Breaking News

කොතලාවල පනතට විරුද්ධ වීම නිසා අන්තරේ කැඳවුම්කරු ඇතුළු 5ක් අත්අඩංගුවට

කොතලාවල පනතට විරුද්ධ වූ ශිෂ්‍ය ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාධරයන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු දඩයමක පොලිසිය නිරත වෙමින් සිටියි.

ඊයේ දිනයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(06) දිනයේදී ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් ශිෂ්‍යයා නාඳුනන රියකින් පැහැර ගෙන ගොස් තිබුණි. ඊයේ දහවල් ඔහු කොළඹ පැවැත්වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතාවට සහභාගි වීම පිණිස විශ්වවිද්‍යාලය අසළින් ගමන් කරමින් සිටියදී මෙම පැහැරගැනීම සිදුව ඇත.

ඔහු, ප්‍රදේශයට අයත් මිරිහාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත්දැයි විමසීමේදී පිළිතුර වී ඇත්තේ එසේ අත්අඩංගුවට ගෙන නැති බවයි. මීට අමතරව, තවත් පොලිස් ස්ථාන ගණනාවකින් විමසා බැලුවද එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුව නැති බව පවසන ලදී.

පසුව රාත්‍රිය වනවිට දැනගන්නට ලැබුණේ ඔහු තලංගම පොලීසිය තුළ රඳවාගෙන සිටින බවයි.

එසේම සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වී සිට එයින් පිටව යාමේදී (පාන්දර 3.30ට පමණ) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිරස රත්මලාන මැදිරි සංකිර්ණය අසල මාර්ග පොලිස් බැරියර් දමා වසා දමමින් පොලිසිය හා විශේෂ කාර්ය බලකා නිලධාරින් විශාල ප්‍රමාණයක් එම ස්ථානය වටලා සිට මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිසිය ඊයේ දිනයේ පැහැර ගත් ජපුර මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීපගෙන් ද කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධ දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ.

ලිප්ටන් වටරවුමේ පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව නැවත විශ්වවිද්‍යාලය බලා එමින් සිටි ආචාර්යවරුන් හා සිසුන් රැගත් බස් රථයක් මග නවතා තර්ජනය කරමින් කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීමට සොදිසි කිරිම් සිදු කෙරිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා ඇති ආකාරයට ඔවුන්ට විරුද්ධව ඇති චෝදනාව වන්නේ පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයක් පවත්වා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතළ තුවාල සිදු කිරීම, මිනී පෙට්ටියක් පුළුස්සා මාර්ගයට හානි කිරීම, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම යන කරුණුය.

මේ අතර ඊයේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැහැර ගෙන යාමට ලක් වූ අමිල සන්දීප පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිලිගෙන ඇත. මෙම දෙදෙනාට අමතරව, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෑන් රථවලින් කොළඹට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් පිරිස් ප්‍රවාහනය කළ වෑන් රථ 3 ද පොලිස් භාරයට භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. අත්අඩංගුවට ගත් පස්දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම විරෝධතාව අවසන් කර ස්ථානයෙන් පිටව යමින් සිටියදී පෙ.ස.ප. දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත හා සිසු ජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි අත්අඩංගුව ගන්නා ලද අතර, ඔවුන් අගෝස්තු 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

 

leave a reply