අවසන් මොහොතේත් අරගලය පාවාදීම ප්‍රතික්ෂේප කළ කමලබන්දු සහෝදරයා
අප්‍රේල් අරගලයේ බද්දේගම පොලිස් කොට්ඨාස ලේකම්වරයා වූ කොඩිතුවක්කු මද්දගේ කමලබන්දු සහෝදරයා උපත ලද්දේ බද්දේගම ගිනිමැල්ලගහ ගමේ කුර¥වේදී 1948 ජුනි 05 දාය.
ගොවියකු වූ පියා හෙන්ද්‍රික් වූ අතර මව හෙට්ටිවත්තගේ කිරිස්තිනා විය. ඔහුට සොයුරු සොයුරියන් 7දෙනෙකි. බද්දේගම තෙලිකඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් විද්‍යා විෂයන් හැදෑරූ ඔහු 1966දී පක්ෂයට එක්වූයේ වත්තලදී හමුවූ සමරරත්න විතාන ආරච්චිගේ පියතිලක හරහාය. කිරින්දේ ගොවිපොළේ පූර්ණකාලීනයකු ලෙස කටයුතු කළ කමලබන්දු සහෝදරයා
1971 අප්‍රේල් 5 වැනිදා බද්දේගම පොලිසියට පහරදීමට 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග ගියද එය අසාර්ථක විය. පසුව 1971 අප්‍රේල් 10 බද්දේගම ජවිපෙ ක‍්‍රියාකාරිකයින් සමඟ මීටියාගොඩ පිහිටි බටපොළ කඳවුරට එක්වූ කමලබන්දු සහෝදරයා හික්කඩුව පොලිසියට පහරදීමට යන අතර මඟදී ඇතිවූ ගැටුමකදී වෙඩි ප‍්‍රහාරයකට ලක්වීමෙන් කකුලේ උඩ කොටස තුවාල විය. මීටියාගොඩ කඳවුර 1971 අප්‍රේල් 25 විසිරුවා සිංහරාජ වනාන්තරයට පසුබැසීමට එහි නායකයා වූ මීටියාගෙඩ පොලිස් කොට්ඨාස ලේකම් නිමල් කොඩිතුවක්කු සහෝදරයා ඇතුළු ක‍්‍රියාකාරිකයින් තීරණය කළේය.
පසුව තවත් සහෝදරවරුන් පිරිසක් සමඟ සිංහරාජයට පසුබැස ගිය කමලබන්දු සහෝදරයා ඇතුළු කණ්ඩායමට 1971 අප්‍රේල් 26 අම්බන කැලේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් 7 දෙනෙකු මරණයට පත්වී තවත් පිරිසක් තුවාල ලැබූහ. යළි ආරක්ෂිත ස්ථාන කරා යමින් සිටි කමලබන්දු සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත්වූයේ ඔත්තුවකට අනුව උඩුගමදීය.
පසුව ගාල්ල පොලිසියටත් පසුව බද්දේගම පොලිසියටත් ගෙන ආ කමලබන්දු සහෝදරයා තිරස්චින වධබන්දන වලට ලක් කෙරිණ.
ඔහුගේ දෑත් දෙපා විදුලි කියතකින් කපා දමද්දීත් ඔහු විප්ලවයට ජය පතා සටන්පාඨ කිවූ බව සඳහන්ය. ඔහු විසින් කිසිවෙකු පාවානොදීම නිසා අවසානයේ හිස කඳින් වෙන්කරන ලදී. පසුව සිරුර තෙලිකඩ ගෙඟ් ගසාගෙන යද්දී එය කිහිප දෙනකුට හඳුනාගැනීමට හැකිවිය. කමලබන්දු සහෝදරයා 1971 අරගලයේ විරුවන්ගේ සංකේතයක් ලෙස සැලකෙන්නේ එහෙයිනි.⋆
රාජ්‍ය හමුදාව විසින් ජනයා ඉදිරියේ වධ බන්ධන දී ඝාතනය කෙරුණු ප්‍රේමවතී මනම්පේරි සහෝදරිය
71 අරගලයට එරෙහි මර්දනයේ කෘරත්වය පිළිබඳ ජීවමාන උදාහරණය ප්‍රේමාවතී මනම්පේරි සහෝදරියයි. කතරගම දෙටගමුවේ පදිංචිව සිටි හෙන්ද්‍රික් මනම්පේරි හා ලීලාවතී උබේසිංහ යුවළගේ දරුවන් දොළොස් දෙනා අතරින් ඇය වැඩිමලා දියණිය වුවාය.
