කුමාර හෙට්ටිආරච්චි කවි මැෂිමක් බඳුය. එහෙත් වෙනස මැෂිමෙන් නිකුත් වෙන කවි ඒකිනෙකට වෙනස් හැඩයන් ගැනීමයි. ඒසේම කුමාරගේ කවි කියවීම යනු වේගී ගමනක් වැනිය. ඒ කවි ඉල්ලා සිටින්නේ කවියා ලියන වේගයෙන්ම කියවීමටය. මෙ කවි ඒකතුව ඔහුගේ විසි දෙවන කවි එකතුව විය යුතුය. එසේම කවි නිර්මාණයේදී කුමාර හට තමන්ට ඇවැසි වදන් නිමවා ගන්නට, වාත්තු කරන්නට, සන්ධි කරන්නට සන්ධි බිඳින්නට තමන්ගේම ශෛලියක් තිබේ. විටෙක ඔහුගේ වදන් උපහාසයෙන් අනූනය. ව්‍යංගාර්ථයෙන් පොහොසත්ය. ඒ අතර සාමාන්‍යද නෙතට මගහැරෙන කවර දෙයක් වුව ඔහුට කවියක් බවට පත්වෙයි. ඔහු දවසේ විවිධ අවස්ථාවන්හී අසන දකින බොහෝ දේ කවියට ගෙනෙයි. ඒ සෑම කවියකම පාහේ ඇත්තේ සමාජ විචාරාත්මක ගුණයකි. ඔහු තමන් ජීවත්වන සමාජය අල්ලා හරහා පෙරලා බලා තමන්ට දැනෙනා විවේචනය ඉදිරිපත් කරයි.
විටෙක ඔහු නිදහස් කවිය සිය අදහස් පදම් කරන්නට යොදා ගනියි. ඒ සැණින් ඔහු සංදේශ කාව්‍ය රීතිය අනුගමනය කරයි. යළි අපට ඔහු හමුවනුයේ ජනකවියකුගේ වේශයෙනි. මේ ජනකවියා නූතන යෙදුම් නිර්ලෝභීව භාවිතා කරයි. ඒසේ ඔහුගේ කවියෙහි අපට නොයෙක් තැන් වලින් අපේ සමකාලීන ජීවිතයෙහි දිය සෙවල බැඳි බිත්ති සහ කුරුටු සටහන් හමුවෙයි.
ඔහු තම නව කවි කෘතියෙහි පුරඟනන් නැතිනම් ලිංගික ශමිකයන් ගැන කවි කිහිපයක් රචනා කරයි. නමුදු ඒ කවි ඒකිනෙකට වෙනස් විඳුම් පරාසයක් පාඨකයාහට උරුම කරයි. ඒකාකාරී නොවන සේ ඒකම තේමාව ගැන විවිධ අවස්ථාවල ලියන්නට කුමාර දක්වන සමත්කම ඔහුගේ කවියෙහි කැපී පෙනෙයි. මේ ඔහු වෙසඟන වත ඉදිරිපත් කරනා ආකාරයයි.
ලප නොම වන් සඳ මෙන් සොමි ගුණ ගිහිනී
හප වෙනකන් ඇඹරෙන කුසුමකි සොබනී
සැප රිසි දන රති දෝලාවෙන් පැමිණී
තොප දැකුමෙන් අප පව් කළ බව දැනුනී
කුමාර බොහෝ විට සිය කවියට අව පීඩිත ජන කොට්ඨාශයන්හී ජීවිතය වස්තු විෂය කරගනී. ඒ කවිය පෝෂණය වනුයේ අදාල කලාපයෙහිම අඩුවැඩියෙනි. ඒසේ ඔහු අපට සිය කවිය කැටුව විවිධ කලාපයන්හී සරන්නට ඇරයුම් කරයි. ඉස්කෝලෙන් ගිය ගල්ඔය දරුවෙක් නම් කව ඒවැන්නකි.
