියා. සුලුතර ජාතික ප්‍රජාව සතු අයිතිය ආරක්ෂා කරන්න, ඔවුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාදීම සම්බන්ධයෙන් සටන් කරන්න ඒ අයිතිවාසිකම් පිළිගන්න පක්ෂයක්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය. නමුත් මේ රනිල් දේශපාලන බලය වෙනුවෙන් ගේන දේශපාලන සෙල්ලම්වලට මේ අය දුවන එක අපි තේරුම් ගන්න ඕන. ආණ්ඩු කීපයක අගමැති වෙලා ඉඳිද්දි යහපාලන ආණ්ඩුවේ අවුරුදු 5ක් තුළ ඉදිරිපත් නොකළ විසඳුමක් කරන්න රනිල් යෝජනා කරන කොට ඒ අය ඒක තේරුම් ගන්නනෙ නෑ. ජනතාවගේ ජීවිත පොඩි පට්ටම් කරලා දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යන්න රනිල් රාජපක්ෂ කල්ලිය සූදානම් වෙද්දි ඒකට විරුද්ධ වෙන්නෙ නැතිව මේ අය හසුරුවා ගන්න ගෙනාව ඒ කැරට් අලය පස්සෙ දුවගෙන ගියා.

ජනතාවට මර්දනය ගෙන එදිද් සමහර ක්‍රියාකාරින් අත්අඩංගුවට ගනිද්දි මේ නීතිඥ මහත්වරු ඉදිරිපත් වෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙන්වෙන් කතා කරනවා. නමුත් රනිල්ට ඒක ප්‍රශ්නයක් නෑ. තමන්ගෙ දේශපාලන බලයට අභියෝගකාරී දේශපාලන අරගලයක් නොඑන තාක් ඒ විරෝධතා ඔහුට ප්‍රශ්නයක් නෙවෙයි. එයා කැමති නැත්තෙ අරගලයකට, එයා කැමති නැත්තෙ ජූලි 9 වගේ තත්වයකට. ඒ තත්වයට යන්නෙ නැතිව පොඩි පොඩි විරෝධතාවලට ගියාට කමක් නෑ. දැන් මේ රනිල්ගෙ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න විපක්ෂයත් සෙට් වෙලා. අපට කනගාටු අපේ පරණ යාලුවොත් එතනට ඇද වැටිලා. දැන් ජනාධිපතිවරණය ගැන රනිල් කියන කතාව පස්සෙන් දුවන්න සූදානම්වන අය ඉන්නවා. මාධ්‍යවේදියෙක් ජනාධිපතිවරණය ගැන අහද්දි අනුර දිසානායක කිව්වෙත් එයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන එක ගැනත් යෝජනාවක් තියෙනවා කියලා. දැන් මේ ජනාධිපකිවරණයකට අවුරුද්දක් තියෙද්දි කියන්නෙ. අපි මේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර සහෝදරියන්ට කියන්නෙ, ජාතික ජන බලවේගයේ විවිධ පාර්ශ්ව වල ප්‍රගතිශිලි පිරිසට තේරුම් ගන්න කියන්නෙ. අවුරුද්දකට වැඩි කාලයකින් ජනාධිපතිවරණයක් තිබ්බොත් තමයි ඒකටඉදිරිපත් වෙන්නෙ. විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධ ඉතිහාසය පුරාම මේ රටේ ප්‍රගතිශීලි ජනතාව හිටිය ස්ථාවරය මොකක්ද? පහුගිය අරගලයෙදි Go Home Gota කියන සටන් පාඨයෙන් කියැවුණේ මොකක්ද? ගෝඨට විතරක් යන්න කියලද? ගෝටටයි පුටුවටයි විරෝධය දැක්වුවෙ. ගෝල් ෆේස් අරගලයෙදි නව ව්‍යවස්ථාවක් යෝජනා කළේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි ප්‍රතිසංස්කරණ වෙනුවෙන්.

විධායක ජනාධිපතිවරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සටන් කළා. 1994 අපි නැවත දේශපාලනයට එද්දිම ජනාධිපතිවරණය තුළ නිහාල් ගලප්පත්ති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරලා චන්ද්‍රිකාගෙ පොරොන්දුවකුත් ගත්තා විධායක ජනාධිපතිවරණය අහෝසි කරන්න කියලා. නමුත් ඒක කලේ නෑ. ඊට පස්සෙ විවිධ අවස්ථාවල ඒ පොරොන්දුව දුන් අය ඉන්නවා. 1999 වමේ අපේක්ෂකයකු එක්ක ජවිපෙ ජනාධිපතිවරණය ගියේ විධායක ‘ජනාධිපති ක්‍රමයට එරෙහි වමේ පොදු අපේක්ෂකයා’ වශයෙන්. ඉතින් දිගටම ඒ කාලෙ දේශපාලන මණ්ඩලයෙදි අපි කතා කරනවා ජූලි 15 වැනිදට උද්ඝෝෂනයක් සංවිධානය කරන්න ඕන නේද? කියලා. මොකද විධායක ක්‍රමය අහෝසි කරන්න චන්ද්‍රිකා පොරොන්දු වූ දිනය ඒක නිසා. ඇත්තටම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වීම, ඒ අත්තනෝමතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ව්‍යවස්ථාවට ගෙන එද්දිම ජනතා විමුක්ති පෙරමුණ ගත්ත ප්‍රතිපත්තිමය ස්ථාවරයක්. ඒ ජනතා විමුක්ති පෙරමුණ දැන් විධායක ජනාධිපතිවරණයට එරෙහිව සටන් පාඨයක් වත් කියන්නෙ නෑ. ඉදිරියේ රනිල් දෙන දවසක ජනාධිපතිවරණයට අපේක්ෂකයකු හැටියට අනුර ඉදිරිපත් කරනවා. ඇත්තටම දැන් රනිල්ට ඕන ජනාධිපතිවරණයක්. “මේ ගමන මෙහෙමම යන්න දෙන්න. මට කරන්න දේවල් ගොඩක් තියෙනවා” කියල රනිල් කියන්නෙ.

