Breaking News

පරණ වම, මැලේරියා මර්දන ව්‍යාපාරය හා වාම ආත්මය

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

පරණ වම ගැන කොච්චර න්‍යායික මත්භේද තිබුණත් ලව් කරන්න ඕන තරම් කෑලි ඒකෙ තිබ්බා.ඒ අතරින් එකක් තමයි මැලේරියා මර්දන ව්‍යාපාරය.

මේක ලංකාවෙ පැතිරෙන්නෙ 1930 ගණන්වල.කොච්චර දරුණු වෙනවද කියනව නම් 10935 – 37 කාල වකවානුවෙ විතරක් මැරෙන ගාණ 125000 ඉක්මවනවා.දොස්තර ඇස්.ඒ. ඇතුළු තරුණ වාම ක්‍රියාධරයින් රජරට වන්නි හත්පත්තුවේ දුප්පත් මිනිස්සු ළඟට ම ගිහිල්ලා බෙහෙත් දෙන්න පටන් ගන්නව.එතකොට ලංකාවෙ වමට හරිහමන් විදියට පක්ෂයක්වත් නෑ.තාම නෑ තමයි.

අධිරාජ්‍යවාදී අර්ථක්‍රමය හා සුබසාධන කප්පාදුව මේ මරණයන්ට වගකිව යුතු බව පෙන්වා දෙන වේදිකාවක් බවට පමණක් මේ අවස්ථාව පත් කර ගැනීමට ඔවුන් කටයුතු කරන්නෙ නෑ.මැලේරියාව කර්මය හේතුවෙන් හැදෙන රෝගයක් බවත් එය මර්දනය කිරීමට මුදල් නාස්ති කිරීම අපරාදයක් බව ලංකාවෙ දක්ෂිණාංශික නායකයින් අධිරාජ්‍ය ආණ්ඩුවට දැනුම් දෙද්දි පරණ වමේ සෙට් එක කළේ කෙළින් ම තම ශරීරයන්ගෙන් ගමේ පීඩිතයා ඉස්සරහට ගියපු එක.ඒ කියන්නෙ ඒ ගොල්ලො දේශපාලනය වෙනුවෙන් තමන්ගෙ ජීවත් වීමේ ආශාව පවා අත ඇරපු එක.

කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිරෙන්න පටන් අරන් දැන් ටිකක් කල්.මේ ලිපිය ලියන්නා ද ඇතුළු වාම අදහස් දරන අප මෙතෙක් කල් ඒ වෙනුවෙන් මැදිහත් වූයේ කෙසේද?වෛරසය ලංකාවට ව්‍යාප්‍ත වී අපේ ඇඟේ හැපීමට නියමිත මේ මොහොත වන තුරු අපට මැලේරියා මර්දන ව්‍යාපාරයවත් මතක් වූයේ නැත.සමහර වාමාංශිකයන්ට මේ දැන් පවා මතක් වන්නේ නැත.එය අපේ නාසය ළඟට ම පැමිණි විට ද අපට සිහිපත් වූයේ බැංකුවේ ණය වාරික ගෙවා ගෙන යන්නේ කෙසේද, යන්න ය.

අප වාමාංශිකයන් ලෙස කෙතරම් ජාත්‍යන්තරවාදීන් ද යන්න මින් හොඳින් ම පැහැදිලි වූ අතර කෙතරම් නරුමයන් ද, යන්න ඊටත් වඩා හොඳින් පැහැදිලි වී ඇත.ඒ අර්ථයෙන් පරණ වමේ නායකයින් ආත්මීය ලෙස ම වාම චින්තනය නඩත්තු කර ඇති බව අප පිළිගත යුතුය.

පැරණි වමට සුළු ධනේශ්වර ලේබලය අලවා පහසුවෙන් බැහැර කරන අප කොරෝනා ඉදිරියේ කෙසේ හැසිරීමට නියමිත ද?ඇස්.ඒ.වික්‍රමසිංහ මෙන් මැලේරියා රෝගීන් සොයා යනු වෙනුවට අතිශය දේශපාලනික මිනිසුන් පවා සිදු කළේ තමන්ගේ ගෙදරට බඩු ඇද කවුරුන් හෝ පාරට බැස එබඳු ව්‍යාපෘති සිදු නො කිරීම පිළිබඳ දොස් නැගීම ය.ඇස්.ඒ. නම් කිසිවෙකු හෝ කිසියම් පක්ෂයක් හෝ එය කරන තුරු බලා සිටියේ නැත.ඔහු අර්බුදය ඉදිරියේ ආත්මීය විසකින් මෙහෙයවනු ලැබිණ.ඔහුට ඒ විස එන්නත් කිරීමට ඒ වන විට පක්ෂයක් පවා පැවතියේ නැත.

අපගේ සැබෑ ආශාව ඉදිරියේ ඒ වෙනුවෙන් කිසිවෙකු ඉදිරිපත් වන තුරු අප බලා සිටින්නේ නැත.ඒ සඳහා අප ස්වාධීන ලෙස ම ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වේ.මින් පැහැදිලි වනුයේ අනෙකක් නොව අප තුළ සැබෑ වාම ආත්මයක් නොමැති බව ය.ඇත්ත ආත්මය මෙහෙයවනු ලබන්නේ ධනවාදය මඟිනි.එනයින් මේ පෙනී යන්නේ අප සැබවින් ම ගමන් කරමින් සිටින්නේ ධනවාදය මතින් බව යි.ධනවාදයට අවශෝෂණය වී අලුතෙන් වටහා ගැනීමට තරම් කිසිවක් තවදුරටත් ඉතිරි වී නැති බව යි.

අපගේ ආත්මය යනු අප දිවි ගෙවන ද්‍රව්‍යයමය යථාර්ථයේ ම කොටසකි.ද්‍රව්‍යයමය ලෝකයේ සිදු වන වෙනස්කම් මත ආත්මීය ලෝකය ද වෙනස් වනු ඇත.එහෙත් ද්‍රව්‍යයමය ලෝකය වෙනස් කිරීම සඳහා ආත්මීය ලෝකයට ඇති හැකියාව ඉන් ප්‍රතික්ෂේප වන්නේ නැත.එස්.ඒ.බඳු පැරණි වම්මුන් පෙන්වූයේ එම භාවිත ය යි.එම භාවිතය විසින් ද්‍රව්‍යයමය යථාර්ථය වෙනස් කිරීමට ඔවුනට හැකි විය.

මේ උදා වී ඇත්තේ එබඳු ක්ෂතිමය මොහොතකි.පක්ෂ ද පුද්ගලයන් ද තමාගේ සැබෑ ආත්මය ඇත්තේ කොතැනක ද,යන්න මැනවින් පෙන්වා දීමට නියමිත නිමේෂයක් අප පසු කරමින් සිටිමු.ඒ අනුව ඊළඟ මොහොතේ දේශපාලනය කවරාකාර වනු ඇද්ද, යන්න නිශ්චිත ලෙස ම තීරණය වනු ඇත.

 

leave a reply