Breaking News

අපේක්ෂක වියදම් සීමා කිරීමේ කෙටුම්පතට සංශෝධන එකතු කිරීම

පැෆ්රල් සංවිධානය ද ඇතුළු නිරීක්ෂණ සංවිධාන, මැතිවරණ කොමිෂන් සභාව, දේශපාලන පක්ෂ හා මැතිවරණවලදී සමබිම අපේක්ෂා කරන සියලු දෙනාගේ ප්‍රසාදය දිනා ගනිමින් මැතිවරණවලදී අපේක්ෂක වියදම් සීමා කිරීමට පනත් කෙටුම්පතක් ගෙන ඒම පිළිබඳ අප ගරු ජනාධිපතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමාටත්, ගරු අධිකරණ අමාත්‍යතුමාටත් අපගේ ගෞරවය පිරිනමමු. එහෙත් අප විසින් 2016 දී සකස් කරන ලද මූලික කෙටුම්පතේ පැවැති අත්‍යවශ්‍ය ප්‍රධාන කරුණු කිහිපයක් එම කෙටුම්පත තුළින් මගහැරී ඇති බැවින් නැවත එම කරුණු කාරක සභා අවස්ථාවලදී එකතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

1.මැතිවරණයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුම (අවම වශයෙන් පාර්ලිමේන්තු, පළාත් සභා, ජනාධිපතිවරණ) මැතිවරණයට වෙනම ගිණුමක් විවෘත කළ යුතු බව හා පවත්වාගෙන යායුතු බවත් නාමයෝජනා බාරදී සතියක කාලයක් ඇතුළත මැතිවරණ කොමිසමට එය ලිඛිතව දැනුම් දිය යුතු බවට ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස යෝජනා කරමු.

2.අපේක්ෂකයන් සිය සියලු මූල්‍ය පරිත්‍යාග එකී ගිණුමට බැර කළ යුතු අතර සියලු වියදම් එකී ගිණුම හරහා පමණක් කල යුතු බවට ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස යෝජනා කරමු.

3.ඒ ඒ මැතිවරණවලදී අපේක්ෂකයන් වෙනුවෙන් හෝ පක්ෂය වෙනුවෙන් පක්ෂ කිසියම් වියදමක් දරන්නේ නම් ඒ සඳහා පක්ෂ ද වෙනම ගිණුමක් විවෘත කළ යුතු අතර සියලු ආධාර, පරිත්‍යාග එකී ගිණුමට බැරවිය යුතු අතර පක්ෂ වියදම් එකී ගිණුම හරහා පමණක් සිදුකල යුතු බවට ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස යෝජනා කරමු.

අපේක්ෂකයින්ට හා දේශපාලන පක්ෂවලට වෙන වෙනම ගිණුමකින් තොරව වියදම් පාලනය හෝ අධීක්ෂණ අපහසුවනු ඇති අතර මෙම පනතේ මූලික අරමුණ ද සාක්ෂාත් කර ගැනීමට අපහසු වනු ඇත.

4.වියදම් වාර්තා පරීක්ෂා කිරීමට මැතිවරණ කොමිසමට හෝ ඔවුන්ගේ බලයලත් නිලධාරියෙකුට ඕනෑම මොහොතක ඉඩකඩ තිබිය යුතු බවට ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස යෝජනා කරමු.

5.වියදම් ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදෙනු ලබන ආකෘති පත්‍රයට අනුව පවත්වාගෙන යා යුතු බවට ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස යෝජනා කරමු.

6.අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ, ව්‍යාපාරික ආයතන හෝ ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයෙන් ගලවා ගැනීමට නම් පුද්ගලයෙකුට/ ආයතනයකට අපේක්ෂකයෙකුගේ මුළු වියදමෙන් වියදම් කළ හැකි ප්‍රමාණය (උදා 10%) සීමා කළ යුතු බවට ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස යෝජනා කරමු.

7.ද්‍රව්‍යමය ආධාර ලබා ගැනීමේදී අදාළ වර්ෂයේ වෙළඳපොළ වටිනාකම අනුව එය ගණනය කරනු ලැබිය යුතු බවට ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස යෝජනා කරමු.

8.අපේක්ෂකයන්ගේ අනුදැනුමකින් තොරව මුදල් වියදම් කළ නොහැකි බවට ප්‍රතිපාදන ඇතුළත් කල යුතුය. එහිදී (රු.10000) යම් මුදලක් ප්‍රමාණයකට වඩා වැඩි මුදලක් අපේක්ෂකයන්ගේ අනුදැනුමකින් තොරව වියදම් කල නොහැකි බවට ප්‍රතිපාදන ඇතුළත් කල යුතු බවට යෝජනා කරමු. නොඑසේනම් මෙම ඉඩකඩ අවභාවිත කිරීමට අපේක්ෂයින් කටයුතු කරනු ඇත.

9.15 ආ වගන්තිය යටතේ සන්නිවේදන කටයුතු, සඳහා සහ වියදම් ඇතුළත් නොකළ යුතු බවට මෙහි වගන්තියක් ඇතුළත්ව ඇති බැවින් එහි සන්නිවේදන යන්නට විධිමත් අර්ථ නිරූපනයක් ලබාදීම අත්‍යවශ්‍ය වනු ඇත. නොඑසේනම් එය භාවිත කර මැතිවරණ ප්‍රචාරණ වියදම් ද ඊට ඇතුලත් නොකිරීමේ අවධානමක් ඇත.

10.විදේශ ආධාර ලබන ශ්‍රී ලාංකික සංවිධානවලින් අපේක්ෂකයන්ගේ හෝ දේශපාලන පක්ෂ වල මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා ඍජුව හෝ වක්‍රව අරමුදල් ලබාගත නොහැකි බවට කෙටුම්පතේ 5 වන වගන්තියට ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස යෝජනා කරමු.

11.ස්වෙච්ඡා සංවිධාන ලියාපදිංචිය සහ නියාමනය පිළිබඳ පනත යටතේ, සමිති ආඥා පනත යටතේ සමාගම් පනතේ ලාභ නොලබන සමාගම් ලෙස ලියාපදිංචි වී ඇති හෝ පාර්ලිමේන්තු පනත් මගින් සංස්ථාපනය කරන ලද සංවිධාන වලින් මැතිවරණයකදී අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා අරමුදල් ලබාගත නොහැකි බවට කෙටුම්පතේ 5 වන වගන්තියට ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස යෝජනා කරමු.

12.දැනට පවතින ප්‍රතිපාදන අනුව මැතිවරණ වරදක් ඔප්පු කරනු ලැබුවහොත් රු.300 ක දඩයක් හා වසර 3 ක කාලයක් සඳහා ඡන්ද අයිතිය හා තරඟ කිරීමේ අයිතිය අහිමිවීම පමණක් හිමිවන බැවින් මෙම පනතට අනුව වරදකරුවෙකු වන පුද්ගලයන්ට අවම වශයෙන් වසර 7 ක ප්‍රජා අයිතිය අහිමි වීම හා සිරදඩුවමක් වැනි පැහැදිලි දඩුවමක් මෙන්ම දඩ මුදලක්ද නියම කරන බවට වන ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස යෝජනා කරමු.

13.මැතිවරණ වියදම් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය, අධීක්ෂණය හා නීතීමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව යටතේ කිසියම් නිල ව්‍යුහයක් ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස යෝජනා කරමු.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

leave a reply