Breaking News

අමු අමුවේ කොවිඞ්-19 නීති උල්ලංඝනය කරන මැතිවරණ ප්‍රචාරණ කටයුතු උත්සන්න වෙයි

කොවිඞ්-19 රෝගය පාලනය කිරීම සදහා 2020 අංක 1 දරණ 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඞ්-19) (ඡන්ද විමසීම්) මර්දන නීති මගහරිමින් සමහර දේශපාලන පක්ෂ මැතිවරණ ක්‍රියාවලියේ යෙදෙන බව පැපරල් සංවිධානය පවසයි. මේ පිළිබඳව පොලිසියේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා වැඩබලන පොලිස්පති වෙත ලිපියක් යොමුකර තිබේ. පහත පළවන්නේ එම ලිපියයි.

2020 ජූලි 22

වැඩබලන පොලිස්පතිතුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ-01.

වැඩබලන පොලිස්පතිතුමනි,

2020 අංක 1 දරණ 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඞ්-19) (ඡන්ද විමසීම්) නියෝග ක‍්‍රියාවට නැගීම පිළිබඳවයි

කොවිඞ්-19 රෝගය පාලනය කිරීම සදහා ශ‍්‍රි ලංකා පොලිසිය නීතිමය අඩුපාඩුකම් සපුරාගනිමින් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා සමග සම්බන්ධවී පසුගිය මාස තුනකට අධික කාලයක් සොෟඛ්‍යය විධිවිධාන ක‍්‍රියාවට නැංවීම සඳහා පොලිස් නිධාරීන් විසින් ගන්නා ලද වෙහෙස සහ කැපවීම අප බෙහෙවින් අගය කරමු.

මේ වන විට සෞඛ්‍යය අමාත්‍යවරිය විසින් 2020 අංක 1 දරණ 2019 කොරෝනා රෝගය(කොවිඞ්-19)(ඡන්ද විමසීම් නියෝග) ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙකී නියෝග ගැසට් පත‍්‍රයේ පලකල ජූලි 17 වන දින සිට මේ දක්වාම අපගේ ක්ෂේත‍්‍ර නිරීක්‍ෂකයින්ගෙන් සහ ජනමාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු වලින් නිරීක්‍ෂණය කල කරුණක් වනුයේ මැතිවරණ රැස්වීම්වලට අදාල නියෝගයක් පිළිබඳව දේශපාලන පක්‍ෂ සහ එකී රැස්වීම් සංවිධානය කරන්නන් කිසිදු අවධානයක් යොමුකර නොමැති බවයි.

මෙම තත්ත්වය බරපතල සෞඛ්‍යය අවදානමකට අතවැනීමක් විය හැකි බැවින් එමගින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයටද අහිතකර බලපෑම් එල්ලවිය හැකි බව අපගේ අවබෝධයයි.

(222 වන අධිකාරය වූ) නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ 6 වන වගන්තිය අනුව මෙම නියෝග කඩකරන පුද්ගලයන් වැළැක්වීම සහ රඳවාගැනීමට පොලිස් නිලධාරියකුට බලය පවතී. නමුත් දේශපාලන පක්‍ෂ විසින් ප‍්‍රසිද්ධියේ සහ පොලිස් නිලධාරීන් ඉදිරියේ මෙම නියෝග කඩකිරීම් සිදුවන නමුත් කිසිම පුද්ගලයකුට එරෙහිව පොලිසිය ක‍්‍රියාකරන බවක් දක්නට නොලැබේ.

ඉදිරියේදී ඇතිවන සෞඛ්‍යමය වශයෙන් සිදුවිය හැකි අවධානම මෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සදහා ද මෙම නියෝග කඩකිරීම් සම්බන්ධව නීතිය ක‍්‍රියාත්මක කිරීම තුලින් මෙම නියෝග ක‍්‍රියාවට නැංවීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි.
විශ්වාසී
රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්‍ෂ

leave a reply