උපන් බිමේ උරුමය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වදින අපේ අලි ඇතුන් …
2012 වසරේ සිට සෑම වසරකම අගෝස්තු 12 දින ලොව පුරා රටවල ‘ලෝක හස්ති දිනය’ සමරනු ලබයි. ඒ වාසස්ථාන හීන වීම හා ඛණ්ඩනය වීම, අලි-මිනිස් ගැටුම, සහ දඩයම් කිරීම හා වනජීවී ජාවාරම හේතුවෙන් දැඩි ජීවිත අවධානමකට ලක්ව සිටින අලි ඇතුන් සංරක්ෂණය පිළිබඳව අවධානය යොමුකරවීම පිණිසය. අලි ඇතුන් සම්බන්දයෙන් කතා කිරීමේදී ශ්‍රී ලංකාවටද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අන් කිසිවක් නිසා නොව අද දවසේ අපේ රටේ අලි ඇතුන්ට තමන්ගේ උපන් බිමේ උරුමය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීමට සිදුවී ඇති බැවිණි.
මිහිතලයේ ජීවත්වන විශාලතම ගොඩබිම් සත්වයින් අලි ඇතුන් ඔබ අමුතුවෙන් කිවයුතු නැත. ඔවුන් මේ වන විට ඉතිරිව සිටින්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් කිහිපයක පමණි. ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත ලේඛණයට අනුව අප්‍රිකානු සැවානා සහ ආසියානු වාසී අලි ඇතුන් වඳවීමේ තර්ජනයට (Endangered) ලක්වී සිටින අතර අප්‍රිකානු තෙත් වැසි වනාන්තර වාසී අලි ඇතුන් වඳවීමේ දැඩි අවධානමට (Critically Endangered) ලක්ව සිටිති. අලි ඇතුන් වඳවීයාම හුදෙක් එක් සත්ව විශේෂයක් මිහිතලයෙන් තුරන්වීමක් පමණක් නොවේ. ඒ මන්ද යත් එම සතුන් විසින් ඔවුන් ජීවත්වන පරිසර පද්ධති තුළ සිදුකරන කාර්යභාරය ඒ සමගම අහිමි වීමෙන් සමස්ත පරිසර පද්ධතියම බිඳ වැටී යාමට ඉඩ ඇති බැවිණි. එමගින් මිනිසාගේ පැවැත්මට ද බාධා එල්ලවන අතර සංචාරක කර්මාන්තය වැනි ක්‍රම හරහා ලැබෙන සෘජු ආර්ථික ප්‍රතිලාභ ද අහිමි වීම සිදුවේ.
ශ්‍රී ලංකාව තුළ වාර්තාවන ආසියානු අලි (Elephas maximus) දැනට ඉතිරිව ඇත්තේ මෙරට ඇතුළුව ආසියාවේ රටවල් 13ක පමණි. වරෙක බටහිර ආසියාවේ ඉරාන වෙරළ තීරයේ සිට ඉන්දියානු උප මහද්වීපය දක්වාත්, නැගෙනහිර දෙසින් සුමාත්‍රා, ජාවා සහ බෝර්නියෝ දූපත් ද ඇතුළුව ගිනිකොනදිග ආසියාව දක්වාත්, චීනයේ යැංසි ගඟ දක්වා උතුරටත් ආසියානු අලින් ව්‍යාප්තවී සිට තිබේ. නමුත් එම ඓතිහාසික හස්ති වාසභූමි වලින් සියයට අනුපහකින්ම (95%) මේ වන විට අලි ඇතුන් වඳවී ගොස් අවසන්ය.
ලොව ආසියානු අලි ඇතුන් ජීවත්වන රටවල් අතරින් වැඩිම වාර්ෂික අලි මරණ වාර්තාවන රට ශ්‍රී ලංකාවයි. 2011 වසරේ මෙරට සිදුකළ ප්‍රථම වන අලි සමීක්ෂණයට අනුව මෙරට වන අලි ගහනය 5879කි. නමුත් පසුගිය 2012-2022 කාලසීමාව තුළ වන අලින් 3291ක් පමණ මරණයට පත්වී තිබේ. ඒ අතරින් සියයට හැත්තෑවක් (70%) පමණම සිදුවී ඇත්තේ සෘජු මානව ක්‍රියාකාරකම් හේතුවෙනි. 2022 වසරේ මෙරටින් වාර්තාවූ වන අලි මරණ සංඛ්‍යාව 439කි. මෙම වසරේද ගතවුණු සෑම දිනකම එක් අලියෙකු හෝ මරණයට පත්ව තිබේ.
