ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න නොනවතින අභ්‍යාසයෙන් සිය කවිය මුවහත් කරගත් කවියෙකි. ඒ ඔහුගේ කවියේ අන්තර්ගතය පාර්ශෟවයෙන් මෙන්ම උපමාව හා රූපකය, භාෂාව හා විරිත පාර්ශ්වයෙනි. විශේෂයෙන්ම ඔහුගේ ‘කොලඹට කියන්නෙ බොරැල්ලට’ කාව්‍ය කෘතියේ සිට අපට මේ බව නිරීක්ෂණය කළ හැකිය. ඔහුගේ නවතම කාව්‍ය කෘතිය වන ‘බුදු වෙන්නවත් අත අරින් නෑ’ කෘතිය වනවිට, අප ඉහත නෙ හැර දැක්වූ අදහස ඔහුගේ කවිය සම්බන්ධයෙන් බොහෝ නිදර්ශන මාර්ගයෙන් සාධනය කරගත හැක. එබැවින් කෘතිය මුද්‍රණයෙන් පිටවීමට සාපේක්ෂව යම් ප්‍රමාදයක් සහිතව වුවද මෙවර ‘රළ’ කලාපය තුළ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.
ඔහුගේ කලින් කෘතිය වූ ‘කොළඹට කියන්නෙ බොරැල්ලට’ කෘතිය තුළදී මාත්‍රා අසමමිතික දීර්ඝ පාද සහිත කාව්‍ය පාද තුළින් පැන නැගුණු ඔහුගේ කවියේ රැඩිකල් සෞන්දර්යවේදී ගුණය මෙවර ඔහු කෙටි පාද සහිත කවි වලටද ඇතුළත් කරනු දැක ගත හැකිය.
“තැන තැන
නැග බැස
හැම තැන
ඇවිදින
මිතුරෙක් සිටී මට
බැංකු පසුකර
හැරීවත් නොබලා ඇවිදින
ඔව්…. ඒ නිසා ම
ඇවිදින
මිතුරෙක් සිටී
මට”
(පිටුව 43 – ඇවිදින මිතුරා)
එහෙත් එය සිය කාව්‍ය භාවිතයේ හුදු ආකෘතික මාරුවක් කර නොගෙන, තම සමාජ දේශපාලනික දෘෂ්ටිය වෙනුවෙන් නව්‍ය කාව්‍ය භාවිතයක් කර ගැනීමට ලක්ෂාන් සමත් වෙයි.
“වාරිකය දැමීමට
ගෙට වෙච්ච මිතුරන්ට
සරදමක්වත් නොකර
ඌ මගේ හදවතට
ඇන ඇන ම කියන්නේ
‘යං…. එන්න ඇවිදින්න’”
(පිටුව 44 – ඇවිදින මිතුරා)
ඒ අනුව ජීවිතය යනු වැඩි වැඩියෙන් පාරිභෝගික අවශ්‍යතා නිෂ්පාදනය කරගැනීමක් බවට උත්කර්ෂයට නැංවූ යුගයේ දෘෂ්ටිවාදය වූ, පරිභෝජනවාදයට එරෙහිව ලක්ෂාන්ගේ කවිය සූක්ෂ්ම අරගලයක යෙදෙනු දැකිය හැකිය.
පැරණි අර්ථයෙන් ජනමාධ්‍ය එහි රාජ්‍ය දෘෂ්ටිවාදය තිබියදීම තොරතුරු සන්නිවේදන මාධ්‍යයක් ලෙස පැවතියේ නම්, වර්තමාන අර්ථයේදී එය තොරතුරු සන්නිවේදනයෙන් එහා ගිය මිනිස් ආශාවේ වෙළඳපොළ අඩවියකට ඇතුළු වී ඇති ආකාරය දැක ගත හැකිය. එය ප්‍රාථමික මිනිස් අවශ්‍යතා අලෙවිකරනු ලබන ස්ථානයකි. මේ අනුව, රාජ්‍ය දෘෂ්ටිවාදය ග්‍රාහකයාගේ මනසට ඇතුළුවන්නේ ඔහුගේ ආශාව හා බැඳුණු බුද්ධිමය කලාපයක් හරහාය. ‘ආපසු’ යන මාතෘකාවෙන් එන කවිය මේ ලුබ්ධිමය ආර්ථික ක්‍රියාවලිය හෙළිදරව් කිරීමටය. ඊට කවියා යොදාගෙන ඇති ආකෘතියද අලුත්ය. රූප සන්නිවේදනයේදී රූපය ග්‍රාහකයා වෙත පැමිණෙන ගමන් පථය ඔස්සේම කවියා පරිකල්පනීයව ප්‍රති දිශාවට ග්‍රාහකයා ගෙන යාම හරහා අධිපති දෘෂ්‍ය සන්නිවේදනයේ මෙම ලුබ්ධිමය ආර්ථික මානය හෙළිකර ගැනීමට සමත් වේ.