ඒ අවුරුද්දක කාලය ඇතුළත එයා වෙන සෙල්ලම් ගොඩක් කරනවා. සමගි ජන බලවේගයෙ කට්ටිය එක්ක සමහර දේවල් කරගන්න ඒ කාලය ඕන. ඒ නිසා රනිල් කියන්නෙ ‘මෙන්න මල මෙතන නටන්න’ කියලා. එහෙම කියද්දි මේ අය කියනවා, රයිට් අපි ලෑස්තියි. දැන් අපි එන්නෙ නෑ, ඔයා කඩුව වැනුවට අපි බෙල්ල දෙන්න එන්නෙ නෑ. ඔයා කඩුව වනා ගෙන ආවට අපි ඒ ඉස්සර කළ මොඩකම් කරන්නෙ නෑ. අපි දේශපාලනයෙදි හරි පරිණතයි. අපි ලබන අවුරුද්ද අන්තිමේ ඡන්දෙන් ඔයාව එළවනවා කියල කියන්නෙ. රනිල්ට ඕන දේත් ඒකයි. මේ දේශපාලන ක්‍රියාවලියෙ තමන්ට කැමති දේවල් කරන්න කාලය අරගෙන බලය තහවුරු කරගෙන, සමාජයට පොඩි පොඩි සහන දෙන වැඩසටහනකුත් දාලා ඊළඟ ජනාධිපතිවරණයෙදි බලය තහවුරු කරගැනීමේ සෙල්ලමක එයා ඉන්නෙ.

නමුත් දැන් අපට තියෙන, අප ඉදිරියේ තියෙන ප්‍රශ්න මොනවද? ඉඩම් ප්‍රතිසංස්කරණ නීති, රාජ්‍ය ආයතන විකුණන තත්වය මේවා ක්‍රියාත්මක කළාම මේවා ආපස්සට හරවන එක ලේසි නෑ. වගා කළ හැකි ඉඩම් අයිතිය ජනතාවගෙන් සමාගම්වලට දෙන්න, ලාභ ලබන ආයතන ප්‍රාග්ධන හිමියන්ගෙ ලාභයට පවරා දෙන්න, පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තැනට ගෙනත් ඉන්පසුව සමාගම්වලට පවරා දෙන්න කටයුතු කරන්නෙ. දැන් විදුලි බල මණ්ඩලයෙන් ජනතාවට සහන දෙනවිට තිබුණ ආයතනික පාඩුව නවත්වන්න විදුලි බිල වැඩි කළා. සුභසාධන වියදම් කපලා ජනතාව මත බර පැටෙව්වා. තෙල් සැපයුමේ සහ බෙදා හැරීමේ ලාභ සීමාව වැඩිකරන්න මිල යාන්ත්‍රණයක් ගෙනත් තෙල් සංස්ථාවෙ අයිතිය දුර්වල කරමින් සමාගම්වලට ඉන්ධන පිරවුම්හල් පවරනවා. පිරිපහදු කිරීම් ලබාදීමටත් සූදානම්. මේ අධ්‍යාපන පෞද්ගලිකරණය කළාට පස්සෙද අපි සටන් කරන්නෙ, සෞඛ්‍ය සේවය මුලුමනින්ම මුදලට ලබෙන තත්වයකට ගියාමද අපි සටන් කළ යුතු. මේ විනාශකාරී ආර්ථික ප්‍රතිසංස්කරණ වළක්වන එකට වඩා දුෂ්කරයි, මේ විධියට ක්‍රියාවට නැගුවට පස්සෙ ඒවා ආපස්සට හරවන්න. ඒකට ආපහු විශාල මිලක් ගෙවන්න වෙනවා, විප්ලවකාරී පියවර තියන්න වෙනවා. නමුත් මේ විනාශය වෙනස් කරන්න දැන්ම පියවර ගන්න ඕන මේ විනාශය වළක්වන අරමුණකින් ජනතාව සංවිධානය කරගෙන යන අරගලයක් ඕන.

