Breaking News

අරගලයට සහය පළකළ බ්‍රිතාන්‍ය තරුණියගේ වීසා අවලංගු කරයි

අරගලයට සහය පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ නේවාසික වීසා සහිතව වෛද්‍ය හේතුන් මත මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය තරුණියක වන කිලී ෆීසර්ගේ වීසා අවලංගු කළ බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව

එළැඹෙන 15 වැනි දාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසටයි මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී තිබේ.

මෙම තරුණියගේ විදෙස් ගමන් බලපත්‍රය පසුගිය සතියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගැණුනි.

වීසා කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇගේ ගමන් බලපත්‍රය තම විමර්ශන ඒකකය භාරයට ගෙන විමර්ශනය කිරීමෙන් පසු ඇයගේ වීසා අවලංගු කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා ඇත.

ඉන්පසුව දින හතක් ඇතුළත අගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇයට දැණුම් දී තිබුණු අතර ඒ අනුව පසුගිය සඳුදා ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කිලී ෆීසර් නවාතැන්ගෙන සිටින නිවහන වෙත ගොස් විමර්ශන කරන අයුරුද ඇය මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණි.

එහිදී ඇය ප්‍රශ්නකර සිටියේ මෙරට ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ විරෝධතාවයන් ගැන සමාජ මාධ්‍ය හරහා කතාකිරීම වරදක්ද යනුවෙනි.

එහෙත් කිලී ෆීසර් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබුණේ “මගේ ආරක්ෂාව ගැන ඇති බිය නිසා මම මෙහි තත්ත්වය ගැන බොහෝ දේ වාර්තා කිරීම පසුබට වූ බව ඔවුන්ට අවබෝධවී ඇතැයි විශ්වාස නැත. මාව නැවත ආරක්‍ෂිත බටහිර රටකට යැවීමෙන් සිදු වන්නේ මේ සමස්ත දූෂිත ක්‍රමය තුරන් කිරීම මගේ ජීවිත මෙහෙයුම බවට පත් කර ගැනීම පමණයි.”

මෙරට සංචාරය කරන විදේශකයින්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ වුවද නිරතවිය හැකි බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පසුගිය මැයි මස අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කර තිබුණි.

ඒ, මැයි මස 19 වැනිදා බ්‍රිතාන්‍යයේ ස්කයි රූපවාහිනි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

leave a reply