Breaking News

නව ගැසට් එක හරහා සීනි සමාගම්වලට තව තවත් ලාභ ලැබීමට අවස්ථාව

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසින් සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියමකරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත්කර තිබේ. ඊයේ (02) දින සිට බලැපැත්වෙන පරිදි අදාළ ගැසට් නිවේදන නිකුත්කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116 වන අතර සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක්. පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් විය යුතු බවයි ගැසට් නිවේදනයේ සඳහන් වේ. දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128ක් ද වේ.

ආණ්ඩුව විසින් සීනි ආනයනික බද්ධ ශත විසිපහක් ලෙස සඳන් කළ අවස්ථාවේ මෙයට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 85ක් ලෙස නියම කාන ලදී. දැන් එය මෙම අලුත්ම ගැසට් නිවේදනය මගින් රුපියල් 125ක් දක්වා ඉහල දමා තිබෙනවා.

සීනි ආනයනයේදී පැවති රුපියල් 50ක බද්ද සත 25ක් දක්වා අඩු කිරීමෙන් සීනි ආනයන ව්‍යාපාරිකයා සීනි කිලෝවක් ආනයනයේදී දැරිය යුතු වියදම රුපියල් 49.25කින් අඩු කරනු ලැබිණි.

රාජ්‍ය මාධ්‍යම කියන ආකාරයට සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක්වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තොම්බර් මස (14) සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබීමෙන් පසු ජූනි මස 30 වැනිදා දක්වා කාලය තුළ ආනයනය කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 584,000කි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 35,000ක් බවද එම අධිකාරිය පවසයි. ශත 25 දක්වා බදු අඩුකරන දිනය වන විටද මෙරට තුළ සීනි මෙට්‍රික් ටොන් 88,878කි තිබූ බව එම අධිකාරිය වැඩිදුරටත් පවසා ඇත. ඒ අනුව මෙරට තුළ පසුගිය දින කිහිපය තුළ සංදර්ශනාත්මකව සොයාගනු ලැබුවේ එලෙස ආනයනය කළ සීනි තොගයි. එම රජයට පවරාගත් සීනි තොග සඳහා මුදල් ලබාදෙන බවද රජය මේවනවිට නිවේදනය කර ඇත.

මේ අතර විශේෂයෙන්ම සඟවා තිබෙන සීනි තොග අතරින් යම් ප්‍රමාණයක් ආණ්ඩුව මිල දී ගෙන උපරිම සිල්ලර මිලක් නියම කොට සතොස හරහා සහ පෞද්ගලික අංශය හරහා අලෙවි කරන බව පසුගිය දින ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ආණ්ඩුව ගැසට් නිවේදය මගින් මෙතෙක් නියම කළ පාලන මිල වූ රුපියල් 85 සිට රුපියල් 122 දක්වා සීනි කිලෝවක මිල රුපියල් 37කින් ඉහළ දමා ඇති බව පැහැදිලිය.

බදු අඩු කිරීමේ රුපියල් 49.75 ලාභය සහ නව සීනි මිල නියම හරහා තවත් ලාභයක් මෙම සමාගම්වලට හිමිවීමට නියමිතය. ඒ අනුව අවසන් වශයෙන් සිදුව ඇත්තේ ආණ්ඩුව නව මිල නියම කිරීමේ ගැසට් නිවේදනය හරහා මෙම සීනි සමාගම්වලට තවතවත් ලාභ ලැබීමට නිත්‍යානුකුල අවසර ලබාදීමක් පමණක් සිදුව ඇත.

එසේම වැඩිකරන ලද මිලට ජනතාවට සීනි මිලදී ගැනීමට හැකි වෙනු ඇතැයි කිසිදු විශ්වාසයක්ද නැත.

leave a reply