රූමත් තරුණියක වූ මනම්පේරි සහෝදරිය 1970 අප්‍රේල් දාහත් වැනිදා කතරගම ගුණසිරි හෝටලය ඉදිරිපිට පැවැති අවුරුදු උත්සවයේ දී කතරගම රූ රැජින ලෙසින් කිරුළු පැළඳියාය. ඇය ඉගෙනීමෙහි දස්කම් දැක් වූ අතර ‘ජ්‍යෝෂ්ඨ පාඨහාලා සහතික පත‍්‍ර විභාගය’ (එස්. එස්. සී.) ද ඉහළින් සමත්ව සිටියාය. අරගලයේදී 1971 අප්‍රේල් 5 සිට 15 වැනිදා දක්වා කතරගම තම පාලනයට යටත් කර තබා ගැනීමට අරගලකරුවෝ සමත් වුවත් හමුදාව පැමිණීමත් සමඟ කතරගම අතහැර පසු බසින්නට සිදු විය. මේ කාලයේදී මනම්පේරි සහෝදරිය අරගලයට අවශ්‍ය නිල ඇඳුම් හා බෑග් මසා දුන් බව පැවසේ. කතරගම හමුදා පාලනයට නතුවීමත් සමඟ පොලීසිය දැවැන්ත දඩයමක් දියත් කළේය.පොලිස් නිලධාරීන් වාහනයෙන් බැස ගොස් නිවසේ කණ්ණාඩිය ඉදිරිපිට හිස පීරමින් සිටි ප්‍රේමවතීව කොණ්ඩෙන් ඇදගෙන ජීප් රථය ඉදිරියට ගෙන ආවේය.
කතරගම විශ‍්‍රාම ශාලාවේ තිබූ හමුදා කඳවුරට ගෙනෙන අතරතුරදී ප්‍රේමවතීට ජීප් රියේදී ද පොලිසියේ නිලධාරීහු බොහෝ වද දුන්හ. ඒ වනවිට විශ‍්‍රාම ශාලා කඳවුරේ තවත් තරුණියන් හය දෙනෙක් පමණ සිටියහ. ලූතිනන්වරයාත් උසස් පොලිස් නිලධාරියාත් ප්‍රේමවතීට පහර දෙමින් ප‍්‍රශ්න විමසූහ. ඒ වනවිට විසි දෙහැවිරිදි වියේ සිටි ප්‍රේමවතී මනම්පේරි සහෝදරියගේ අවසන් හෝරා කිහිපය සියැසින් දුටු කිහිප දෙනා අතරින් ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා වන එඞ්වඞ් ඩෙස්මන් වයිට් සිය අත්දැකීම මාධ්‍ය වලට පවසා තිබුණේ මෙසේය.
” ප්‍රේමවතීගේ තාත්තා මගේ යටතේ සේවය කළා. ඔහු හෙන්දිරික් අප්පුහාමි. මට මතක හැටියට ඒ පවුලේ ළමයි දොළහක් හිටියා. ප්‍රේමවතීව ඒ තරම් උස නැහැ. නමුත් ප‍්‍රියකරුයි. ඇයව මං කුඩා කාලයේදී දැක තිබුණා.
මම කතරගම සිට මේ විශ‍්‍රාම ශාලාවට යන විට ලූතිනන්වරයා ඉදිරියේ බිම තරුණියක් වාඩි වී සිටියා. ඊට එහායින් තවත් තරුණියක් කිහිප දෙනෙක් හිටියා. මම තරුණිය හඳුනා ගත්තා. ලූතිනන්වරයා මගෙන් ඇහුවා ඇයව හඳුනනවද කියලා. මම කිව්වා ඔව් ඇයගේ තාත්තා මගේ යටතේ සේවය කළ කෙනෙක් කියලා. පෙර දිනයේ හමුදා භාරයට පත්ව සිටි මේ තරුණිය බොහෝ ව්‍යසනයන්ට මුහුණ දී තිබූ බව ඈ දුටු විට මට හැඟී ගියා. අපි ආයෙත් කඳවුරේ ප‍්‍රධාන ගොඩනැගිල්ලට ආවා. ඒ එනකොට මට දකින්නට ලැබුණේ ස්වයංක‍්‍රීය ගිනි අවියක් අතැතිව ප්‍රේමවතීව ඉදිරියෙන් දක්කාගෙන මෙන් යන ලූතිනන් ඇතුළු පිරිස. මිදුල හරහා ඉදිරියට පැමිණි ඔහු ජී්ප් රථයේ බොනට්ටුව මත පාදයක් තබාගෙන තමන් වෙත මුහුණ ලා සිටින ප්‍රේමවතීට ත‍්‍රස්ත කටයුතුවලට සහභාගි වීම ගැන අසභ්‍ය වචනයෙන් බැණ වැදුණා.
