Breaking News

අපරාධකාරයෝ වෙරළට ආපු බඩු ගත්ත මින්ස්සු නෙමෙයි, නැව ලංකාවට ගෙන්වා ගත් බලධාරීන් – පුබුදු ජයගොඩ

මූලික අපරාධකාරය සිදුකර ඇත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට පැමිණි දේවල් ගත් මිනිසුන් නොව කටාර්වලින් සහ ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප කරන ලද නැව ලංකාවට පැමිණීමට ඉඩ දුන් සහ නැව ගිනිගන්න අවස්ථාවේත් කිසිදු වන්දි ක්‍රියාවලියකට මැදිහත් නොවී ඉන්න දේශපාලන බලධාරීන් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. අද දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ නාලක ගොඩහේවා ඇමතිවරයා කියන ආකාරයට නැව නිසා සිදුවූ හානිය අමතක කර නැවෙන් ගොඩට පැමිණි ද්‍රවය ලබාගත් ජනතාව අත්අඩංගුවට ගැනීමේ සංදර්ශන බලමින් සිටිය නොහැකි බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සහ වන්දි ලබා ගැනීම සිදුවිය යුතු බවයි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“දැනට කොළඹට සහ මීගමුවට ආසන්න සාගරයේ ගිනිමින් තිබෙන එක්ප්‍රස් පර්ල් නෞකාව මගින් විශාල පාරිසරික හානියක් සිද්ධ වෙලා තියෙනවා. සමුද්‍ර ජීවීන්ට විශාල හානියක් වෙලා තියෙනවා. එකෙ අඩංගු මුහුදට සහ වායුගෝලයට එකතුවෙලා තියෙනවා. සමහරවිට අම්ල වැසි ඇතිවීමේ අවදානමක් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නෙ මේ නැවට කොළඹ වරායට ඇතුළුවෙන්න අවසර දුන්නෙ කවුද කියන එකයි. දැනට තියෙන තොරතුරු අනුව අරාබි මුහුදේදී තමයි මේ නැවේ දෝෂයක් තියෙනවා ඒ නිසා ගිනිගැනීමේ ඉඩකඩක් තියෙනවා කියලා දැනගෙන තියෙන්නෙ. කටාර් හෝ ඉන්දියාව මේ නැවට තමන්ගේ වරායවලට ඇතුළුවෙන්න ඉඩ දීලා නැහැ. එහෙම තියෙද්දී කොළඹ වරාය මේ නැව ඇතුල් කරගත්තේ කවර පදනමක් යටතේද? ඒ සඳහා මැදිහත්වූ නිළධාරීන් සහ දේශපාලනඥයෝ කවුද කියන එක සම්බන්ධයෙන් වහාම හෙළිදරව් කිරීමක් අවශ්‍යයි. නැව ගිණි ගැනීම හරහා සිදුවී ඇති හානිය කිසිදු වන්දියකින් පූරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. මීට කලින් නිව් ඩයමන්ඩ් ගිනිගත්ත වෙලාවෙත් දැවැන්ත හානියක් වුණා. මේ දේශපාලනඥයෝ ඇවිල්ලා අරක ඕන නෑ. මේක ඕන නෑ කියලා කියනවා. රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් වන්දි මුදලක් ලබාගත යුතුයි. අපි දන්නා විදිහට නිව් ඩයමන්ඩ් නෞකාවෙන් අයකරගත යුතු වන්දි මුදල ම දක්වා අයකරගෙන නැහැ. ඒ විතරක් නෙමෙයි නේපල්ස් කියන න්‍යෂ්ටික ද්‍රවය පුරවාගත් නෞකාවක් හම්බන්තොට වරායට ඇතුල් වුණාත් ඒවාට අදාළ ජාත්‍යන්තර නීතියවත් ක්‍රියාවේ යොදවල නැහැ. දැන් වෙන්නෙ මෙහෙම එකක් වුණාම ඒකට යන්න ඉඩ ඇරලා වන්දි ගැන වෙන කතන්දර කියා කියා ඉන්නවා. දේශපාලන හිතවත්කම් සහිතවද මේකට මැදිහත් වුණේ කියන එක ගැන බරපතල සැකයක් තියෙනවා. එහෙම නැත්තම් මේක පිටිපස්සේ මොනවා හෝ කොමිස් ගණුදෙනු තියෙනවද? උදාහරණයකට වරාය සහ නාවුක කටයුතු ඇමති රෝහිත අබේගුණවර්ධන නැවේ ගින්න නිවනවා කියලා වරින් වර ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ පදනම් විරහිත ප්‍රකාශ කියලා නැව ගිනිගැනීම විසින් ඔප්පුවෙලා තියෙනවා. ඒවගේම මේ නැවට වරායට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන් නාලක ගොඩහේවා ඇමතිවරයා කියන කරුණ අපිට කිසිසේත් පිළිගන්න බැහැ. නාලක ගොඩහේවා කියන විදිහට නැව නිසා සිද්ධ වෙච්ච කිසි දෙයක් හොයන්නේ නැතුව නැවෙන් ගොඩට ආපු දේවල් ගත්ත මිනිස්සු අත්අඩංගුවට ගැනීමේ ගැන සංදර්ශන බලාගෙන ඉන්න කියලා තමයි කියන්නෙ. ඉතුරුවා අමතක කරන්න කියලා කියන්නෙ. ඒවා අමතක කරන්න බැහැ. මූලික අපරාධය කරලා තියෙන්න නැවෙන් වෙරළට ගොඩගහගෙන ආපු දේවල් ගත්ත මිනිස්සු නෙමෙයි. ප්‍රධාන අපරාධකරුවෝ තමයි කටාර්වලින් සහ ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප කරපු නැව ලංකාවට එන්න ඉඩ දුන්න සහ මේ නැව ගිනිගන්න අවස්ථාවේත් කිසිදු වන්දි ක්‍රියාවලියකට මැදිහත් නොවී ඉන්න දේශපාලන බලධාරීන්.  ඔවුන් මේ සම්බන්ධයෙන් වගකීම බාරගන්න ඕනා. නාලක  ගොඩහේවාට මේකෙ වන්දි අවශ්‍ය නැත්තම් ඒක වෙනම කතාවක්. නමුත් රටේ පුරවැසියන්ට මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් අවශ්‍යයි. අවසර දුන්නේ කවුද කියන එක දැනගන්න අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් වන්දි අයකරගැනීමක් අවශ්‍යයි. ඒ නිසා වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීම රජයේ ප්‍රභලතම වගකීමක් ලෙස අපි සලකනවා. “

leave a reply