Breaking News

ජනාධිපතිවරයා තවත් කේන්ද්‍රීය අභියෝගයක් ආමන්ත්‍රණය කරයි

ජෙහාන් පෙරේරා

ආර්ථිකය, සංචාරක උපදේශන හෝ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආණ්ඩුව ඉතා සාධාරණව කටයුතු කරමින් සිටින අතර, එහි ප්‍රතිඵල ලබමින් සිටී. ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය, බලයට පත්ව මාසයකට පසුවත් ආණ්ඩුවේ ජනප්‍රියතාව දිගටම පවතින බවත්, එය ජනාධිපති අනුර කුමාර දිසානායක තනි පුද්ගලයාට පමණක් සීමා නොවී ජාතික ජන බලවේගය දක්වා විහිදී ඇති බවත් පෙන්නුම් කරයි. මෙවර ජයග්‍රහණයේ වෙනස පසුගිය වතාවේ පැවැති පළාත් පාලන මැතිවරණවලට වඩා බෙහෙවින් වැඩිය. ජාතික ජන බලවේගයට, 2019 දී තෝරාගත් පසුගිය සභාවේ ආසන දෙක, මෙවර ආසන 15 දක්වා වැඩිකර ගැනීමට හැකි වූ අතර, 2019 දී ලබාගත් සියයට 6ට සාපේක්ෂව මෙවර සියයට 48 ක් පමණ ඡන්ද ලබාගැනීමට සමත් විය.

පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ලැබූ විශාල ජයග්‍රහණ වෙනස සිදුවන්නේ, ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාගේ ජයග්‍රහණයෙන් පසු, එම පක්ෂයේ අපේක්ෂකයන්ට ඡන්දය දීම වඩා යහපත් යැයි ඡන්දදායකයන් කළ ගණනය කිරීම නිසා විය හැකිය. එමෙන්ම නව ආණ්ඩුව කාර්යක්ෂමව සිය කාර්යයන් ඉටුකරන බවට ඇති පොදු සෑහීමද ඊට හේතු වන්නට ඇත. අර්බුදකාරී කාලය තුළ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ හා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ එහි අන්තර්ජාතික ආධාරකරුවන්ගේ විශ්වාසය දිනාගත් ආර්ථික කණ්ඩායම රඳවා තබා ගැනීම නව ආණ්ඩුවේ සාධාරණ තීරණයක් විය. එමගින්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ගැටුමක් ඇති වනු ඇති බවත්, රට නැවත ආර්ථික අරාජිකත්වයට ගෙන යනු ඇති බවත් යන බිය දුරුකළේය. ජපන් රජය විසින් නතර කර තිබූ ව්‍යාපෘති 11 ක් නැවත ආරම්භ කිරීමෙන් පෙන්වූ පරිදි අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවේ නැවත ආයෝජනය කිරීමෙන් සිය සතුට ප්‍රකාශකර ඇත.

බුද්ධි අංශ වාර්තා අනුව ත්‍රස්තවාදී තර්ජනයක් හේතුවෙන් එක්සත් ජනපදය සහ තවත් බටහිර රටවල් කිහිපයක් විසින් නිකුත්කරන ලද සංචාරක උපදේශන හේතුවෙන් මතුවූ අනපේක්ෂිත අභියෝගයට රජය විශිෂ්ට ලෙස මුහුණ දී ඇත. එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත්කළ උපදේශනයේ සඳහන් වූයේ, “අරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කරගත් ප්‍රහාරයක් පිළිබඳ අවවාද කෙරෙන විශ්වසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබී ඇත. මෙම තර්ජනය මගින් ඇති කරන බරපතල අවදානම හේතුවෙන්, වැඩිදුර දැනුම්දීමක් සිදු කරන තෙක් තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය සඳහා අරුගම්බේ ප්‍රදේශයට යෑමේ සීමාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇත. වැඩිදුර දැනුම්දීමක් සිදුකරන තෙක් අරුගම්බේ ප්‍රදේශයෙන් ඈත්වන ලෙස එක්සත් ජනපද පුරවැසියන්ට දැඩි ලෙස අවවාද කරනු ලැබේ.” යනුවෙනි.

