අබිනික්මන මඟ ඇරුණෙ ම ගෑනුන්ට………

කන්ථක අස්පයාගේ නෝනා වන වෙළඹගේ
අහිංසක වැලපුම නොහොත්
යසෝදරා සමඟ තවත් ගෑනු සතෙක්………
සිදුහත් කුමාරයා ගිහි ගෙයින් මහබිනික්මන් කළ පසුව කන්ථක අස්පයා යළිත් රජ වාසල ඉස්තාලයට නොපැමිණේ.
ඉන් වඩාත් කම්පාවට පත් වන්නේ ඉස්තාලයේ දොරකඩට වී ස්වකීය ස්වාමියා එන තුරූ මඟ බලා සිටිනා ගැබ්බර වෙළඹ යි.
යසෝදරා ගේ ඇකයෙහි තුරුලු වී කිරි උරා බොන රාහුල කුමරු විටෙක හඬන හඬ ද, යසෝදරා හීන් හඬින් ඉකිබිඳින හඬ ද වරින් වර ඇසෙන විට වෙළඹ කම්පා වෙයි.
ඕ ඉස්තාලයේ දොරකඩට වී හිස ඔසවා මඟ බලන්නේ ඉමහත් විස්සෝපයෙනි.

මේ ඇගේ කවිය යි

අබිනික්මන මඟ ඇරුණෙ ම ගෑනුන්ට………

කන්ථක අස්පයාගේ නෝනා වන වෙළඹගේ
අහිංසක වැලපුම නොහොත්
යසෝදරා සමඟ තවත් ගෑනු සතෙක්………

සාරා සංඛ්‍ය කප් ලක්සය පෙරුම් පුරා
සූවිසි සංඛ්‍ය හැඟුමන් හදවතින් පෙරා
ආවා රිදෙන කුර හතර ම ගෙවෙන තුරා
තාමත් ආවෙ නෑ සුන්දර සුපෙම්බරා

හිමයේ ගොසින් සිව් පා කුර ගෙවුණාද
තිබහට වතුර ගෙන ඇල දොළ ගැලුවාද
සිදුහත් කුමරුගෙන් ලැබ ආදර හාද
හිටියත් නුඹට මං අමතක නෑ නේද

නේරංජනා ඉස්නානේ මනලොල්ලේ
බෝසත් හැඟුම් උතුරා ගඟ වැලපිල්ලේ
නේරංජනා ගඟ බඩ නිල් තණ ගොල්ලේ
හීනෙන් දකිමි කුර සටහන් සුදු වැල්ලේ

රන් යහනේ සැතපෙන කල බිසොවුන්ට
රන් මාලා වැහි වැහැලා යහන පිට
ඉස්තාලේ මං තනියම ලගින කොට
වස්සානේ වැටුණෙ ම උණු කඳුළු කැට

ඇතෙක් බරට ලැබුණත් නෙක අඩුවැඩිය
පුතෙක් වැදූ මවකගෙ කිරි බර වැඩිය
යසෝදරා දන්නව මවකගෙ දිරිය
සතෙක් වුණත් මගෙ මව්කිරි රන් කිරිය

රිදී යහන රන්වන් රන් වියන යට
මැණික් කරඬු පිරුණත් මව් කිරි බරට
ඇසේ රහල් බිළිඳුගෙ කටහඬ ද මට
නිමා නොමැති දුක උරුමය ගෑනුන්ට

නොහිම් පෙමින් බැඳෙමින් බව කතර පුරා
යොදුන් ගණන් ආවෙමු දිවි මඬල සරා
හදින් දරාගෙන ඉමු අපි කඳුළු පෙරා
ඉතින් අපිත් ගෑනු ම නේ යසෝදරා

ආව ගමන සංසාරේ පෙරුම් පුරා
තාම දැනෙන උණුහුම හදවතින් දරා
වානු බැරි ම තැන හැඬුවෙමු කඳුළු පෙරා
ගෑනු අපට දුක උරුම යි යසෝදරා

වෙළඹක දුක අහනා මෙත් සිතින් සැමා
අවසර දුන මැන මහතුනි වෙමින් කමා
පිරිමින් යන කල නිවනට නොවී පමා
අබිනික්මන වින්දෙම ගෑනුන් ම තමා

ඇඟ ලේ මස කිරිකර දුන් ගෑනුන්ට
සිදුවෙනු ඇත බිළිඳුන් හට කිරි දෙන්ට
පිරිමින් යන කල සතුටින් බුදුවෙන්ට
අබිනික්මන මඟ ඇරුණෙ ම ගෑනුන්ට

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...