Breaking News

2025 අයවැයට පෙ.ස.ප. යෝජනා ජනාධිපතිවරයාට යොමුකරයි

2025 වර්ෂයේ අයවැය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද 2024 – 12 – 20 දින ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද නුගේගොඩ පක්ෂ කාර්‍යාලයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.

” අපි දන්නවා ඉදිරියේ දී 2025 වර්ෂය සඳහාවන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරියේදී එනවා. දැනට ආරංචි විදිහට පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්න නියමිතයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි මේ අයවැය සම්බන්ධයෙන් වන යෝජනාවලියක් අද ආණ්ඩුවට ඉදිරිපත් කරනවා.

මේ ආණ්ඩුව දැනට මාස කිහිපයක් සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගෙන ඉන්නේ. ඉදිරියේදී අයවැය ඉදිරිපත් කරන්න නියමිතයි. නමුත් ජනාධිපතිවරයා දෙසැම්බර් 18 පාර්ලිමේන්තුවට ඇවිත් විශේෂ කතාවක් කලා. මේ කතාව අයවැය කතාවක සාරාංශයක් වගේ. අපිට තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි ජනාධිපතිවරයා එහෙම හදිසියේ කතාවක් කලේ කියන එක.

මේ කතාවෙදි ජනාධිපතිවරයා කිව්වෙ IMF එක සමග පැමිණි එකඟතා ගැන. බදු අඩු කිරීම සඳහා එකඟ වුණ ක්ෂේත්‍ර, බදු වැඩිවන ක්ෂේත්‍ර වගේ පැති වගේම ඉදිරි කාලයේදී වාහන ගෙන්වීමේ සූදානම ගැනත් මෙහිදී අදහස් දැක්වුනා. එතකොට අපිට පැහැදිලි ඉදිරි වර්ෂය සඳහා ලංකාවේ අයවැය ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන ලේඛනයක් තමයි අයවැය විදිහට පාර්ලිමේන්තුවට එන්න නියමිත වෙන්නේ.

දැනට රුපියල් ලක්ෂයේ සීමාවේ තිබුණු උපයන විට බද්ද රුපියල් එක්ලක්ෂ පනස්දහස දක්වා සීමාවට ගේන්නත්, ඉතුරුකිරීම් ගිණුම්වල පොලිය සඳහා අය කරන රඳවා තබාගැනීමේ බද්ධ 5% සීමාවේ සිට 10% සීමාව දක්වා ගේන්නත් IMF එක එකඟවුනා කියලා ජනාධිපතිවරයා කිව්වා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ලක්ෂ 50කට ආසන්න රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් ලක්ෂ එකහමාරක් පමණ පිරිසකට තමයි මේ සහනය ලැබෙන්නේ. උපයන විට බද්ද සම්බන්ධ ඉහත සීමාවේ ඉන්නෙ 121000ක ප්‍රමාණයක්. ලංකාවේ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 51ක් පමණ තියනවා. ඒ අයගෙන් මේ සීමාවට අයත් නොවන සියලු දෙනාට අධික බද්ධක් ගෙවන්න වෙනවා. දැනට ළමා ඉතුරුම් ගිණුම් සඳහාත් ඉතාම අසාධාරණ විදිහට මේ රඳවාතබාගැනීමේ බද්ධ අය කරනවා.

ඊලඟට ආණ්ඩුව තීරණය කරල තියනවා පරාටේ නීතිය අත් හිටුවීම මාර්තු 31 දක්වා දීර්ඝ කරන්න. ඒ කියන්නේ අප්‍රේල් 1 වෙනිදා ඉඳල පරාටේ නීතිය ක්‍රියාත්මක වෙන්න නියමිතයි. අපි දන්නවා පසුගිය කාලේ පරාටේ නීතිය නිසා විශාල ප්‍රමාණයක් සියදිවි හානිකරගත්තා. පසුගිය කාලෙම ජනතාව කිව්වේ පරාටේ නීතිය අහෝසි කරන්න කියලා. මොකද මේ නීතිය පාවිච්චි කරලා ණය ගෙවාගන්න බැරි මිනිස්සු විශාල ප්‍රමාණයක් බැංකු මගින් පීඩාවට ලක් කරනවා.

ඊලඟට ජනාධිපතිවරයා කිව්වා පෙබරවාරි මාසෙ ඉඳලා පෞද්ගලික පරිහරණය සඳහා වාහන ගෙන්නන්න අවසර ලබා දෙන බව. මේ යෝජනාව IMF යෝජනාවක්. ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නෙ මේ ගෙන්නන වාහන මත විශාල බද්ධක් අය කරල තමන්ගේ බදු ආදයම වැඩි කරගන්න නමුත් ඒ මගින් වෙන්න නියමිත දේ තමයි රටේ ඩොලර් සංචිත විශාල ප්‍රමාණයක් පිටරටට යාම. 2018 අවුරුද්දේ අපිට වාහන ගෙන්නන්න ඩොලර් බිලියන 1.5ක් පමණ වැය වුනා. මේ ලබන වසරේ සිට නැවත වාහන ගෙන්නන්න අවසර දුන්නොත් ඩොලර් බිලියන 2ක් පමණ යොදවන්න වෙනවා. ඊලඟට 2024 – 25 අවුරුදුවල අපි නොගෙවපු ණය පොලී වාරික එකතුකරල බැඳුම්කරයක් හදල තියෙන්නේ ඒක අපි ගෙවන්න ඕන 2025 අවුරුද්දේ ඒකෙනුත් අපිට ඩොලර් බිලියන 1 -2 අතර ප්‍රමාණයක් අහිමි වෙන්න නියමිතයි. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා රුපියල් වැඩි කරගන්න ගිහින් ඩොලර් සංචිත අහිමිවෙන විදිහේ තීරණ ගන්න එපා. ආණ්ඩුවට තමන්ගේ ආදායම වැඩි කරගන්න ඕනතරම් පාරවල් තියනවා. අපේ යෝජනා ඇතුලේ අපි එවැනි ක්‍රම ආණ්ඩුවට ඉදිරිපත් කරල තියනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි ආණ්ඩුවට යෝජනා 22ක් යොමු කරනවා. ඒ රාජ්‍ය ආදයම් ක්ෂේත්‍රය, විදේශ විනිමය ක්ෂේත්‍රය සහ ජනතාවට සහන දීම කියන මූලික අංශ තුනට අවධානය යොමු කරමින්.

අපි ආණ්ඩුවට යෝජනා කරනවා දැනට රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් තියෙන බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න කියලා. ජනතාවගේ භාණ්ඩ සහ සේවා මත අය කරන වක්‍ර බදු අඩු කරන්න. මහාපරිමාණ සමාගම්වල ප්‍රාග්ධනය සහ ලාභය මත අය කරන බදු ප්‍රමාණය වැඩි කරන්න. කොවීඩ් වසංගතය කාලේ විශාල ලාභයක් උපයපු සමාගම්වලින් විශේෂ බද්ධක් අය කරන්න. වසංගතය කාලේ පාඩු ලබපු සුළු සහ මධ්‍යපරිමාණ ව්‍යාපාරවලට බදු සහන දෙන්න. මේක අලුත් යෝජනාවක් නෙවෙයි ලෝකෙ ගොඩක් රටවල් කරපු දෙයක්.