ඉන්පසුව ඊශ්‍රායල රජය විසින් ඊශ්‍රායල පුරවැසියන්ට තම උපදේශනය නිකුත් කරමින්, රටින් පිටව යන ලෙස හෝ වැඩි ආරක්ෂාවක් පවතින කොළඹට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය. මෙය ඊශ්‍රායල සංචාරකයන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමේ හැකියාව පෙන්නුම් කළේය. මෙම සංචාරකයන්ගෙන් සමහරෙක් තම වීසා බලපත්‍රවල කාලය ඉක්මවා රැඳීසිටින අතර රටේ නැගෙනහිර ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතුවල නිරතවෙති. ඔවුහු සාම්ප්‍රදායිකව මුස්ලිම් බහුතරයක් සිටින ප්‍රදේශයේ යාච්ඤා මන්දිර ද ඉදිකරමින් සිටිති. සංචාරක සමයේ උච්චතම අවස්ථාවේ සංචාරක උපදේශන නිකුත් කළ විදේශ තානාපති කාර්යාල සමඟ චෝදනා, ප්‍රතිචෝදනා හුවමාරු කරගැනීමට යෑමෙන් වැළකී, රජය කිසිදු ආන්දෝලනයකින් තොරව අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ කටයුතු සිදුකළේය.

විචාරශීලී චින්තනය

මෙම ආරක්ෂණ උපදේශනවලින් පසු ත්‍රස්ත තර්ජනය සම්බන්ධයෙන් කටයුතු කර ඇති බව පෙනීගියද, නැගෙනහිර සහ අනෙකුත් ප්‍රදේශවල වාර්තා වී ඇති ලියාපදිංචි නොවූ හා නියාමනය නොවන විදේශීය සංචාරක ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කිරීම වැදගත් වේ. තවද, බොහෝ රටවලින් පැමිණි, සංචාරක වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන් විදේශ බැංකු ගිණුම්, විදේශ ණයපත් යන්ත්‍ර, විදේශ මුදල් මගින් ගෙවීම් සහ විදේශ මූල්‍ය හුවමාරු සිදුකිරීමේ වෙනත් ක්‍රම භාවිත කරන බව වාර්තා විය. මෙම නියාමනය නොවන ක්‍රියාකාරකම් දේශීය සංචාරක කර්මාන්තයට බරපතල තර්ජනයක් එල්ල කරන අතර, නව ආණ්ඩුව විසින් දේශපාලන අනුග්‍රහයෙන් තොරව ආගමන විගමන හා මූල්‍ය අංශ සමඟ එක්ව වහාම මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය.

සැළකිව යුතු මුස්ලිම් ජනතාවක් වාසය කරන නැගෙනහිර ශ්‍රී ලංකාවේ, යුදෙව් දේවස්ථාන හෝ චබාඩ් නිවාස ඉදිකිරීම, විශේෂයෙන්ම මෑත ගෝලීය ආතතීන් සැළකිල්ලට ගනිමින්, සමහරුන් විසින් අනවශ්‍ය ඇඟිලි ගැසීමක් හෝ අවුස්සන සුළු ක්‍රියාවක් ලෙස දැකිය හැකිය. ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ සංවේදීතාවන්ට ප්‍රමුඛත්වය දිය යුතුය. කෙසේවෙතත්, අදාළ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රතිචාරයද විචාරශීලී වී තිබීම සැළකිව යුතුය. බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාව ඊශ්‍රායල සහ අනෙකුත් සංචාරකයන් සිදුකරන ව්‍යාපාරික කටයුතු අගය කරන අතර, ඒවාට අවදානමක් ඇතිවීම දැකීමට කැමති නැත. 2022 වසරේ ආර්ථික කඩාවැටීමෙන් පසු, රට පුරා ජනතාව, විශේෂයෙන් ආර්ථික කරුණු සම්බන්ධයෙන් වඩාත් විචාරශීලී හා අඩු චිත්තවේගී බව පෙනේ.

