“අම්මි, ඔයා හිනාවෙන්න දන්නෙ නැද්ද ?”

Date:

“අම්මි, ඔයා හිනාවෙන්න දන්නෙ නැද්ද ?”

ඒ මීට අවුරුදු ගානකට එහා අපේ දෝණි අහපු ප්‍රශ්නයක්.. මතක හැටියට අවුරුදු 5, 6 ක් ඇති . මමත් නිරුත්තර උනා, මේ කෙල්ල මොනව කියවනව ද මන්ද. ඊටත් ඔක්කොම ඉන්න තැන. කට්ටියම සවුත්තුවට හිනා වුනත් එක්ක. දැන් වුනත් කිසිම එල්ලයක් නැති කටක් ඒක …

“විකාර ද”

එහෙම කියල බේරුනට මට මේක අමතක කරන්නම බැරි උනා .

” ඇයි මෙයා පැහිච්ච ගෑණියෙක් වගේ මෙහෙම කිව්වෙ? ”

හිතට වද දෙනව දැන් …

ආයෙ ආයෙත් හිතනකොට එදිනෙදා ජීවිතේ හැලහැප්පීම් එක්ක එන පීඩනය ඒකට හේතුව වෙන්න ඇති කියල හිතුන. ඇත්තටම එයාල ආසයි අපි හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්නව දකින්න .

මගේ ජීවිතේ ගෙවුනෙ මේ විදියට…

උදේ නැඟිටිනව, උයනව, ළමයි දෙන්න ඉස්කෝලෙ යවන්න ලෑස්ති කරනව. කවනව පොවනව, ගේ අස් කරනව, මටත් බත් එකක් බැඳගන්නව, ඔෆිස් යනව, රාජකාරි වැඩ ටික කරනව, ඕෆ් වෙනව, බස්වල තැලිල පොඩිවෙලා ගෙදර එනව, නාල කියල පොඩි දෙන්නගෙ හෝම්වර්ක් කරවනව, ආයෙත් උයනව, කනව, නිදාගන්නව, ඔය අතරෙත් දාහක් වැඩ යෙදෙනව.

උදේට ආයෙමත් අර ක්‍රියාවලිය කිසිම වෙනසක් නැතුව සිද්ද වෙනව. ඔය තෙහෙට්ටුව හින්දම පොඩිවුන්ටත් සද්දෙ දානව සීමාව පැන්නම. ඒ වෙලාවට හිනා වෙවී බනින්නෙ නෑනෙ මං . අපේ එක්කෙනත් උදව් කරනව පුළුවන් විදියට . ඒ උනත් ගැහැණියකගෙ භූමිකාව කවුරු කොහොම උන්නත් හරි සංකීර්ණයි…

ඔය කතන්දර මොනව උනත් ඒව පොඩිවුන්ට අදාල නෑ . එයාලට ඕනි දැවටෙන්න, හුරතල් වෙන්න , ඇහුම්කන් දෙනව කියලා දැනෙන්න.

ඔය සිද්ධිය වෙන කාලෙ ඔෆිස් එකේ අමතර රාජකාරියක් පැවරිල තිබුන ගිණුම් වගයක් සම්බන්ධව . ඉතිං ඇත්තටම සම්පූර්ණ අවධානය යොමු වෙලා තිබුනෙ එතනට… ගෙදර ඉන්න ඇත්තෙ රොබෝ මවක්. එයාල හිනාවෙන්නෙත් නෑ. හිනාවෙන්න දන්නෙත් නෑ . දරුව දකින්න ඇත්තෙ එහෙම .

ඒ සිදුවීම මට හුඟක් ම දැනුණා . හිතන්න දේවල් හුඟාක් තිබුණා . ඒ වගේම එයා ඒක හිතේ තියාගෙන ඉන්නෙත් නැතුව, එළියට දාපු වචන ටික ගැනත් සතුටුයි . හුඟාක් දරුවො දෙමව්පියන් ගෙ නිහඬතාවය හමුවෙ නිහඬ වෙනව, එහෙම නැත්තං ආවේගශීලි හැසිරීම් පෙන්වනව. සාමාන්‍ය ස්වරූපය වෙනස් වෙනව නොදැනුවත්වම .

අපි අරන් දෙන සෙල්ලම් බඩු, ඇඳුම් පැළදුම් , වෛවාරන බඩු භාණ්ඩ, එක එක රස කෑම බීම එයාලගෙ මතකයෙන් හරි ඉක්මනින්ම ඈත යාවි.

ආදරණීය වැළඳ ගැනීම, සියයට සියයක ඇහුම්කන් දීම, අවධානය යොමු කිරීම ජීවිතකාලෙම සෙනෙහසින් නැවත නැවතත් මතකයෙන් ස්පර්ශ කරාවි.

එයාලගෙ මුළු ලෝකෙම අම්ම, තාත්තා කියන හැඟීම යම් අවධියකින් පස්සෙ වෙනස් වෙන්න ගන්නව, වයසින් මුහුකුරා යනවිට ආදරේ බෙදිල යනව. මේ අවස්ථාවෙදි අපිට මගහැරුණු තැන් ආයෙත් එතනදි හදාගන්න පුළුවන් කමක් නෑ කොහොමත් .

“අශ්වයා පැන ගියාට පස්සෙ ඉස්තාලෙ වහල පලක් නෑ.”

අපේ ආච්චිල, සීයල එහෙම කියන්නෙ කට කහනවට නෙවෙයි .

දරුවන්ට අවශ්‍ය අපේ කාලය මිස වෙන කිසිවක් නෙවේ…

ඉතිං දෝණියේ, පිළිගන්නව අම්මට ටික දවසකට හිනාවෙන්න අමතක වෙලා තිබිල. සමාවෙන්න …..????

 

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...