දැනට 18% දක්වා තියන වැට් බද්ධ 12% දක්වා අඩු කරන්න කියල අපි ආණ්ඩුවට යෝජනා කරනවා. ඊලඟට අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ සහ සනීපාරක්ෂක උපකරණ මත පනවා ඇති බදු අහෝසි කරන්න ඕන. පාසල් උපකරණ බදුවලින් නිදහස් කරන්න ඕන. අද වෙද්දී ලංකාවේ ළමයි හතරෙන් එකක් මන්දපෝෂණයෙන් ඉන්නේ. ගැබිනි මව්වරුන්ට නීරක්තිය. යෝගට් සහ කිරි ආහාරවල බද්ධ විතරක් අඩු කරල මදි වහාම අත්‍යාවශ්‍ය ආහාර සඳහා බදු ඉවත් කරන්න ඕන. මේ බදු ඉවත් කලා කියල රජයට පාඩුවක් වෙන්නෙ නෑ. රුපියල් බිලියන 400ක් පමණ තමයි රාජ්‍ය ආදයමට මේකෙන් අහිමි වෙන්නෙ. නමුත් පහුගිය කාලේ රජය ධනපතියන්ට රුපියල් බිලියන 1002ක් බදු සහන දීලා තියනවා. ඒවයෙන් අඩුම තරමේ බිලියන 500ක්වත් අයකරගැනීමෙන් මේ පාඩුව පියවගන්න ආණ්ඩුවට පුලුවන්.

දැනට IMF එක යෝජනා කරන ආරෝපිත කුලී ආදායම් බද්ධ නිසා නිවෙසක් තියෙන සියලු දෙනා පීඩාවට පත් වෙනවා. මේ අසාධාරණ යෝජනාව ඉවත් කරලා සුඛෝපභෝගී නිවාස කොළඹ වගේ ප්‍රදේශවල මහල් නිවාස සංකීර්ණ වගේ විශාල දේපළවලට බදු අයකරන ක්‍රමයක් හදන්න ආණ්ඩුවට පුලුවන්.

අධික ලාභ උපයන සමාගම්වලින් සුපිරි වාසි බද්ධක් අය කරන්න.

පහුගිය කාලේ ආණ්ඩුව ගත්ත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ දී දැවැන්ත මූල්‍ය සමාගම්වලට 28% 30% පොලියක් ගෙවන්න තීරණය කලා. EPF, ETF කමකරු අරමුදල්වලින් ගත්ත ණය සඳහා ගෙවන්නෙ 9% 8% අතර පොලියක්. මේක ඉතාම අසාධාරණයි. අපි කියන්නේ මේක වෙනස් කරල අර දැවැන්ත මූල්‍ය සමාගම්වලට ගෙවන විශාල පොලිය අඩු කරන්න. ඊලඟට දැවැන්ත සමාගම්වලින් සුපිරි වාසි බද්ධක් අයකරන්න ඕන. ඔත්තු හා සූදු ව්‍යාපාරවල බදු ඉහල දාන්න ඕන. මේවගෙන් ආණ්ඩුව පුලුවන් තමන්ගේ රාජ්‍ය ආදයම ඉහල නංවාගන්න.

පහුගිය කාලේ විදුලිබල මණ්ඩලය විශාල ලාභයක් ලැබුවා. දැන් ඒ සහනය ජනතාවට දිය යුතුයි. විදුලිබිල අඩු කරන්න ආණ්ඩුවට හැකියාව දැන් තියනවා.

අපි දන්නවා පහුගිය කාලේ නීතිවිරෝධී විදිහට ඩොලර් බිලියන 56ක් විදෙස් රටවල තියාගෙන ඉන්නවා. ඒ මුදල් වහාම රට ඇතුලට ගෙන්නන්න පුලුවන් යෝජනා අයවැය ලේඛනයට එන්න ඕන. ඊලඟට ආනයන ආදේශන කර්මාන්ත සඳහා විශේෂ සහන දෙන්න ආණ්ඩුවට පුලුවන්. දැනට අපි එකඟවෙලා තියෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ වහාම අත් හිටුවා හානිදායක කොන්දේසි ඉවත් කරගනිමින් විකල්ප ණය තිරසරකරණ සැලැස්මක් සඳහා වන වැඩපිළිවෙළක් මේ අයවැයෙන් ගේන්න ඕන. අපි ආණ්ඩුවට මේ යෝජනා ඉදිරිපත් කරන්නෙ මේ රටේ දුප්පත් ජනතාවගේ පැත්තෙ හිටගනිමින්. අපි හිතනවා ඒ ජනතාවගේ අභිලාෂයන්ට පිටුපෑමේ සදාචාරාත්මක අයිතියක් ආණ්ඩුවට නෑ කියලා. “

leave a reply