රට පුරා සිටින තරුණ තරුණියන් සහභාගී වූ මෑතකදී පැවැති සම්මන්ත්‍රණයකදී ද එවැනිම සිදුවීමක් නිරීක්ෂණය විය. ඔවුන් සියලු ජාතීන් හා ආගම්වලට අයත් විය. ඔවුන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වයේ වැදගත්කම වූයේ එකිනෙකාගේ ප්‍රජාවන් හෝ ආගම් කෙරෙහි සැකසංකා හෝ අවිශ්වාසයක් නොපෙන්වීමයි. ශ්‍රී ලංකා සමාජයේ බහුත්ව ස්වභාවය හා මෙම විවිධත්වය නිරූපණය කිරීමට අවශ්‍ය දේශපාලන ව්‍යුහයන් පිළිබඳ ගැටලු විචාරශීලී ලෙස එහිදී සාකච්ඡා කෙරිණි. නව ආණ්ඩුව මෙම අභියෝගය භාරගත යුතුය. ජාතික සංහිඳියාව සහ ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් සඳහා වන මූලික පදනම් දැන් ළඟාකර ගතහැකි දුරක පවතී.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පළාත් ආණ්ඩුකාරවරුන් සහ අනෙකුත් නිලධාරීන්ට ඔවුන්ගේ පාලන භූමිකා වැඩිදියුණු කරන ලෙස කළ ඇරියුම, ඉදිරි වසරේදී දිගු කලක් කල්දැමූ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ඔහු දුන් පොරොන්දුව සමඟ එක්ව තිබේ. ජනාධිපතිවරයා ගත් මෙම ස්ථාවරය, විශේෂයෙන් උතුර හා නැගෙනහිර පළාත්වල දෙමළ හා මුස්ලිම් ඡන්දදායකයන් විසින් පිළිගනු ලබනු ඇත. පළාත් සභා ක්‍රමය විමධ්‍යගත පාලනය පමණක් නොව, බලය විමධ්‍යගත කිරීම ද වන අතර, එයින් අදහස් වන්නේ තීරණ ගනු ලබන්නේ පළාත් මට්ටමින් තෝරා පත්කර ගන්නා අය විසින් බවයි. මෙම තර්කයට අනුව, මධ්‍යම රජයෙන් ලැබෙන උපදෙස් මගින් පළාත් සභා ක්‍රමයේ අරමුණ වන ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ප්‍රාදේශීය නියෝජිතයන් සවිබල ගැන්වීම වෙනුවට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන නිලධාරීන් සවිබල ගැන්වීම සිදුනොවනු ඇත.

හදිසි අවශ්‍යතාව

පළාත් සභා ක්‍රමයට එරෙහිව කෙරෙන වඩාත්ම සුලභ විවේචනය වන්නේ එහි පිරිවැයයි. දැනටමත් පිඩනයට ලක්ව ඇති ජාතික අයවැයට මෙම අතිරේක පාලන ස්ථරය මූල්‍ය බරක් බවට තර්ක කෙරේ. කෙසේවෙතත්, පිරිවැය-කාර්යක්ෂමතාව නීත්‍යානුකූල කනස්සල්ලක් වුවද, මූල්‍ය අංශය කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම මගින් දේශපාලන සවිබල ගැන්වීමේ සහ ආර්ථික සමානාත්මතාවයේ ගැඹුරු වටිනාකම නොසළකා හැරීමේ අවදානමක් නිර්මාණය වේ. දේශපාලන හා ආර්ථික ඒකාග්‍රකරණය පිළිබඳව සමීපව බැලීමේදී, එය ආර්ථික අසමානතාව පවත්වාගෙන යන සැළකිව යුතු විෂමතා ඇති කර ඇති අතර, වඩාත් තීරණාත්මක ලෙස, දශක තුනක සිවිල් යුද්ධයකට තුඩුදුන් දේශපාලන බැහැර කිරීමේ හැඟීම ඇතිකර තිබේ. අන්තර්ජාතික සන්දර්භය තුළ සළකාබැලීමේදී, විමධ්‍යගත පාලනය හරහා බලය බෙදාහැරීම, විශාල භූමි ප්‍රමාණයෙන් යුත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට වඩා කුඩා ස්විට්සර්ලන්තය ඇතුළු බහු සංස්කෘතික හා බහු ජාතික සමාජවල සම්මතයක් බවට පත්ව තිබේ.