කවුරු හරි මේ වන විනාශකාරී පියවරට එකඟ නම්, “අපි කැමතියි මේ යන විධියට ජනතාව මත බර පටවලා ඉඩම් කොල්ල කන්න දෙනවට. අපි කැමතියි වැඩකරන ජනතාවගේ විශ්‍රාම මුදලින් කැප කරලා ණය ප්‍රතිසංස්කරණය කරන්න. අපි කැමතියි පෞද්ගලිකකරණය ඉදිරියට මේ විදියට ගෙන යන්න. අපි කැමතියි මුල්‍ය අරමුදල කියන විධියට කරන්න. අපි කැමතියි ඉන්දියාව කියන දේ කරන්න.” එහෙම හිතාගෙන ඉන්න අයට මේ වෙලාවෙ සද්ද නැතිව ඉන්න පුළුවන්. ඉතින් සමගි ජන බලවේගයේ ආර්ථික සැලැස්ම මේ රනිල් කරගෙන යන එකට විරුද්ධ නෑ. එයාලා කරන්න යන්නෙ මොකක්ද?

දැන් රනිල් මේ ආකාරයට රටේ ප්‍රතිසංස්කරණ කළාම ඒකෙ නරක නාමය රනිල්ට ගියාම ඔහුට අභියෝග කරලා සමාජ විරෝධය අවුලුවලා බලයට එන්න සමහරු හිතාගන ඉන්නවාලු. අපි කියන්නෙ ඒක හරිද? විනාශයට ඉඩදීලා බලය වෙනුවෙන් සෙල්ලමක් කරන්න අපට පුලුවන්ද?

අපි අහන්නෙ අනුර කුමාරත් එහෙමද හිතන් ඉන්නෙ? අපි කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ අපේ සහෝදරවරුන්ට සහෝදරියන්ට එහෙම ඉන්න පුලුවන්ද? අනුර දිසානායක හිතා ගෙන ඉන්නෙ එහෙමද? මේ රටේ ජනතාවට සතුරු නීති ප්‍රතිසංස්කරණ ගෙනත් විනාශකාරී මාවතක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නගන තුරු බලාගෙන ඉඳලා ඒකෙ වාසිය ගන්න පුලුවන්ද? නිර්ප්‍රභූ දේශපාලන බලයක් සකස් කරන්න ඉන්න කණ්ඩායමක් එහෙම හිතන එක හරිද? අපි කියනවා මේ ගමන වහාම නතර කරන්න ඕන. මේ ජනතා විරෝධී, ජනතාව මර්දනය කරන පීඩාව පටවන ගමන වහාම නතර කරන්න ඕන. මේ විනාශයට පක්ෂ සහ විරුද්ධ පාර්ශ්වවල බෙදුම් රේඛාව සටහන් කරන්න ඕන. එතැනදි තමයි ජනතාවගේ සතුරන් හා මිතුරන් සම්බන්ධ කතාව එන්නෙ. අපට මේ ගමන නතර කරන සටනට ඒකරාශි වෙන්න කියලා අපි කියනවා. මේ රනිල් රාජපක්ෂ කල්ලියේ මේ විනාශකාරි ගමනට, තමන්ගෙ දේශපාලනයෙ පටු සීමාවන් නිසා ඍජුව හෝ වක්‍රව සහාය දෙන පිළිවෙතින් මෙහාට එන්න කියලා අපි මේ වෙලාවෙත් කියනවා. ඒ වගකීම මේරටේ සෑම ප්‍රගතිශීලියෙකුටම තියෙනවා. ඒ ඓතිහාසික වගකීම කරට ගන්න. අපේ යෝජනාව ඒක.

පහුගිය අරගලය මර්දනය කරමින් රනිල් ජනාධිපති බලය පාවිච්චි කරද්දි අපි අරගලයේ අඛන්ඩ ඉදිරියක් ගැන කතා කරද්දි ජනතා විමුක්ති පෙරමුණ කිව්වෙ අරගලය ඉවරයි, මේ වෙලාවෙ මැතිවරණයට බාධාකරන අරගලයක් ගැන කියන්නෙ කියලා. විරෝධතා කරන්න එපා මැතිවරණ කල් දමයි කිව්වා.

