අපි රටක් ද? අපි ජාතියක් ද?

“මම මිනිසෙකු නිසා අසාර්ථයි“ හෙවත් අයි එම් එෆ් දැන් ලොකු ඝෝෂාවක් තියෙන නිසා මේ ගැන කතා කළ යුතු වුවත් රිටිගලට හිතෙන විදිහට නම් මේක අලුත් දෙයක්වත් අලුතින් සිදු වුණ දෙයක්වත් නෙවෙයි. ලංකාව රාජ්‍යයක් විදිහටත් ජනතාවක් විදිහටත් මම සහ අපි කියන අර්ථයෙනුත්, ඔවුන් කියන අර්ථයෙනුත් අසාර්ථක නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. මුලින්ම ඒක පිළිගත්තොත් රටක් විදිහට නැගිටින්න පුළුවන් වෙයි. ඊට පස්සේ තෙරපි කරන ගමන් ටික ටික ඇවිදින්න පුළුවන් වෙයි. ඊට පස්සේ ටිකක් හය්යෙන් දුවන්නත් පුලුවන් වෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ නැගිටින්න ඕන, තෙරපි කරන්න ඕන ඇවිදින්න දුවන්න ඕන කවුද. ආණ්ඩුවද රජය ද මිනිස්සු ද කියන කාරණයේ දී වැඩි දෙනෙකුගේ ඇඟිල්ල දික් වෙන්නේ ආණ්ඩුව කියන පැත්තට. එහෙමත් නැත්තං රජය කියන පැත්තට. ආණ්ඩුවත් රාජ්‍යයත් අයිති වෙන්නේ රට කියන කොටසට. රට අයිති වෙන්නේ ජනතාවට. හැබැයි ජනතාව කියන්නේ රටක එක කොටසක් විතරයි. රටක් රාජ්‍යයක් වෙන්න නම් දේශපාලන විද්‍යානුකූලව තවත් කොන්දේසි ඇතුලත් වෙන්න ඕන. ඒ අතරට භූමියත්, ස්වාධිපත්‍යයත් එකතු වුණාම තමයි රටක් කියලා පිළිගන්නවා කියන්නේ.

දැන් අපිට රටක් තියෙනවා. තිබුණා. තියේවි. ඒක ඇතුලේ ආණ්ඩු තිබුණා. දැනුත් ආණ්ඩුවක් තියෙනවා. ජනතාවකුත් හිටියා. ඉන්නවා. ස්වාධිපත්‍යයකුත් තිබුණලු. තියෙනවලු. ඒත් මෙන්න මෙතන තමයි අද වෙන කොට ගැටලුව මතු වෙලා තියෙන්නේ. ඇත්තටම අපිට ස්වාධිපත්‍යයක් තියෙනවද කියන කාරණය. මම අපි ඔවුන් කියන ජනතාව අසාර්ථක නිසා මේ කියන අපිට ස්වාධිපත්‍යය කියන එක භෞතික දෙයක් නෙවෙයි. ඒක පාර භෞතිකයි. ඒක දැනෙන්නෙ නෑ. මේ නිසා ස්වාධිපත්‍යය ගැන ඉඳලා හිටලා හෝ දේශපාලනිකව කතා කෙරුවට ඒක වැදගත් නෑ කියලයි රිටිගලට හිතෙන්නේ. ඒක වැදගත් උනත් දේශපාලනිකව බලය ඇති අයට ඇති වගකීමක් විදිහටයි විවේචනයන් ගෙනෙන්නේ.

අයි එම් එෆ් ණය ගැනීම හේතු කොට ගෙන ආණ්ඩුව හොබවන අයට මේ ස්වාධිපත්‍යය එක්ක ගණු දෙනු කරන්න වෙලා තියෙනවා. ඒත් ඒ ගැන වගකීමක් නෑ. වගකීමක් තිබුණත් වග වෙන්න බෑ. ස්වාධිපත්‍යය කියන දේ බංකොලොත් කරගෙන රටක් විදිහට ඇවිත් තිබෙන දුර විශාලයි. වෙන්න ඕන දේවල් ගොඩාක් වෙලා ඉවරයි. ඕන නම් ඕන කෙනෙකුට අතීතයට ගිහින් මඩේ දම දමා හෝදන්න පුලුවන්. ඒත් උත්තරයක් නෑ. මෙන්නම මේ නිසා අපේ රනිල් මහත්තයා පාර්ලීමේන්තුවේ කිව්ව අතීතය අමතක කරමු කියලා. උන්නැහැ අතීතය අමතක කරලා, අමතක කරන්න කියලා දැන් අලුතින් හදන්න යන්නේ මොකක්ද. ඒ හදන්න හෝ ගොඩ දමන්න හදන රට මොකක්ද. කිරිබත් කාපු මිනිස්සුන්ට ඉන්න හිතෙන රටක් හදන එක ද. නැති වුණ ස්වාධිපත්‍යය අමතක කරලා අලුතින් ස්වාධිපත්‍යය ඇති කරන්න උන්නැහේට පුලුවන් කියලා කියන අයත් ඉන්නවා. ඒත් ඔය දුන්න ණය ඇතුලේ “ ආනන්ද සර්පයා දුටුවාද“ කියලා තමයි අහන්න වෙන්නේ. ඒත් දුටුවා ස්වාමීනි, නමුත් කරන්න දෙයක් නෑ කියන්නයි වෙලා තියෙන්නේ. අපි ජාතියක් විදිහට පරක්කු ජාතියක්. ඉස්සරහට ගොඩාක් දේවල් වෙන්න නියමිතයි. මේක සාස්තර කීමක් නෙමෙයි. ලංකාව ලෝකයට අනුව රාජ්‍යයක් නෙවෙයි. ලෝකයට කිව්වට අමෙරිකාවට. ඉන්දියාවට. චීනයට. මේ ගොල්ලෝ තුන් දෙනා ලංකාව ගැන හිතන්නේ කොහොමද කියලා අපි ඔය ගත්ත ණයෙන් හිතන්නත් පුලුවන්. කැමැති නම් මේ විදිහට හිතන්න පුලුවන්. ගිලෙන්න ගිය මිනිහට ලණුවක් දීලා තියෙන්නේ එල්ලෙන්න. එහෙමත් නැත්තං ගිලෙන්න ගිය මිනිහට ලණුවක් දීලා තියෙන්නේ ගෙල වැල දා ගන්න. මේ දෙකම ප්‍රත්‍යාවර්තකයි. ඔලුව අතගාලායි ටොක්ක අනින්නේ. මෙයාලට ලංකාව කියන්නේ භූමි භාගයක් විතරයි. ඒක හරියට උඩින් බලන කොට පේන ගුවන් ඡායාරූපයක් වගෙයි.

අනාගතය තීරණාත්මකයි. රට ගොඩ දාන්න ඉන්න ඔක්කොම අය්යාලට නො තේරෙන දෙයක් ඇත. හරියටම කිව්වොත් බලය සහ ලෝභය නිසා අන්ධ වුණ කොටසක් ඇත. ඒ තමයි මේ අය්යපා ඔක්කෝම යන්නේ එකම සිරීපාදෙට. ජනතාව කියන මිනිස්සුන්ගේ සාදුකාරයත් එක්ක. සාදු සාදු කියලා නම් රටිගලට කියන්න බෑ.

#ritigala, #රිටිගල

 

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...