අලි-මිනිස් ගැටුම මේ වනවිට ශ්‍රී ලංකාවේ අඩකට වැඩි ප්‍රදේශයක පැතිරී ඇති අතර ඊට සම්පූර්ණ වියලි කලාපයම පාහේ ගොදුරුවී ඇත. අලි-මිනිස් ගැටුම අඛණ්ඩව ඔඩුදුවමින් පවතින අතර මෑත වසර කිහිපය තුල සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. වන අලි කළමනාකරණය හා අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වර්තමානයේ භාවිතාවන ප්‍රවේශයන් 1959 දී සකස් කරන ලද ඉතා පැරණි ඒවා වන අතර, අලි ඇතුන් සියලු දෙනා තෝරා ගත් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට එමගින් නිර්දේශ විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉලක්කය සපුරා ගැනීමට ජීවිත පවා පරිත්‍යාගයෙන් කටයුතුකළ වසර හැටකට වැඩි කාලසීමාවකට පසුවත්, අද වන විට වන අලින්ගේ වාසභූමි වලින් 70% ක්ම ව්‍යාප්තව පවතින්නේ මිනිස් ජනාවාස සහිත ප්‍රදේශවල ය. එනිසා එම ප්‍රවේශයෙන්ම ඉදිරියට යාම ගැටුම්කාරී තනි අලින්ගේ ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය වීමට තුඩු දෙන බැවින් ගැටුම් උත්සන්න වීම අඛණ්ඩව සිදුවීමට හේතුවනු නොඅනුමානය.
එබැවින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ පත්කෙරුණු ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණු ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ වර්ෂ 2020 ක් වූ දෙසැම්බර් මස ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි. නමුත් එය ක්‍රියාත්මක කෙරුණේ නැත. වත්මන් රජය විසින් එය ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා කමිටුවක් පිහිටුවා ඇතත් එම කමිටුවට නිසි බලතල හෝ ප්‍රතිපාදන ලබාදී නැත.
අලි -මිනිස් ගැටුම අවම කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් තනිව සිදුකළ හැකි කටයුත්තක් නොවන අතර ඒ සඳහා අන්තර අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු සියලු සියලු ඇල්මැති පාර්ශව සාමුහිකව ක්‍රියාකළ යුතු ආකාරය සහ කෙටි, මධ්‍ය හා දීර්ඝකාලීන පියවර මෙම ක්‍රියාකාරී සැලැස්මෙහි දක්වා ඇත. නමුත් මෙම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක නොකරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින සියලුම අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ ක්‍රමවේද යල්පැනගිය අවිද්‍යාත්මක ඒවා වන අතර එමගින් සිදුවන්නේ අලි-මිනිස් ගැටුම් තව තවත් ඉහළ යාම පමණි.
තවද වර්තමානයේ දිවයින පුරා සිදුවන මහා පරිමාණ වනාන්තර විනාශකිරීම්, කබලිකරණය වීම් සහ අක්‍රමවත් සංවර්ධන කටයුතු අලි-මිනිස් ගැටුම් උග්‍ර වීමට හේතුවී තිබේ. අලි ඇතුන් වැඩිම සංඛ්‍යාවක් එක් ස්ථානයකදී නැරඹීම සඳහා ඉඩකඩ සැලසෙන ‘ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යයන් දහය’ නියෝජනකිරීමට සමත්වූ මින්නේරිය ජාතික උද්‍යානයේ වාර්ෂික වන අලි ඒකරාශීවීමද (Elephant gathering) මේ වන විට අක්‍රමවත් සංවර්ධනයේ ගොදුරක් බවට පත්ව ඇත. තවද මව් සතුන් මරා වනාන්තර වලින් අලි පැටවුන් පැහැරගෙන ඒමේ ජාවාරම ද අලි ඇතුන් සංරක්ෂණයට තීරණාත්මක ලෙස බලපෑ ඇතත් ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවන බව බැලූ බැල්මට නොපෙනේ.
එවැනි පසුබිමක අලි ඇතුන් යනු මේ වන විට උපන් බිමේ අනාථයන් බවට පත්ව ඇති සත්ව කොටසක් ලෙස හැඳින්වීමේ කිසිඳු වරදක් නැත. උපන් බිමේ උරුමය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වදින අපේ අලි ඇතුන් දින පතාම එකා දෙන්නා වශයෙන් මැරී වැටෙති. තවත් සමහරුන් කුසගින්නේ මිය යති. නමුත් බලධාරීන්ට සහ නිලධාරීන්ට ඒ පිළිබඳව වගේ වගක් නැත. අප යෝජනා කරන අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ සාමුහික ප්‍රවේශය සිහිනයක් පමණි. එබැවින් අපට තවත් වැඩි කලක් අලි ඇතුන් සම්පත සහිත රටක් ලෙස ලෝක හස්ති දිනය සැමරීමට ඉඩ නොලැබෙන බව පමණක් අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමි.