නියගයෙන් පීඩිත ගොවියෝ ගොවිතැනට ජලය ඉල්ලා උද්ඝෝෂණය කරනවා. ඇමතිවරු දෙදෙනෙක් හමුවුවත් ඔවුන්ගේ ප්රශ්නයට විසඳුමක් නැහැ. ඊයේ ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන ගොවි කාන්තාවක් කිව්වේ
“අපි ඉල්ලන්නේ අස්වැසුම දෙන්න, සහනාධාර දෙන්න කියලා නොවේ. අපේ ගොවිතැන කරගෙන යන්න වතුර දෙන්න කියලයි.”
ගොවියන්ට වතුර දෙනවාට වඩා ලයිට් වලට වතුර නිකුත් කිරීම වැදගත් කියලයි විදුලිබල ඇමති කියන්නේ. ගොවීන්ට වතුර දෙන්න නම් රුපියල් ලක්ෂ ගණනක් සොයා විදුලිබල මණ්ඩලයට දෙන්න, තමයි යෝජිත විසඳුම. පහුගිය කාලේ සංචාරකයින්ට අලි පෙන්වන්න ඕන නිසා මින්නේරිය වැවේ වතුර ගොවියන්ට නිකුත් නොකරන බවට පොළොන්නරුවේ ගොවියන් චෝදනා කළා. ගොවියන්ගේ, ධීවරයින්ගේ, කුඩා කර්මාන්තකරුවන්ගේ ජිවනෝපයන් කඩලා බිඳලා ඔවුන් සහනාධාර මත යැපෙන දේශපාලඥයින්ගේ අත පල්ලෙන් වැටුන මිනිසුන් බවට පත් කිරීම ඉතා සැලසුම්සහගත වැඩපිළිවෙලක්. නවලිබරල්වාදී වෙළෙඳපල ක්රියාත්මක වීමත් සමඟ රණසිංහ ප්රේමදාස ආණ්ඩුවේ සහනාධාර හරහා තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යන්නේ කෙසේද කියලා ගුරුහරුකම් ලබා දී පවතින යැපුම්ක්රමයට අඩිතාලම් දැම්මා. එතැන් පටන් ශ්රී ලංකා, යුන්පී හා ඉන් විකාශනය වූ අනෙකුත් දේශපාලන ව්යාපාර සහනාධාර රාජ්ය බලය ලබා ගැනීමේ සහ පවත්වා ගෙන යාමේ යතුරක් විදිහට භාවිතා කරනවා. IMF, ලෝක බැංකු මෙන්ම වෙළෙඳපල අවශ්යතා මත සමාජ ආරක්ෂණයන් කප්පාදු කරමින්, දේශපාලඥයින්ගේ අත පල්ලෙන් වැටෙන සහනධාර කැරට් අලයක් මෙන් සොලවමින් ඔවුන් ගෙන යන නාඩගමේ අලුත්ම ජවනිකාව අස්වැසුම.
වත්මන් සමාජයේ ආන්තික කොට ඇති ගොවියෝ, ධීවරයෝ, කුඩා කර්මාන්තකරුවෝ තමන් මුහුණ පාන ජල හිඟය, ඉඩම් හිඟය, පොහොර ගැටලුව, ණය බර සඳහා විසදුම් ලෙස ඉල්ලන්නේ තමන්ගේ නිෂ්පාදන ශක්යතා නිදහස් කරදෙන ලෙසයි. ක්ෂුද්ර මුල්ය උවදුරට ලක්වූ කාන්තාවන් තමන්ගේ සංවර්ධන හැකියාවන් මොට්ට කර තිබෙන ණය කපා දමන ලෙස ඉල්ලු විට ෂෙහාන් සේමසිංහ කිව්වේ “සමෘද්ධියෙන් ණයක් දෙන්නම් කොම්පැනි වල ණය ගෙවන්න” කියායි. ඒ දැනට අවුරුදු දෙකකට කලින්. මුල්ය කොම්පැනි වලට සමෘද්ධි සරනං ගච්චාමි නැමදීමට ඉඩකඩ සපයන සේමසිංහ ණයගැති කාන්තාවන් මත තවත් ණය පටවන්නට යෝජනා කරන අතරේ අගවන්නේ තැන්පතු කරුවන්ගේ ධනයෙන් පොහොසත් සමෘද්ධිය මුල්ය කොම්පැනි වල ආශාවන් සඳහා කැප කිරීම යහපත් බවයි. අවුරුදු දෙකකට පසු අස්වැසුම නාඩගම දිඟ හැරෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඇස් අරිය යුත්තේ හිස් වචන දොඩවන මධ්යම පන්තිකයින්ය.
තමන්ට ඇතිතරම් කඩේ යන්නට නිදහස නැතැයි මධ්යම පාන්තිකයෝ කෙඳිරි ගාද්දී ගොවියෝ, ධීවරයෝ, කුඩා කර්මාන්තකරුවෝ ඉල්ලන්නේ තමන්ගේ ජිවනෝපයන් ස්වාධීනව කරගෙන යාමට අවශ්යය පරිසරය සකස් කරන ලෙසයි. මේ ඉල්ලීම අද ඊයේ කෙරෙන දෙයක් නොවෙයි.
චින්ගීස් අයිත්මාතව්ගේ අම්මා සහ මිහිකත නවකතාවේ මෙවැනි දෙබසක් තිබෙනවා.
අම්මා නොහොත් තල්ගනායි, තමන්ගේ සැමියාගෙන් අසනවා,
“සුවන්, අපට වාසනාව ලැබේවි නේද?”
තල්ගනායි සහ සුවන්කුල් දෙදෙනාම ඉතා වෙහෙස මහන්සි වී වැඩකරන අඳ ගොවියෝ.
සුවන්කුල් මෙසේ පිළිතුරු දෙනවා.
“ඉඩම් සහ ජලය සමාන ලෙස බෙදා දෙනවානම්, අපට අපේම කුඹුරක් ලැබෙයි නම්, සී සෑමට තිරිඟු වැපිරීමට සහ අපේ තිරිඟු කොටා සුද්ද කරගැනීමට අපට ඉඩකඩ ලැබේ නම්, අන්න එය තමයි අපේ වාසනාව, තල්ගනායි. එයට වඩා වැඩි වාසනාවක් කෙනෙකුට අවශ්යය නැහැ. ගොවියාගේ වාසනාව රඳා පවතින්නේ ඔහු වපුරන සහ කපා ගන්නා ප්රමාණය අනුවයි.”