ඉන් පසුව ඔහු තරුණියට අණ කළේ ඇඳ සිටි ඇඳුම් ගලවන්න කියලා. ඇය ඊට අදිමදි කළා. නමුත් හමුදා නිලධාරියාගේ ගෝරනාඩුව නිසා ඇය එකින් එක ඇඳුම් උනා දැමුවා. ඉතාම අකැමැත්තෙන් එකින් එක ඇඳුම් උණා දැමූ ඇය දෑතින් විලි වසා ගැනීමට උත්සාහ දැරුවා. ඉන් පසුව නිරුවත් තරුණියට අත් ඉහළට ඔසවාගෙන පාර දිගේ යන්නට අණ කළා. ඇය කතරගම නගරය දෙසට ඇවිද ගියා. ඇයට පිටුපසින් ගිනි අවිය මාන ගෙන ලූතිනන් හා තවත් සොල්දාදුවන් දෙදෙනෙක් ගියා. ටික වේලාවකින් අවට නිසල බව බිඳිමින් වෙඩි හඬ කිහිපයක් ඇසුණා. ඒ සමගම ප්‍රේමවතීව මුනින් අතට වැටෙනවා මම දුටුවා. මෙය තවදුරටත් බලාගෙන ඉන්න බැරි වුණ මම ගොඩනැගිල්ල ඇතුළට ආවා.
ඊට ටික වේලාවකට පස්සේ ලූතිනන් හා එරික් ඇවිත් මා ඉදිරියේ වාඩි වුණා. ලූතිනන් විජේසුරිය මටත් එරික්ටත් මත්පැන් බොන්න කතා කළා. ඔහු හිටියේ තෘප්තිමත් බවින්. ඒත් ටික වේලාවකින් එතැනට ආව සෙබලෙක් ඔහුට කිව්වේ ‘සර් තවමත් කෙල්ල මැරිලා නැහැ’ කියලා. ලූතිනන් සැරයන් රත්නායකට කෑ ගහලා අඩ ගැහුවා. ‘අන්න අර කෙල්ලට තාම පණ තියෙනවලූ, ඉවරයක් කරලා දානවා’ කිව්වා. ඉන් ටිකකට පස්සේ ආයෙමත් වෙඩි හඬ ඇසුණා. ඊට ටිකකට පස්සේ පාරේ ගිය කෙනෙකුට අඩ ගහලා කෙල්ලගෙ මිනිය වළලන්න කියලා ලූතිනන් අණ දුන්නා. ඒ කටයුත්ත පැවරුණේ් කතරගම ඇලඩින් නමැති අයෙකුට. ඊට විනාඩි කිහිපයකට පසුව පැමිණි හමුදා සෙබලකු ලූතිනන්ට තරුණිය මිය ගොස් නැතැයි පැවැසුවා.
ලූතිනන් එහි සිටි තවත් අයෙකුට ඒ කාරිය පැවැරුවා. ඉන් මොහොතකින් නැවතත් වෙඩි හඬක් ඇසුණා. මං හිතුවා සියල්ල ඉවරයි කියලා.
ඒත් එතැනින් එහා සිදු වූ දේ මම දැන ගත්තේ එරික්ගේ පුතාගෙන්. ඔහුට ඒ කාලේ අවුරුදු දාහතක් විතර ඇති. ඔහු මේ දේවල් විමසිල්ලෙන් බලාගෙන ඉදලා තිබුණා. ඇලඩින් තවත් මිනිසුන් කිහිප දෙනෙකු සමඟ වළක් කපා ඇය වැළලීමට සූදානම් වුවත් ඒ වෙන කොටත් ඇය මිය ගොස් නැති නිසා පණ පිටින් මිනිසුන් වළලන්න බැහැයි කියා තිබුණා.
ඇලඩින්ව හදුනාගත් පේ‍්‍රමවතී තම දෙකනේ තිබූ කරාබු ජෝඩුව ගලවා එය තම නැගණියට දීමට අම්මාගේ අතට දෙන්නැයි කියා තිබෙනවා. එතරම් ලාබාල තරුණියකගෙන් අපේක්ෂා කළ නොහැකි තරම් සන්සුන් බවක් සහ ධෛර්යයක් පෙන්වමින් ඇය මරණයට මුහුණ දුන්නා. ඉන් මදකට පසුව ඈ වෙත පැමිණි සොල්දාදුවෙකු ඇයගේ හිසටම රයිෆලය තබා වෙඩි තබා තිබුණා.”
උපුටා ගැනීම වම පුවත්පතේ හැත්තෑ එකේ අරගලය පිළිබඳ විශේෂ අතිරේකයෙන්