අපිට මතකයි පළාත්පාලන මැතිවරණය ඉදිරියට ගෙන එන්න රනිල් වික්‍රමසිංහ කටයුතු කරද්දි අනුර දිසානායක කිව්වෙ දැන් මැතිවරණයට නාමයෝජනා භාරගත්තා. ඇප මුදල් තැන්පත් කළා. අපේක්ෂකයන් නිශ්චිතයි. මැතිවරණ කාර්යාල දාලා, නියෝජිතයො නම් කළා. මැතිවරණ ප්‍රචාරක කටයුතු කෙරෙනවා. දැන් තියෙන්නෙ මාර්තු 9 මැතිවරණය පවත්වන්න විතරයි කියලා. අනිවාර්යයෙන් මැතිවරණයෙදි මේ අය පරාජය කරන්න පුලුවන්, කියලා මැතිවරණය ගැන විශ්වාසය හැදුවා. ඇයි ඒ? තමන්ගෙ මැතිවරණ ව්‍යාපාරය වටා එකතු කළ ජනයාගෙ විශ්වාසය රකින්න එහෙම කියන්න වුණේ. මැතිවරණ විශ්වාස කරගෙන ඉන්න අය කිට්ටුවෙන් තියා ගන්න එහෙම කිව්වට අපි දන්නවා රනිල්ට මැතිවරණයක් ඕන වුනේ නෑ. අපි කිව්වෙ රනිල් මේ වෙලාවෙ මැතිවරණයක් තියයිද විශ්වාසයක් නෑ, මේ අරගලයෙ දේශපාලන වර්දනය තුළ මැතිවරණයක් පවත්වන එක අවාසි නිසා රනිල් කියන කතා විශ්වාස කරන්න බෑ කියලා. අපි පළාත්පාලන මැතිවරණයට සූදානම් වුණා, ආයතන 106කට නාම යෝජනා දුන්නා නමුත් මැතිවරණය දිහා බලගෙන අරගලයෙ ධජය පහත හෙළන්න අපි සූදානම් වුණෙත් නෑ. දැන් රනිල් මැතිවරණ කල්දාලා මැතිවරණ අයිතිය දෙස බලා සිටි ජනතාව උපහාසයට අවමානයට ලක් කරලා තියෙන්නෙ. දැන් ජනාධිපතිවරණයක් ගැන රනිල් කියද්දි ඒකට අවුරුද්දක කාලයක් තියෙද්දි සූදානම් වෙනවා. අඩුම ගානෙ මහමැතිවරණයක් වෙනුවෙන් වැඩ කරනවා නම් කමක් නෑ. අපේ වැඩපිලිවෙළ මොකක් වුණත් ඉල්ලනවා නම් අඩු ගානෙ මහමැතිවරණයක් ඉල්ලා සිටිය යුතුයි නේද? ආණ්ඩුව වෙනස් කරන්න රනිල් කැමති නෑ. නමුත් රනිල්ට දැන් ව්‍යවස්ථාවෙන් බලය තියෙනවා මහමැතිවරනයකට යන්න. ඒ නිසා රනිල්ගෙ දේශපාලන බලය පරාජය කරන්න ළඟම ක්‍රමයක් ලෙස කාට හරි මහමැතිවරණයක් ඉල්ලන්න පුලුවන්කම තකියෙනවා. එදා අරගලය කාලෙ ගෝඨා එළවන්න කතා කරද්දි අනුර කිව්වෙ අරගල කරලා ඒක කරන්න බෑ. ව්‍යවස්ථාවෙන් එළවන්න පුලුවන්, මහමැතිවරණයක් ඉල්ලමු කියලා. අද වෙන කොට අඩුම ගානෙ මහමැතිවරණයක් ඉල්ලන්නෙත් නෑ.

පළාත්පාලන මැතිවරණය තියන්න තිබ්බ එක ඉල්ලන්නෙත් නෑ, මහමැතිවරණයක් ඉල්ලන්නෙත් නෑ. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ පටන් විරුද්ධ වුනු විධායක බලය ආරක්ෂා කරන ජනාධිපතිවරණයකට අවුරුද්දක් කල් තියෙද්දි ඒකට සූදානම් වෙනවා. මූද හත් ගව්වක් තියෙද්දි සරම කැහැපොට ගහනවා. ඒ නිසා මේක ජනතා අබිලාෂයන් වෙනුවෙන් යන ගමනක්ද? නැත්නම් තමන්ගෙ පටු බල අරමුණු වෙනුවෙන් යන ගමනක්ද? අපි මේ රටේ ජනතාවගෙන් ඒක අහනවා.

ඒ නිසා අපි කියනවා, දැනුත් ප්‍රමාද නෑ, මේ විනාශකාරී ප්‍රතිසංස්කරණ වළක්වන්න, මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ, මේ ව්‍යාපාරික පැලැන්තිය සමග ඉන්දියානු ආර්තික ව්‍යාපාත්වාදයට, ධනපති ප්‍රාග්ධනයට පක්ෂපාති ගමන රනිල් රාජපක්ෂ ගමන වළක්වන්න දේශපාලන අරගලයකට එකතු වෙන්න අපි මේ රටේ ප්‍රගතිශිලි සියලුම පක්ෂවලට, කණ්ඩායම්වලට පුද්ගලයන්ට, ඒ සියලු දෙනාට ආරාධනා කරනවා. මොකද ඒක අපේ අත් හරින් බැරි වගකීමක්. අපට දේශපාලනයෙදි අත් හරින්න බැරි අභියෝගයක්. ඒ නිසා එකතු වෙන්න ඕන ක්‍රියාකාරි වෙන්න ඕන නිකං එකතු වෙලා වැඩක් නෑ. ක්‍රියාකාරි වැඩපිලිවෙළකට යන්න ඕන. ජනතාවගේ ජයග්‍රහණ වෙනුවෙන් ඉලක්ක කරන්න ඕන. එහෙම නැතිව පස්සෙ කාලෙක පෙන්වන්න, පත්තරේ ඡායාරූප දාලා, අපිත් ඕකට විරුද්ධ වුණා, මේ බලන්න පාර්ලිමේන්තුව ඉස්සරහා අපේ උද්ඝෝෂනය කියන්න විරුද්ධ වෙලා වැඩක් නෑ. ඇත්තට මේක නවත්වන්න ඒකාබද්ධ වැඩපිළිවෙළකට යා යුතුයි. සමහරු ඉන්නවා විරුද්ධ බව පෙන්වන්න ඕන නිසා විරුද්ධයි කියනවා. තව අය සමහර වෙනත් හේතු නිසා විරුද්ධයි. මේ සියලු දෙනා එකතු කරගත්ත විරෝධයක් සංවිධානය කරලා ජනතාව සමග ඒ අරගලයෙ ජයග්‍රහණය කරා යන්න ඕන.

පසුගිය අවුරුද්දෙ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වූදා සිට අපට තිබුණෙ මේ යෝජනාව. අපි දිගින් දිගටම අඛන්ඩ අරගලය සම්බන්ධ අදහස මේ රටේ ජනතාව සමග සාකච්ඡි කළා. දේශපාලන පක්ෂවලට, කණ්ඩායම්වලට ඉදිරිපත් කළා. නමුත් දැන් වුණත් මේ විනාශකාරී ගමන නවත්වන්න අපට එකතු විය හැකියි.

දැන් මේ බලය කියන කාරනයෙදි ජනතාවගේ බලය කියන එකට වෙනස් බලයක් වුණාම, ජනප්‍රියත්වය නිසා ආරෝපණය වන බලයක් ලැබුණම දේශපාලන විශ්ලේෂනය වෙනස් වෙනවා. භාෂාව පවා වෙනස් වෙනවා. ඒක දේශපාලන පක්ෂවලත් වෙනස් වෙනවා. පක්ෂ නායකයන්ගෙ වෙනස් වෙනවා. සමහර විට සහයෝගය දෙන කණ්ඩායම්වලත් වෙනස් වෙනවා. ඒ වගේම දේශපාලන විශ්ලේෂකයන්ගෙත් විහ්ලේෂනත් වෙනස් වෙනවා. අපට මතකයි, ඉතිහාසය තුළ සමහර වචනයකට අපි එක්ක මරාගෙන මැරෙන්න ආව සමහර කණ්ඩායම්වල පිරිස් මේ ජනප්‍රිය බලය හමුවේ සමහර කඳවුරුවලට හේත්තු වෙලා ඉන්නවා. දැන් මේ ජාතික ජන බලවේගයේ ජනප්‍රියත්වය එක්ක බලයේ භාෂාවට මාරු වෙලා. ඒ නිසා ‘ඔය හැම ප්‍රශ්නයටම උත්තර දෙන්න ඕන නෑ.’ කියලා කියන්නෙ. අපි ඇහුවනෙ ආරක්ෂාව භාර ඇමති ගැන ප්‍රශ්නයක්. දැන් අපේ උද්ඝෝෂනවලදි ඔලු පලනවා. අපි ඒ ඇමතිගෙ නම කියද්දි ඒ නම කියන්න, විවේචනය කරන බවක් නැත්තෙ ඇයි කියලා. කාන්තාවන් දෙන්නෙක් පාරට බැස්සත් කුදලගෙන යනවා. ඒත් ඔයගොල්ලන්ට පාර වහගෙන වේදිකා හදද්දි, මැයි දින කරද්දි කිසි බාධාවක් නෑ. ඒක ප්‍රහ්නයක් නේද? ඔයගොල්ලන්ගෙ විරෝධතාවකදි කල් ඉකුත් වෙච්ච කඳුළු ගෑස් වැදිලා කෙනෙක් මැරුණම වත් ඒ නම කියන්නෙ නෑ. විරෝධයක් නෑ. මේ තරම් මර්දනයක් ජනතාවට එල්ල කරද්දි අපි පාර්ලිමේන්තුවෙදි ඒ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිව විවේචනය කරනවා එක දවසක්වත් අහලා නෑ. ඒක ලොකු ප්‍රශ්නයක්. සාධාරණ ප්‍රශ්නයක් හැටියට තියෙනවා. සෑම සියලු දේශපාලන නායකයකු ගැනම කියන ඔබතුමා ඇයි ඒ ගැන වචනයක් කියන්නෙ නැත්තෙ? ඒකට මොකද කිව්වෙ, ‘අපි කැමති අය විවේචනය කරනවා. අපි කැමති අය ගැන විවේචනය කරනවා.’ ඒ තමයි බලයේ භාෂාව. ජනප්‍රිය බලයක් ලැබුණම මේක ඇති වෙන්නෙ. දැන් ප්‍රතිපත්ති ගැන කතාවක් නෑ. ‘අපි බලයට පත් වුණාම ඒවා බලාගමු’ කියනවා. නායකයන් විතරක් නෙවෙයි පාක්ෂිකයන්ගෙ කතාවත් වෙනස් වෙලා. දේශපාලන ප්‍රශ්නයක් මතු කළාම, විවේචනයක් කළාම, ‘ඕවා වැඩක් නෑ, දැන් කියන්න අනුරට කැමතිද නැද්ද?’ එච්චරයි. ඒක තමයි බලයේ භාෂාව. ඒ අයටත් බලයේ භාෂාව බෝ වෙලා. ඊට පස්සෙ විශ්ලේෂකයො ප්‍රභූ සහ නිර්ප්‍රභූ වශයෙන් දේශපාලන විශ්ලේෂණ කරනවා. ප්‍රභූ කියලා එක්සත් ජාතික පක්ෂයයි, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි නම් කරලා දැන් නිර්ප්‍රභූ පක්ෂයක් ඇවිත් කියලා නම් කරනවා. ඒ අයට සුපිරි ව්‍යාපාරිකයන්ගෙ පදනම් ගැන මතකයක් නෑ, ඒ අයගේ නව පන්තියක් නම් කරමින් ඉන්නවා. මේ අය කියන්නෙ සාමාන්‍ය ජනතාවගෙන් සැදුම් ලත් නිර් ප්‍රභූ නායකත්වයක් ගැන. ඒ අයටත් වැරදිලා. ප්‍රභූවරු තමන්ව වැලඳ ගන්නකං බලාගෙන ඉන්නෙ.

පහුගිය අවුරුද්දෙ ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට ආවම ජනතා විමුක්ති පෙරමුනේ නායකයෙක් කිව්වෙ මොකක්ද? කුනුවෙච්චි අඹ ගොඩකට ඉදුණු අඹයක් ආවට වැඩක් නෑ කියලා. ඒ කියන්නෙ මේ බදු නොගෙව්ව ධම්මික පෙරේරා තමයි ඉදිච්ච අඹේ. එයාම කියන විධියට පාර්ලිමේන්තුවට එන්න කතා කළාම තමයි බදු ගෙවුවෙ. ඒ සම්බන්ධයෙන් නඩුවකුත් තවම විභාග කෙරෙනවා. තමන් පිරරිසිදු ව්‍යාපාරිකයෙක් බව ධම්මික පෙරේරා කියනවා. හැබැයි බදු ගෙව්වෙ පාර්ලිමේන්තුවට එන්න කලින්. ඒ නිසා මේ අය මේ වැලඳගන්න බලාගෙන ඉන්න බලය ගැන කියන්නෙ. ඒ නිිසා මේ ජනප්‍රියත්වය හමුවේ දේශපාලන විශ්ලේෂන වෙනස් වෙනවා. බලය ගැන අදහස වෙනස් වෙනවා. ජනප්‍රිය බලය හමුවේ නායකයන්ගෙ භාෂාව වෙනස් වෙනවා. අනුගාමිකයන්ගෙ භාෂාවත් වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි විශ්ලේෂකයන්ගෙ විශ්ලේෂනත් වෙනස් වෙනවා. ඒ බලය ජනප්‍රිය බලය. නමුත් අපි නම් බලය කියන්නෙ වැඩකරන ජනතාවගේ බලය. මේ තියෙන සමාජ ක්‍රමය තුළ ඒක මෙහෙයවන පන්තිය සමග එකඟතාවයෙන් නෙවෙයි අපි බලය ගැන කටයුතු කරන්නෙ. ඒ එකඟතා නිසා හම්බ වෙන මුදල් නිසා ලැබෙන ප්‍රසිද්ධිය හෝ ඡන්දදායක ජනප්‍රියත්වය නෙවෙයි අපි බලය කියලා කියන්නෙ. ඒ පීඩක බලය වෙනස් කරන්න මේ රටේ පීඩිත බලවේගවල සංවිධානාත්මක බලයක් වෙනුවෙන් ඒ මහජන බලය වෙනුවෙන් අපි වෙහෙස වෙන්නෙ. ජූලි 9 යන්තම් අත්දකින්න ලැබුනු වැඩ කරන ජනතාවගේ පන්ති බලයක් වෙනුවෙන් අපි වැඩ කරන්නෙ. ඒ නිසා අපි අපේ දේශපාලන වැඩපිළිවෙළ සකස් කරන්නෙ, අපේ වැඩපිළිවෙළ අපි බොහොම ප්‍රසිද්ධියේ කියනවා, අපි කටයුතු කරමින් ඉන්නෙ සමාජවාදය වෙනුවෙන්. ඒක ගැන අපිට දෙගිඩියාවක්, සැකයක් නෑ. ධනවාදය අසාර්ථකයි, නිශ්චිතයි. අපි සමාජවාදය කියලා කියන්නෙ මේ රටේ අර්බුදය අවසන් කරමින් ජනතාවගේ අරමුණු ඉටුකරගන්න පාලනයකටයි. ඒක වෙනුවෙන් අපි දිගටම පෙනී ඉන්නවා. මේ වෙලාවෙ යල්පැන ගිහින් පාලකයන් පවා ජනතාව විසින් පළවා හරින්නෙ ධනවාදය රටේ අර්බුදයට පාර කපන නිසයි. ඒ නිසා ධනවාදය පළවා හරින්න සමාජවාදය ගොඩ නගන්න අපි වැඩ කරන්නෙ.

සමහරු සමාජවාදය ගැන ප්‍රශ්න අහනවා. සමහරු අහනවා ‘මේ ඔක්කොම හරි සහෝදරයා සමාජවාදය යල් පැන ගිහින් නේද? දැන් බලන්න ලෝකය ඉස්සරහට යද්දි ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වෙලා, නවීන වෙලා ඔයගොල්ල පරණ හනමිටියක් කරගසාගෙන යනවනෙ’ කියලා.

මේ අසාර්ථක සමාජ ආර්ථික ක්‍රමය හමුවේ සමහරුන්ට පුලුවන් නාමිකව විරෝධය දක්වලා, පැත්කට වෙන්න. අපිත් ඕකට විරුද්ධයි. මේ තියෙන්නෙ අපි කරපු විරෝධය. සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරන්න. නමුත් අපි විරුද්ධ වෙන්නෙ ඒ අදහසින් නෙමෙයි, මේ ගමන නවත්වන්න අපට ඕන. මේ පීඩාකාරී ගමන වළක්වන, ජනතාව ජයග්‍රහණය කරන වැඩපිළිවෙළ ජයග්‍රහණය කරන්න අපට ඕන. නතර කරන්න ඕන ඇයි කියලා අපි හරියටම කියන්න ඕන. නතර කළේ නැත්නම් මේ ගමන මෙහෙමම ගිහින් තව අවුරුද්දකින් අපට හමු වෙන්නෙ මේ පවතින රට නෙවෙයි, මේ විනාශකාරි ගමනේ අවසානය මේ දේශපාලන තත්වය නෙවෙයි, මේ ඉඩම් නීති නෙවෙයි, මේ සෞඛ්‍ය පද්ධතිය නෙවෙයි, මේ අධ්‍යාපන පහසුකම් නෙවෙයි, මේ පාලනය, මේ මර්දන නීතිත් නෙවෙයි, මේ කම්කරු අයිතිවාසිකම් නෙවෙයි, මේ පවතින සීමිත ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයත් නෙවෙයි. මේක දැන් තියෙන්නෙත් සුපිරි තත්වයක් නෙවෙයි. නමුත් මීටත් වඩා එහාට ගිය පෞද්ගලික ප්‍රාග්ධන ආධිපත්‍යයට අවශ්‍ය ලෙස සමාජ ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් වෙනස් කරන තත්වයකට යන්නෙ.

රනිල් වික්‍රමසිංහ මේ වනවිට අපි කැමති වුණත් නැතත් එයාගෙ පාරක් හදාගෙන යන්නෙ. එයාට බල දේශපාලන උවමනාව අනුව වැඩ කරගෙන යනවා. ස.ජ.බ. බෙදනවා. රාජපක්ෂ කල්ලිය තව එහාටම තල්ලු කරන්න පාවිච්චි කරනවා. අලුත් පක්ෂ හදා ගෙන රනිල් එකක්ක එකතුකරන්න තව කණ්ඩායම් බෙදන්න හදනවා. රාජපක්ෂලා එක්ක කොහොමටත් ඡන්දයකට යන්න බෑ. බැරි නිසා තව ඈතට දාන්න සූදානම් වෙනවා. සුමන්දිරන්ලා එක්ක එකඟතාවයකට යන්න වැඩ කරනවා. ඒ වගේම ධනේශ්වර වැඩපිළිවෙළකට එයා සූදානම් වෙනවා. ලංකාව විවෘත ආර්ථිකයට යන්න කලින් ඒ ගැන උපදෙස් දුන්නෙ ෂැනොයි. රනිල්ගෙ මාමා ඒ වැඩපිළිවෙළ පටන් ගත්තා. ඒ නිසා රනිල්ට ඒ පාරෙ ඉදිරියට යන්න ඕනෑකම තියෙනවා.

රනිල් වික්‍රමසිංහ මේ වනවිට විනාශකාරි ගමනක් ආරම්භ කරලා තියෙන්නෙ. ඒ ගමන වළක්වන්න ජනතාවගේ වැඩපිලිවෙළක් වෙනුවෙන් ජනතාවගේ මිතුරන් ලෙස එකතු වෙමු කියලා අපි නැවත නැවත ආරාධනා කරනවා. මේ විනාශය වළක්වන කෙටිකාලීන වැඩපිළිවෙළකට අපි එකතු වෙන්න ඕන. ඒ හරහා අපි මහජන බලය ගැන ඉගෙන ගත්ත පාඩම දේශපාලන වැඩපිළිවෙළකට කෙටිකාලීනවත් දිගුකාලීනවත් ක්‍රියාත්මක කරන්න අපි වැඩ කරනවා. ඒ වැඩපිළිවෙළ තුළින් රනිල් වික්‍රමසිංහගේ විනාශකාරි වැඩපිලිවෙළ අනිවාරිය ලෙස පරාජය කරන්න අපට හැකියාව තිබෙනවා. රනිල් පන්නන්න ඕන, ඒ වගේම අපට අලුත් ජනතාවාදී ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්න ඕන. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕන. ජනතාවාදී ව්‍යවස්ථාවක් වෙනුවෙන් එකට වැඩ කරලා අපිට මැත්වරණවලට යන්න පුලුවන්. අන්න එතකොට කැමති කෙනෙකුට ඒ ව්‍යවස්ථාවෙන් හැකියාව ලැබෙනවා ජනතා කැමැත්ත අරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න.