“ඇන්ටනා වයරය දිගේ
පහළින්
ඇදෙමි මම
කිරණයේ ඇන්ටනා කූරට
ඇන්ටනා කූරේ
මුදුන්
මිදෙමි මම
අංශුවක් වී
ඩිජිටල් තරග ඇකයක
……………….
…………
වයර් කෙබල්
දිගේ
වදිමි මම
ඇස් දෙකක් වී
ස්ටූඩියෝ කුටියට
කාචයට ඉස්සරහා
පැත්තෙන්
පනිමි මම
පුරුෂ ලිඟුවක් සේ
ඇගේ කලවා අතරට”
(21-21 පිටු ‘ආපසු’)
‘ඒ පරිපූර්ණ දඹුල්ල’ කවිය ගත් විට නවලිබරල් පරිභෝජනවාදයේ හා සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ වංක හවුල සූක්ෂම ලෙස එළිදරව් කිරීමකි. ‘සංක්‍රාන්ති ලිංගික තරුනයෙක් දඹුල් නගරයේදී ඝාතනය වෙයි’ යන උපශීර්ෂයකින් දැක්වෙන පරිදිම, එකී අත්දැකීම පාදක කරගන්නා කවිය ඒ හරහා සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය හා නව ලිබරල් පරිභෝජනවාදය එකිනෙක මත අතිපිහිත වෙමින් සකස් කර ඇති සමාජ ව්‍යුහයේම පවතින දෙබිඩි හා කුහක බව ප්‍රශ්න කරයි.
“කුනු ගෝවා ගඳ උහුලමින්
රෑට ඇහැරිලා ඉන්නෙ මොකටද?
ඒයි …. පරිපූර්ණ දඹුල්ල,
අපි දන්නවා ඒ මොකටද?
තලගොයි පැටියෙකුටවත් රෑට
උගේ තාලය ගන්නට නොදෙන්න”
(23 පිටුව ‘ඒයි දඹුල්ල’)
ආගමික අර්ථයකින් උත්කර්ෂයට නැගෙන ‘ඓතිහාසික දඹුල්ල’ හා නවලිබරල් ආර්ථික මධ්‍යස්ථානයක් වූ දඹුල්ල ලංකාව පිළිබඳවම දෘෂ්ටාන්තයක් වැන්න. ‘දඹුලුත් ගිහින් තලගොයි මරාගෙන ඒමේ’ කුහක වත උපදිනුයේ මේ නව ලිබරල්වාදී පරිභෝජනවාදයේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයේ දෙමුහුන් වීමෙනි. ‘සංක්‍රාන්ති ලිංගිකයන්’ මරා දමන මේ දෘෂ්ටිවාදී පැවැත්මට කවියා ප්‍රබල භාෂාත්මක නිරීක්ෂණයක් හරස් කරයි. ඒ ඇතැම් විට සිංහල බෞද්ධ දෘෂ්ටිවාදියා උරන කරවනසුලු විය හැක. එහෙත්, ඒ භාෂාත්මක කඩාවැදීම ම කවියාගේ දේශපාලනයයි.
“ඒයි .. රංගිරි දඹුල්ල,
උඹල ම හදාගෙන
රත්තරන් උලා ගත්
පිළිම දෙස වත්
කෙළින් බලපං
ගෑනු ගතියක් තියෙනවා බුදුන්ටත්”
(24 පිටුව ‘ඒයි දඹුල්ල’)
ලක්ෂාන්ගේ මීට පෙර පළ වූ ‘කොළඹට කියන්නෙ බොරැල්ලට’ කාව්‍ය කෘතියේදී සාර්ථක ලෙස අත්හදා බලා තිබූ දීර්ඝ පාද ආකෘතියේම සාර්ථක කවි කිහිපයක්ම ‘බුදුවෙන්නවත් අත් අරින් නෑ’ කෘතියේදී හමු වේ. 77 විවෘත ආර්ථිකයත් සමග ඉක්මන් වූ ග්‍රාමීය ආර්ථිකයේ කඩා වැටිම, සමාජීය ලෙස යම් පමණකට හෝ සමහන් කරගැනීමට හැකි වූයේ ලාංකේය ග්‍රාමීය සමාජයේ ස්ත්‍රීන් බොහොමයක් කර්මාන්ත ශාලා තුළට කැඳවූ ‘නිදහස් වෙළඳ කලාප’ තුළිනි, විදේශ ගෘහ සේවා තුළිනි. එහෙත් එකී තාවකාලික පිළියම්ද ගැඹුරු සමාජ ආතතීන්, අසහනයන්, ජනිත කරවන සුලු විය. ‘වැරදි’ යන මාතෘතාවෙන් ඇති කවිය මේ සමාජ කැලඹුම කවියට හසුකර ගැනීමට දැරූ උත්සාහයකි.