ස්විට්සර්ලන්තයට සැළකිව යුතු ස්වායත්තතාවක් සහිත කැන්ටන් 26 ක් ඇත. මෙම ව්‍යුහය මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ පොලිස් සේවය වැනි ක්ෂේත්‍ර සඳහා කැන්ටන්වලට බලය ලබාදෙයි. ස්විස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ෆෙඩරල් රජයට වෙන්කර ඇති බලතල විස්තර කරන අතර, අනෙකුත් සියලු බලතල කැන්ටන් සතුව පවතින අතර, තීරණ ගැනීමේදී ප්‍රාදේශීය රජයන්ට සැළකිව යුතු නිදහසක් ලබාදෙයි. අනෙක් අතට ශ්‍රී ලංකාවේ, මධ්‍යම රජය බොහෝ කාර්යයන් කෙරෙහි සැළකිවයුතු පාලනයක් පවත්වාගෙන යන අතර, ආරක්ෂාව, මුදල් සහ ජාතික ප්‍රතිපත්ති වැනි කරුණු දැඩි ලෙස මධ්‍යගත කර ඇත. පළාත් සභාවලට කෘෂිකර්මය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි ප්‍රාදේශීය කරුණු සම්බන්ධයෙන් යම් බලයක් ඇති නමුත්, ස්විස් කැන්ටන් සමඟ සංසන්දනය කිරීමේදී ඒවායේ බලතල සීමිතය.

‘ක්‍රම වෙනසක් සඳහා ජනතාවගේ ඉල්ලීම සහ බලය විමධ්‍යගත කිරීම සඳහා සුළු ජාතීන්ගේ ඉල්ලීම සමඟ ශ්‍රී ලංකාව පොරබදන විට විමධ්‍යගත රජයක අවශ්‍යතාව කවරදාටත් වඩා හදිසි වී තිබේ. බ්‍රිතාන්‍යයන් පිටත්ව යෑමෙන් පසු ආධිපත්‍ය දැරූ මධ්‍යගත පාලන ආකෘතිය සැළකිව යුතු දේශපාලන හා ආර්ථික අසමතුලිතතා නිර්මාණය කර තිබේ. කොළඹ වර්ධනය සහ නවීකරණය වූ කාර්යබහුල මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති අතර, බොහෝ පළාත් ප්‍රාදේශීය ගැටලු ඵලදායී ලෙස විසඳීමේ සීමිත හැකියාව සමඟ ආර්ථික වශයෙන් මායිම්ගත කර දේශපාලනික වශයෙන් අසවිබල කර තිබේ. මධ්‍යගත තීරණ ගැනීම බොහෝ විට රට පුරා විවිධ ජාතික හා කලාපීය ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට අසමත් වී ඇති අතර, එමගින් ආර්ථික විෂමතා උග්‍රකර සමාජ අසහනය වැඩිකර තිබේ.

උදාහරණයක් ලෙස, කෘෂිකර්මය, යටිතල පහසුකම් සහ අධ්‍යාපනයට බලපාන ප්‍රතිපත්ති, ප්‍රාදේශීය අවශ්‍යතා මත පදනම්ව එක් පළාතකින් තවත් පළාතකට හදිසි අවශ්‍යතාව සහ අදාළත්වය අතින් බෙහෙවින් වෙනස්විය හැකිය. පැහැදිලිවම කඳුකර ප්‍රදේශවල අවශ්‍යතා වෙරළබඩ ප්‍රදේශවලින් වෙනස් වේ. පත්කරන ලද ආණ්ඩුකාරවරුන් කාර්යක්ෂම පරිපාලකයන් විය හැකි නමුත්, තෝරා පත්කර ගන්නා නිලධාරීන් සතු සියුම් අවබෝධය සහ ප්‍රාදේශීය ගැටලු පිළිබඳ ගැඹුරින් මුල් බැසගත් කැපවීම බොහෝවිට ඔවුන්ට නොමැත. පළාත් සභා ක්‍රමයේ අරමුණ වන්නේ ප්‍රාදේශීය වශයෙන් තෝරා පත්කර ගන්නා නියෝජිතයන්ට තීරණගන්නන් වීමට ඉඩදීමයි. එබැවින් මෙම සභා යළි පිහිටුවීම සහ මධ්‍යම පත්කිරීම් මගින් ඒවායේ ස්වායත්තතාව දුර්වල කිරීමෙන් වැළකීම අවශ්‍ය වේ. පළාත් සභා ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය හා පරිපාලන ස්වායත්තතාව යන දෙකින්ම සවිබල ගැන්වීම මගින් ශ්‍රී ලංකාවේ නව පාලන යුගයක් ඇති කළ හැකි වනු ඇත. එය සියලු ප්‍රජාවන්ගේ අපේක්ෂාවන්ට අනුකූල වන අතර කලාපීය සංවර්ධනය පහසු කරනු ඇත.

leave a reply