කෙසඟ ආඳල් ඔය ම දාඩිය සුවඳයි
උහන පැත්තේ කුරුල්ලන්ටත් තිබහයි
ඉලුක් මානා පඳුරු උඩ මල් තරුණයි
නිහඬ ඒක්ගල් ඔයට මොනවද මුමුණයි
ජීවිත සටන දෙවුර බිමට බර කරනා විට පාසල යනු දරුවන්ට සිහිනයකි. ඒ වෙනුවට ඔවුන්ගේ අත කැපී යනුයේ උක් පඳුරු වල පත් වලිනි. කුමාර දරුවාට පාසල මගහැරෙන මොහොත ඉදිරිපත් කරන්නේ ව්‍යංගාර්ථවත් බසකිනි.
ඉඩෝරෙට ඇටමිදුළු කකියා ගැහුණා
විඩාබර ගිනියමක තොල කට හිඳුනා
කපා උක් දඬු පටවනා බර දැනුනා
අතෑරුණ පොත් මිටිය පොළොවට වැටුණා
පාසැල හැරදමා මහ පොලව සමග පොර බැදීමේ ආර්ථිව විද්‍යා පාඩම යනු ජීවිතයේ ඛේදයකි. ළමාවිය අකාලයේ සමුගනියි. දැන් ඇරඹෙනුයේ අකල් වියපත් ජීවිතයයි. කුමාර එය සිත්තම් කරනුයේ තමන්ට පුරුදු සංකේතවත් බසිනි.
ඉලක්කම් උඩ කොකු නගුල පටලැවුණා
දසම සංඛ්යා නියර දිගටම තිබුණා
වර්ගමූලය උදළු තලයක හැපුණා
මාන කොකෙකුට සමීකරණය ගිලුණා.
මේ පද උපහාසයෙන් පොහොසත්ය. ඒහෙත් ඒ උපහාසය පසුපස ඇත්තේ සිත යටින් කකියවනා ඛේදයක විස්රතයයි. කුමාර පාසැලෙන් ඉවතට වීසි වෙන්නට බලකෙරුණ දරුවාගේ ලෝකයේ සැබෑව නිරූපණය කරන්නේ මෙලෙසිනි.
රෑට පාසල් ගීය හීනෙන් ඇහුණා
ගීත නාටක දිගේ වවුලන් හැපුණා
පාට පාටින් හීන සීයක් පෙනුනා
හීන සේරම ඉරේසරයෙන් මැකුණා
ලොක් ඩවුන් ගෙදර මැයෙන් රචිත කවිය සංක්ෂිප්ත බවත් මනාව රැක ගනිමින් බහු අරුත් සම්පාදනය කරනා කදිම නිර්මාණයකි. මතු පිටන් ගත් කළ ඒය කෝවිඩ් සහ ලොක් ඩවුන් අතර සිරවුන කුටුම්භයක කතන්දරයක් සේ පෙනුනද එහි ඒන කෝවිඩ් සහ ලොක් ඩවුන් යන්න අද අප අත්විඳිනා වසංගතය ඉක්මවා වුව දකින්නට හැකිය. වර්තමානය යනුම සෑම කුටුම්භයක් තුළම හුදෙකලා දූපත් තැනෙනා සමයකි. ඒහි කෝවිඩ් ඇතද නැතද වෙන් වෙන් මුදාගත් කලාප බිහිවෙයි. හුදෙකලාව සහ වෙන්ව විසීම යනු තවදුරටත් නිවෙස්වලට ආගන්තුක දෙයක් නොවේ. එකම බිතති තුළ වෙනම දිවිගෙවන සෑම මොහොතකම හමුවන එහෙත් තනි තනිව නිවසන ජීවිත කෙතරම්ද. නිවෙස තුළ හුදෙකලා ලෝක ඉදිවන ආකාරය කුමාර අපට දක්වන්නේ මෙලෙසිනි.
