Breaking News

විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට මනූෂගෙන් ඩිජිටල්කරණ ‘ඩ්‍රාමා’ එකක්

විදෙස් ශ්‍රමිකයන් මේ වනවිට මුහුණ දෙමින් සිටින විවිධාකාරයේ ගැටළු විසදීම වෙනුවට කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර ‘නාට්‍’ය පෙන්වීමට පටන් ගෙන තිබේ.

මෙම නාට්‍ය පටන් ගන්නේ විදේශ රැකියා ඩිජිටල්කරණය කරන ලෙස ඉල්ලා සිටිමින් ‘ සිංහල රාවය’ සංවිධානයේ අක්මීමන දයාරතන හිමියන් ඇතුළු එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අමාත්‍යංශයට ‘කඩා වැදීමෙනි’. මනූෂ මෙම නාට්‍යයේ ප්‍රධාන නළුවා වනවිට අක්මීමන දයාරත්න මෙම නාට්‍යයේ සහය නළුවායි.

මෙම නාට්‍යයේ අක්මීමන දයාරත්න හිමිගේ දෙබස වන්නේ “රටට වැඩිම විදේශ විනිමයක් ගෙන එන මාර්ගය වෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන එනු ලබන විදේශ ප්‍රේශණයි. විදේශ ගත ශ්‍රමිකයා විවිධ අවස්ථාවලදී ගැටලුවලට මුහුණ දෙන විට ඒවා කළමනාකරණය කිරීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසාම ශ්‍රමිකයින් විවිධ අවස්ථාවලදී නොයෙක් ගැටලුවලට මුහුණ දෙනවා. ඒකට තියෙන විසදුම තමයි විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම. විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කළොත් කිසියම් රටක ඉන්න ශ්‍රමිකයෙක් මොකක් හරි ගැටලුවකට මුහුණ දුන්නොත් එක බොත්තමක් එබුවම අදාල සියලුම බලධාරීන්ට ඒවා බලාගන්න පුලුවන්. මේ වගේ විසදුමක් විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන්න”

එවිට නට්‍යයේ ප්‍රධාන නළුවා මනුෂගේ දෙබස වන්නේ “සමහර රටවල කාන්තාවන්ට කරදරයක් වුනාම ජංගම දුරකතනය අරගෙන දුක් සහිත මුහුණ ලකුණු කරන්න තියෙනවා. එතකොට ඒ රටේ තානාපති කාර්යාලය, ඉදලා සියලුම තැන් දැනුවත් වෙනවා. තානාපති කාර්යාලය මැදිහත්වීම් නොකරන විට ඒවා අමාත්‍යාංශයට දැනගැනීමට හැකි ක්‍රමවේදයක් හදනවා. දැන් විදේශ රැකියාවලට ගිහින් නොයෙක් ගැටලුවලට මුහුණදෙන කාන්තාවන්ට හොරුන්ට අහුවෙලා ඉන්නේ. රවට්ටලා අරගෙන යන්නේ. පවුල් පසුබිම් වාර්තා, වෛද්‍ය වාර්තා බොරු. ඩිජිටල්කරණය හරහා මේ සියල්ල වලක්වා ගන්න තමයි අපි උත්සාහ ගන්නේ. අපි මේ වගේ වැඩක් කරගෙන යන විට සමහර අමාත්‍යාංශවලින් අනුමැතීන් ගැනීම සදහා යම් යම් ප්‍රමාදයන් එනවා. හාමුදුරුවන් අපිට නිතරම මේවා කරලා මතක් කරන එක අපි අගය කරනවා”

අපි නාට්‍යයෙන් සැබෑ ලෝකයට පැමිණියහොත් විදෙස් ශ්‍රමිකයන් විවිධ ගැටළුවලට මුහුණ දීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඩිජිටල්කරණය සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. ඔවුන්ගේ රැකියා එම විදේශ රටේ හෝ මෙරට කම්කරු නීතියකට යටත් නොවීමයි. ඔවුන් සාමාන්‍ය රැකියාවක යෙදෙන්නන් ලෙස සැලකීමක් සිදුවන්නේ නැත. විශේෂයෙන් විවිධ තාඩන පීඩන සම්බන්ධ සිදුවීම් සහ මරණ බොහෝ ප්‍රමාණයක් වාර්තා වෙන මැදපෙරදිග ගෘහ සේවිකා රැකියා ගතහොත් කිසිදු රැකියා කොන්දේසියක් නැත. ගෘහ සේවය අවශ්‍ය නිවසෙන් ලබාගන්නා ඇනවුම් අනුව ගෘහ සේවිකාවන් සපයනවා විනා ඔවුන් වැඩකලයුතු පැය ගණන, මූලික වැටුප ගැන පවා කොන්දේසි කිසිවක් නැත. ආණ්ඩුව කල යුත්තේ එම විදේශ රටවල් සමඟ කතා කර එම රැකියා මෙන්ම ජිවිත සුරක්ෂිත වන ආකාරයේ නීති හඳුන්වා දීමයි. එවිට ඇමතිවරයා කියන ආකාරයේ හොරුන්ට හසුවීම හෝ රැවටීමට ලක්වීම සිදුවන්නේ නැත.

එසේම ඇමතිවරයා කියන අනෙක් කරුණ ඩිජිටල්කරණය හරහා තානාපති කාර්යාල සහ අමාත්‍යංශය කෙළින්ම දැනුවත් කිරීමේ හැකියාව ලැබෙන බැවින් ගැටළු අඩු වෙන බවයි. විදෙස් ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටළුවලට හේතුව තානාපති කාර්යාල හෝ අමාත්‍යංශ දැනුවත් වීම සම්බන්ධ ප්‍රශ්නය නොවේ. තමන්ට ප්‍රශ්නයක් වූ සැනින් එම ආයතන දැනුවත් කිරීමට ශ්‍රමිකයන් කටයුතු කරයි. නැතිනම් තම ඥාතීන් හරහා දැනුවත් කිරීම සිදුකරයි. නමුත් ගැටලුව වන්නේ එම ආයතන අවශ්‍ය පියවර නොගැනීමයි. නැතිනම් රැකියා නියෝජිත ආයතනයට වැයවූ බව පවසන මුදල් ගෙවා නැවත ගෙන්වා ගන්නා ලෙස පවසා අත පිහිදා ගැනීමයි.

අනිත් පැත්තෙන් පවුල් පසුබිම් වාර්තා සහ වෛද්‍ය වාර්තා බොරු බව කියන ඇමතිවරයා නොකියන්නේ බොරු පවුල්පසුබිම වාර්තා හැදීමට පසුබිම සලසන ආකාරයෙන් නීති ලිහිල් කරේ කවුරුන්ද යන්නයි. පවුල් පසුබිම් වාර්තාව යනු විදේශ ගතවන අයගේ දරුවන් සම්බන්ධ තොරතුරු ලබාගන්නා වාර්තාවකි. එම සපයන ලද තොරතුරු සත්‍යද යන්න පරික්ෂා කිරීම මීට පෙර සිදුවූ නමුත් දැන් එය සිදුවන්නේ නැත. එසේම මීට පෙර වයස අවුරුදු 05ට අඩු දරුවන් සිටින කාන්තාවන්ට විදේශ ගතවීම තහනම් කර තිබුනද වර්තමාන ආණ්ඩුව විසින් එය වයස අවුරුදු 02 ලෙස දක්වා අඩු කරන ලදී.

මේවනවිට විශාල වශයෙන් විදෙස් රැකියා සඳහා යොමුවෙමින් සිටියි. ඒ අතරින් විශාල ප්‍රමාණයක් කාන්තාවන් වේ. මේ සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව වී තිබෙන්නේ රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයයි. මෙම අර්බුදය හමුවේ රැකියා අහිමිවීම හැර නව රැකියා උත්පාදනය වී නැත. ඒ අනුව පවුලේ ආර්ථිකයට උර දීම වෙනුවෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීම තෝරාගෙන තිබේ. රැකියා සඳහා විදේශ ගතවීමට සාපේක්ෂව විවිධ තාඩන පීඩනවලට ගොදුරු වීමේ සහ මරණ සිදුවීම් ද වැඩිවී තිබේ. මේ සිදුවීම් වැලැක්වීමට සහ විදෙස් ගතවන ශ්‍රමිකයන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් පියවර ගන්නා ලෙස විවිධ සංවිධාන ආණ්ඩුවට බලකරමින් සිටියි. එහිදී එම විරෝධයට මුහුණ දීමට නොහැක ආණ්ඩුව ප්‍රශ්නයට හේතු සැඟවීමට නාට්‍ය පෙන්වමින් සිටියි. අක්මීමන දයාරත්න හිමි අමාත්‍යංශය කඩා පැන ඩිජිටල්කරණයක් ගැන නාට්‍යට සහය වෙමින් සිටියි.

leave a reply