‘ටවුමෙ කඩේ ඒජන්සිය මුදලාලිද වැරදී
ටිකට් ගන්න සල්ලි දෙන්නෙ කවුද ඇයට මුලදී
පැරදි පැරදි මෙහෙම ඉන්නෙ ඇයිද වැරදි වැරදී
එහෙම හිතපු අපෙ අම්මද ඒ නැත්නං වැරදී
සිහිය නැතිව ගෙදර ආපු පාර වැරදි වැරදී
තාත්තාද මෙහෙම කළේ වහගන්නට වැරදී
අපායකින් එතෙර වෙන්න, මට නොවෙන්න වැරදී
එතෙර ගියපු අපේ අම්මද ඒ නැත්නම් වැරදී
(37 පිටුව ‘වැරදි)
මෙහිදී ලක්ෂාන් සමාජ අර්බුදය හුදු ආර්ථික අර්බුදයකට ඌනනය නොකොට එහි ආධ්‍යාත්මික සමාජ විඥාන පාර්ශ්වය සිය කවියට හසුකර ගනී.
‘කොටුවෙ සාදු බණට කියන ගොඩක් ඒවා වැරදී
ටීචර්වත් දන්නෙ නෑනෙ කවුද කොතන වැරදී’
(37 පිටුව ‘වැරදි)
‘බුදුවෙන්නවත් අතහරින් නෑ’ කෘතියේ ඇතැම් කවියක දෘෂ්ටිමය සීමාවන්ද අමතක කළ නොහැක. උදාහරණයක් ලෙස ‘හේ සල්ලි නම් විය‘ යන මැයෙන් ඇති කවිය ගත හැක.
“අවකාශයට
කාලයට පවා
ගල්ගැසී
පෙර පැවති
වටිනාකමක්
රැගෙන ආවේ
හෙතෙම
මා තුලින්
මටත් වැඩි
වෙන යමක්
දකින්නට
පුරුදු කෙරුවේ
හෙතෙම”
(පිටුව 49-50 ‘හේ සල්ලි නම් විය’)
කවියා සංකල්ප රූප හරහා නිෂ්පාදනය කරන දැනුම ‘න්‍යායික දේශපාලන ඥානය’ ඉදිරියේ සරල ලෙස බිඳ නොවැටිය යුතුය. න්‍යායික දේශපාලන ඥානයකින් පවා විග්‍රහ කරගැනීමට තරම් කාව්‍යමය සංකල්පය පෘථුල විය යුතුය. හෙත් න්‍යායික දේශපාලන ඥානය විසින් අපට වටහා දෙනුයේ
“මා තුළින්
මටත් වැඩි
වෙන යමක්
දකින්නට
පුරුදු කෙරුවේ”
(49-50 හේ සල්ලි නම් විය)
මුදලේ ඇති අද්භූත බලයක් විසින් නොව, නිෂ්පාදනයේදී වටිනාකම් අන් සතුවීම මත බවය. දේශපාලන ආර්ථිකයේ මෙම කලාපය, මෙම කවියේදී එහෙම පිටින්ම බැහැර වී ඇත්තේ කවියා අත්දැකීමේ ආතතියට යට වීමෙන්දැයි සැක සිතේ. මන්ද ඔහුගේ අනෙක් කෙවි දෙස බැලීමේදී පෙනී යන පරිදි මෙකී දේශපාලනික සබුද්ධිකත්වය ඔහු සතු වේ. කවියා හොඳින්ම දන්නා කියන සත්‍යයක් මේ කවියේදී අත හැරී ඇත.
මීට අමතරව කෘතියේ ඇති ‘ඇහැරවන්න ඔය බබාව’ ‘මොනවද ඕන’ වැනි කවි ලිපියේ සීමිත ඉඩකඩ තුළ සාකච්ඡාවට ලක් කළ නොහැකි වුවද සංවාදයට බඳුන් විය යුතු නිර්මාණ ලෙස සැළකිය හැක.
කෙසේවුවද කවියේ සමස්ත අතීත ඥාන ගබඩාවේ, භාව මණ්ඩලයේ, කලා තාක්ෂණයේ උරුමය ආත්ම ගතකරගත්, සාම්ප්‍රදායික ආකෘතික හා දෘෂ්ටිමය සීමාවන් තුළ ගල් නොගැසුණ අනාගතවාදී කවියකට අවශ්‍ය අත්දැකීමේ පෘථුලභාවය, ආකෘතියේ නව්‍යභාවය හා භාෂාවේ සාර්ථකභාවය ‘බුදු වෙන්වත් අත අරින්නෑ’ කෘතියේ දැක ගත හැක.
අප කලින්ද සඳහන් කළ පරිදි ඒ ඔහුගේ කවියේ උපමාව, රූපකය, භාෂාව හා විරිත නොනවතින අභ්‍යාසයක් මගින් මුවහත් කරගෙන ඇති බැවිනි. එය සුලුපටු වෙහෙස මහන්සියක් නොවේ. එය ලක්ෂාන්ගේ කාව්‍ය කෘති 4ක් පුරා සිදු කළ නොගනවතින කලාත්මක අරගලයේ ප්‍රතිඵලයකි. දැන් අවශ්‍ය වන්නේ එම කලාත්මක වෙහෙසේ ප්‍රතිඵලය සමාජයට, සමාජ ව්‍යාපාරයන්ට අවශෝෂණය කරගැනීමේ වගකීම් සහගත කාර්යභාරයයි.