මේ පාලකයන් කවදාවත් අවස්ථාවක් දෙයිද කියලා විශ්වාස නැති මැතිවරණ දිහා බලගෙන දැන්ම සරම කැහැපොට ගහන එක නවත්වලා මේ රනිල් රාජපක්ෂලාට, ඉන්දියාව ඇතුළු ලෝක ප්‍රාග්ධන ආධිපත්‍යයට අවශ්‍ය මුල්‍ය අරමුදලේ විනාශකාරි ප්‍රතිසංස්කරණ පරාජය කරන්න එකතු වෙමු. බැලු බැල්මට ‘ලබන අවුරුද්දෙ මැතිවරණයක් එනවා, ඒකට සූදානමු වෙමු’ කියන කතාවෙන් ඕන කෙනෙකුට හිතෙනවා ‘ඔව් මැතිවරණයක් තියෙනවා නං අවුලක් නෑනෙ ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන්, රනිල් පරාජය කරන්නත් පුළුවන්. කියලා. ඉතින් මේක අපි අවුරුදු 75ක් කරපු දේමනෙ. ඒ නිසයි මම කිව්වෙ, බලයේ භාෂාව අනුව මොකක්ද කියන්නෙ? ‘ඒ ප්‍රශ්නයට උත්තර අපි ආවම කියන්නම්’. ඕක නෙවෙයිද අවුරුදු 75ක් මේ අයත් කිව්වෙ? ගෝඨාභය මොකක්ද කිව්වෙ? ඒ කතාවමද ආපහු අපි අහන්න යන්නෙ? ගෝඨාභයට සහාය දුන් අයත් දැන් මෙතන ඉන්නවා. ඒ නිසා අපි කියන්නෙ මේ දැන් තියෙන ප්‍රශ්නයට වහාම උත්තර ඕන. ඒ නිසා බැලු බැල්මට, “ලබන අවුරුද්දෙ මැතිවරණයක් තියෙනවා ඒකෙදි අපි වෙනසක් කරමු” කියන මේ සරලමතික නිගමනය ඇතුළෙ විනාශකාරී අදහසක් තියෙනවා. ‘මේ විනාශකාරී ගමන අවසන් කරලා තමයි මැතිවරණ තියන්නෙ’ කියන එකයි රනිල්ගෙ භාෂාව. අපි කියන්නෙ “මේ රැවටිල්ල අවසන් කරලා මේ පාලකයන්ගෙ විනාශකාරි බලය පරාජය කරලා අලුත් දේශපාලන පරිවර්තනයකට ලෑස්ති වෙමු” කියන අදහසයි. මේක අමාරුයි. ඒ අමාරු වැඩේ තමයි අපි ගිය අවුරුද්දෙ තරමක් දුරට කරලා පෙන්නුවේ. ඒ නිසා ඒක කරන්න බැරි දෙයකුත් නෙවෙයි. ඒ නිසා සියලු වෙනස්කම් තිබියදී සිදුවෙමින් තිබෙන විනාශකාරි ගමන නවත්වන්න මහජන බලයක් ගොඩනගන්න ඉදිරියට එන්න කියලා අපි සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ ගොඩ නැගෙන බලය, ඒ මහජන බලය නිකම්ම ගොඩනැගෙන්නෙ නෑ. පොදු න්‍යාය පත්‍රයකට වැඩපිළිවෙළකට ඒ බලය ගොඩනගනන ඕන. ‘

දැනටමත් ප්‍රාදේශීය වශයෙන් ගොඩ නැගී තිබෙන මහජන සංවිධාන, සියලු ආකාරයේ මහජන සහභාගිත්වය ඇති ඒකක මේ විනාශයට එරෙහිව ශක්තිමත් කරන, ඒ ශක්තිය ඒකරාශි කරන්න අපේ එ්කාබද්ධ ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය වෙනවා. දේශපාලන මත ගැටෙන, ප්‍රදේශයේ වගේම රටේ දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කරන තැන් බවට මේවා පත්කරගන්න ඕන. ප්‍රදේශයේ තිබෙන පරිසර ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, පාසලේ ප්‍රශ්න සාකච්ඡා කරන තැනි බවට පත් කරගන්න ඕන. ඒ ප්‍රශ්න හමුවේ හඬ නගන, උද්ඝෝෂන කරන විසඳුම් හොයන සංවිධාන බවට පත් කරන්න ඕන. අන්න එහෙම වුණාම තමයි මේ ජනතා බලය දේශපාලන පක්ෂ පාටවල න්‍යාය පත්‍රවලින් ඔබ්බට ගිය මහජන සභා බවට පත් වෙන්නෙ. ඒ බලය මහජන බලයක් ලෙස සංවිධානාත්මකව තිබියදී, මැතිවරණ තිබුණත් කාටවවත් මෙවැනි විනාශකාරි පියවර ගන්න හැකියාවක් ඇති වෙන්නෙ නෑ. ඒ නිසා මහජන බලයක් ගොඩනගන ජනතාවට වාසිදායක ගමනක් යනවද? එහෙම නැත්නම් ජනතාව දුර්වල කරන පටු දේශපාලන න්‍යාය පත්‍රවලට වැඩ කරමින් තම තමන්ගේ පාරක යනවද රනිල් වික්‍රමසිංහගේ ගමනට සහාය දෙනවද කියන තීරණය ගනිමු. ඒ තීරණය ගනිද්දි අපි ජනතාවගේ මිතුරන් සමග එකතු වෙමු.

ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව වැඩ කරමු. ඒ සඳහා දැනටමත් පාර වරද්දාගත් සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. මේ වැඩපිළිවෙළ වටා එකතු වෙන්න.

යටත්වීමේ ක්‍රමය වෙනුවට සටන් කිරීමේ වැඩපිළිවෙළට එකතු වෙන්න. ඒ සඳහා සියලු ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන් සියලු දෙනාට ජය වේවා!”

leave a reply