මපුතු සිය කය වටා
ගෙයක් බඳිමින් සිටී
බ්ලොක් ගලෙන් ගල තබා
බිත්ති හතරක් බඳී
දියණිය බිරිඳ මතුනොව ගෘහපතියාද කරනුයේ එයමය. මේ කුමාර ඒහි දකිනා අවසානයයි.
වෙන වෙනම හතර දෙන
පොඩි ගෙවල් වන විටම
අපි විසූ පොඩි ගෙදර
ෆ්ලැට් එකක් වී තිබේ.
අමුණ යනුවෙන් රචිත කවද අරුත්බර බවින් පොහොසත් තියුණු ව්‍යංගාර්ථවත් බවක්ද කැටි කළ කවකි. නදියක ගමන සහ මිනිස් දිවියෙහි අවස්ථා එකට ගටමින් ජීවිතයට අර්ථසම්පන්න බවක් එක් කරන්නට සමත් ඒ කවිය මිනිසකුගේ අරමුණ පිලිබඳ කදිම යොමුවකි. කඳු මුදුනින් ගමන අරඹන නදියක් යනු සෞන්දර්යය ප්‍රවාහයකි. ඒහෙත් වියලි පොලවට වන් පසුව එහි සුන්දරත්වය නොව ඇත්තේ ජීවිතය පවත්වා ගැනීම පිණිස වන අත්‍යවශ්‍ය සම්පතක වටිනාකමය. ඉදින් මිනිසාට බල කරනුයේ නදිය සමග අරගලයකට බසින්නටය. ඒහෙත් එය කෙසේවත් පුද්ගලිකත්වය අරමුණු කරගත්තක් නොවිය යුතුය. මිනිසාගේ උත්තුංග බව දක්නට ලැබෙනුයේ මෙවන් තීරණාත්මක මෙහොතකමය.
බැරිම තැන මම නැගිට සිටිනෙමි
දැවෙන දුහුවිලි කකා පැමිණෙමි
නොදැක ඔබ යන ගමන හරවන
පබල නොසැගෙන අමුණ සාදමි
ලොක්ඩවුන් රැවුල් ගස් මයිල් ගස් යන කවිය ලොක්ඩවුන් ලෝකයක් කරා හෙලනු ලබනා උපහාසාත්මක බැල්මකි. කුමාරගේ උපහාසය මෙහි හොඳටම තෙම්පරාදුවී පෙනෙයි. පිළිරුව වැනි කවියකදී කුමාර කවියා සමාජය වෙතින් නිකම් පුද්ගලභ්‍යන්තරයට පිවිසෙයි. තමන්ට තමන් සහ තම අතීතය හමුවන නිමේෂය හරහා කවියා මිනිස් ජීවිතයෙහි වැසුණු කලාපයක් වෙත යොමු වෙයි. ජනේලය සහ බිත්තිය නම් කවද එපරිදිම වින්දනය කල යුතු කවියකි. තුඹස යන කවිය මේ කවි අතර වඩාම ගැඹුරට විහිදෙන කවකි.
කුමාරගේ කවි එකතුව කුමාර හෙට්ටිආරච්චි නම් කවියා තම අනන්‍යතාව යළි සනිටුහන් කරන පිවිසුමකි. ඒහෙත් ඔහුගේ කවි අතර විටෙක පමණ ඉක්මවා යන උපමා රූපක භාවිතයක්ද දක්නට ලැබෙයි. එයින් කවියෙහි රිද්මය රැකගත්තද කවිය දුරවබෝධ කරවන කපොල්ලක්ද ඒ සමගම නිර්මාණය කරයි. එහෙයින් කවියා මෙහි සමබරතාව රැකගන්නට උනන්දුවන්නේ නම් කවිය තවත් පොහොසත් වනු ඇති බව කිව යුතුය.
චූලානන්ද සමරනායක https://www.facebook.com/chulananda.samaranayake